20 බහුතරයෙන් ලැබුණු සුබවාදී පණිවිඩ | දිනමිණ

20 බහුතරයෙන් ලැබුණු සුබවාදී පණිවිඩ

l රටේ ප්‍රතිපත්ති හා නීති සම්පාදනය හා මුදල් බලය  පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුව මගින් සම්පාදනය කරනු ලබන නීති ක්‍රියාත්මක කිරීම අධිකරණය ඔස්සේ සිදු වෙයි. මේ අනුව වත්මන්     ව්‍යවස්ථාව 1978දී නිර්මාණය වන්නේ විධායකය,  ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන  බලකණු තුන මත  පිහිටාය.

පසුගිය ජනපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාව දැඩි ලෙස කතා බහට ලක් විය. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ සියලු දෙනා ඒ වෙනුවෙන් ජනතාව ඉදිරියේ පෙනී සිටියහ. ඒ වන විට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් රටේ නිර්මාණය කර තිබූ අර්බුද පිළිබඳව ජනතාවට ද හොඳ හැටි අවබෝධ වී තිබීම නිසා ජනතාව ද ඒ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ බවක් ජනපතිවරණ හා මහ මැතිවරණ ප්‍රතිඵල මඟින් පැහැදිලි වේ. නව ව්‍යවස්ථාවක් ගෙන ඒම කෙටි කාලයකදී කළ නොහැකිය. 1978 දී ජේ.ආර් ජයවර්ධන මහතා හඳුන්වා දුන් වත්මන් ව්‍යවස්ථාවට මේ වන විට සංශෝධන 20ක් ගෙනැවිත් තිබේ. ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒමට සිදු වන්නේ ඒ ඒ අවස්ථාවල පැන නඟින ගැටලුවලට විසඳුම් සෙවීමට ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන නැති විට ඒවා වළක්වා ගැනීම සඳහාය. මෙයට අමතරව රටේ අවශ්‍යතාව නොසලකා පක්ෂවල හා පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත සංශෝධන ගෙන එන අවස්ථා ද ඇත. වත්මන් ව්‍යවස්ථාව සංශෝධනයට ලක්ව තිබෙන අවස්ථා විස්ස සැලකීමේදී එක් එක් අවස්ථාවලදී මෙම කාරණා දෙකම මූලික වූ බව දක්නට ලබේ. බලතල සහිත විධායක ජනපති ධුරයක් නිර්මාණය කරමින් 1978 හඳුන්වා දුන් ව්‍යවස්ථාවට ගෙනා 19 වැනි සංශෝධනයත් සමඟ එම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ මූලික අරමුණු යටපත් කරමින් ජනපති ධුරයේ බලතල කප්පාදුවට ලක්විය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් එලෙස කප්පාදු වූ විධායක ජනපති ධුරයේ බලතල යළි පාර්ලිමේන්තුවෙන් ලබා ගෙන විධායක ජනපතිවරයාටම ලබා දීම ඇතුළු තවත් කාරණා ගණනාවක් අඩංගු විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූයේ විපක්ෂයේ මන්ත්‍රී පිරිසකගේ ද සහාය ඇතිවය.

 

රාජාණ්ඩු ක්‍රමය

නිදහසින් පසු අප රට පාලනය වූයේ සෝල්බරි ව්‍යවස්ථාව අනුවය. එය රාජාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකි. බණ්ඩාරනායක මහතා 1956 අගමැති වීමෙන් පසු මෙය වෙනස් කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ කළේය. ඒ සඳහා ඔහු කමිටුවක් ද පත් කළේය. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක් වීමෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරයට පත්ව ඒ සඳහා උත්සාහයක් ගත්තාය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදී අපේම කියා ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගත්තේ 1972 දීය.

ජනරජ ව්‍යවස්ථාව තුළ නාමමාත්‍රිකව පැවැති ජනපති ධුරයට විධායක බලතල ලබා දෙමින් ජේ.ආර් ජයවර්ධන මහතා 1978 හඳුන්වා දුන් ව්‍යවස්ථාව දැන් අවුරුදු 42ක් පැරණිය. වත්මන් ව්‍යවස්ථාව හඳුන්වා දුන් කාලසීමාව තුළ ආසියාවේ විශාල ආර්ථික පිබිදීමක් ඇති වෙමින් තිබූ අතර එහි ප්‍රතිලාභ රටට ලබා ගැනීම සඳහා ජනපති ජේ.ආර් ජයවර්ධන මහතා නිදහස් ආර්ථිකයක් වෙත ගමන් කළේය. සිංගප්පූරුව, තායිවානය වැනි රටවල් ආර්ථික වශයෙන් ඉහළට ඒමට පෙර ශ්‍රී ලංකාව එවැනි තත්ත්වයක් කරා ගෙන යෑමට ජේ.ආර්. ජයවර්ධන මහතාට අවශ්‍ය විය. ඔහු 1971 වසරේදී ද මෙම අදහසෙහි පසු වුවද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම ප්‍රතිපත්තිය නොපිළිගත්තාය. ආර්ථික සංවර්ධනය මූලික කර ගනිමින් ඒ සඳහා වටපිටාව සකස් කිරීමේ අරමුණින් වත්මන් ව්‍යවස්ථාව සකස් කර තිබේ. සංවර්ධනය පදනම් කර ගනිමින් ආයතනවල කාර්යභාරය හා කාර්යක්ෂමතාව ඉහළ දැමීමත් ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමත් විධායක ජනපති ධුරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීම මෙහි ප්‍රමුඛ ලක්ෂණයකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙම අපේක්ෂිත අරමුණු ඉටු කරන්නට ඇති හැකියාව ජනපති වෙතින් ගිලිහී පාර්ලිමේන්තුවට විතැන් වීම රට අර්බුද රැසක් වෙත තල්ලු වීමට ප්‍රධාන හේතුව විය.

 

විධායක ජනපති ධුරය

විධායක ජනපති පත් වන්නේ ඡන්ද අයිතිය ඇති රටේ සියලු ජනතාවගේ කැමැත්ත උරගා බලමින් පවත්වන මැතිවරණයකිනි. ලංකාවේ වෙනත් කිසිදු මැතිවරණයකදී රටේ සියලු ජනතාව නියෝජනය වන ලෙස පුද්ගලයකු තෝරා පත් කරගැනීමක් සිදු වන්නේ නැත. උතුර, දකුණ, නැඟෙනහිර හා බටහිර යන සිව් දිශාවන්ගේ ජීවත් වන සියලු ජනතාව එකට බැඳ තබන ධුරයක් ලෙස විධායක ජනපති ධුරය හැඳින්විය හැකිය. මේ නිසා ඒකීය රටක් යන්න ඉස්මතු කිරීමට ද මෙම ධුරය එක්තරා අන්දමකින් හේතු වෙයි.

රටේ ප්‍රතිපත්ති හා නීතී සම්පාදනය හා මුදල් බලය පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුව මගින් සම්පාදනය කරනු ලබන නීති ක්‍රියාත්මක කිරීම අධිකරණය ඔස්සේ සිදු වෙයි. මේ අනුව වත්මන් ව්‍යවස්ථාව 1978 දී නිර්මාණය වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන බලකණු තුන මත පිහිටාය. ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් තහවුරු කරනවා යැයි කියමින් යහපාලන ආණ්ඩුව ගෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වූයේ මෙම බල කණු තුන අතර පැවැති සමබරතාව ගිළිහී යෑමය. මේ නිසා එතෙක් ජනපතිවරයා සතුව පැවැති ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ බලය තවත් පාර්ශ්ව වෙත කාන්දු වීමෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිශ්චිතව වග කියන පුද්ගලයකු නැති තත්ත්වයට රට පත් විය. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ජනපති කොමිසමේදී අනාවරණය වන කරුණු මඟින් මෙය අපූරුවට පැහැදිලි වෙයි.

 

වැදගත් සංශෝධන

පවතින ව්‍යවස්ථාවට ගෙනා සංශෝධන අතරින් වඩා වැදගත්ම සංශෝධන ලෙස හඳුනාගත හැක්කේ 13, 17, 18, 19 හා පසුගියදා සම්මත වූ 20ය. කාර්යක්ෂමතාව, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය යන මූලික කාරණා මේවාහි ගැබ්ව තිබේ. බලය එක් පුද්ගලයකු වටා ගොනු වී තිබීම ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර වන්නේ යැයි කියන සංකල්පය තුළ පිහිටා 17 හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධන හඳුන්වා දුන්නේය. 17න් එලෙස ලබා දුන් බලය යළි විධායක ජනපතිවරයා වෙත ලබා ගැනීම 18න්ද 19 ඔස්සේ විධායක ජනපතිවරයාගෙන් ලබාගත් බලය යළි ඔහු වෙත ලබාදීම 20 වැනි සංශෝධනය මඟින් ද සිදු විය. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය සැලකීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතා එදා 1978 ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී සලකා බැලූ අරමුණු වෙත යළි ගමන් කිරීමකි. දැන් පැහැදිලි ලෙස විධායක බලතල සහිත ජනපති ධුරයක් නිර්මාණය වී තිබේ. රටේ ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, ආර්ථික අතින් රට ශක්තිමත් කිරීම යන කාරණාවලදී අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් ඒ සඳහා වගකීම මෙන්ම වගවීම දරන්නට දැන් ජනපතිට හැකියාව තිබේ. ජනතාව පැත්තෙන් කල්පනා කර බලන විට රටේ යම් වරදක් සිදු වුව හොත් ඔවුන්ට ඍජුව ඇඟිල්ල දිගු කරන්නට දැන් පුද්ගලයකු නිර්මාණය වී ඇත්තේය. පසුගිය කාලයේ එවැනි තත්ත්වයක් නොතිබීම නිසා පාස්කු ප්‍රහාරය නොවැළැක්වීමේ වගකීම පැවරෙන්නේ කාටද යන්න ප්‍රශ්නයක් වී තිබේ.

 

ගැටුම් පැවතීම

විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම් පැවතීම රටක් අර්බුදයක් වෙත ගෙන යෑමට හේතු වන බව කියන්නට හොඳම උදාහරණය ශ්‍රී ලංකාවයි. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පැවැති මෙම ගැටුම නිසා ලෝක ආර්ථික දර්ශකවල පතුලටම අපි ගමන් කළෙමු. විරැකියාව ඉහළ ගියේය. ආයෝජකයෝ රට අත්හැර ගියහ. ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් විය. මහා පරිමාණයෙන් වංචා දූෂණ සිදු විය. විදේශ අතපෙවීම් ඉහළ ගියේය. ජනපතිවරයා කටයුතු කළේ විධායක බලයක් තමන්ට ජනතාව ලබා දුන්නේ යැයි සිතාය. අගමැති ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සිතුවේ එම බලය තමන් සතු බවය. රටේම ජනතාව ඡන්දය ලබා දී පත් කළ ජනපතිට ඉහළින් සිට තීන්දු තීරණ ගැනීමට කොමිෂන් සභා නියෝජිතයෝ කටයුතු කළහ. ඒවා ස්වාධීනව කටයුතු නොකරන බව පැහැදිලිව පෙනුණ ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජනපතිවරයාට නොහැකි තත්ත්වයක් 19 ඔස්සේ නිර්මාණය විය. මෙය එක්තරා අන්දමින් ජනපතිවරයාගේ දෙ අත් ගැට ගසා වතුරට දමා ඔහුට පීනන්නට කියන්නා හා සමානය. දැන් සියල්ල එක්තරා මට්ටමකට නිවැරදි වී තිබෙන්නේය. මෙතෙක් ගැට ගසා තිබූ ජනපති දෑත් ජනතාව විසින්ම පාර්ලිමේන්තුවට පත් කර එවා තිබෙන නියෝජිතයන් බහුතරයක් දෙනා විසින් ලිහා දමා ඇත.

ඇමැති මණ්ඩලය 30 ක් දක්වා අඩුවීම, විගණන පනත, ප්‍රසම්පාදන පනත, හදිසි කෙටුම්පත් ගෙන ඒම සම්බන්ධ ක්‍රියාවලිය, තොරතුරු පනත පෙර ලෙසම 20 මඟින් ද ක්‍රියාත්මකය. මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ප්‍රධානතම ගැටලුව වූයේ මේ ප්‍රජාතන්ත්‍රවාදයට හේතු වන යහපත් ආයතනවලටත් එමඟින් බලපෑමක් වේද යන්නයි. ජනපති ධුර කාලය අවුරුදු පහකි. ධුරය එක් පුද්ගලයකුට එය දැරිය හැක්කේ දෙවතාවක් පමණි. මේ ආකාර සුබවාදී කරුණු රැසකින් විස්ස පෝෂිතය. එහෙත් එය හොඳම එක නොවන්නේය. මෙමඟින් සිදු වූයේ නව ව්‍යවස්ථාවක් ගෙන එන තෙක් රට කරවන්නට ජනපතිට අවශ්‍ය ශක්තිය ලබා දීමකි.

චීනයේ සමස්ත ආර්ථිකය 2012 වන විට පැවතියේ ඩොලර් ට්‍රිලියන 06ක අගයකය. 2019 වන විට වසර හතත් වැනි කෙටි කාලයකදී එය ට්‍රිලියන 14ක් දක්වා වර්ධනය කර ගැනීමට ඔවුන් සමත් විය. ලෝකයේ සමස්ත වත්කමෙන් 50%ක පමණ අගයකට හිමිකම් කියන්නේ ආසියාවය. ලෝකයේ සමස්ත වත්කම ට්‍රිලියන 88කි. මෙම ට්‍රිලියන 88න් 50ක අයිතිවාසිකම තිබෙන්නේ ආසියාවටය. සමස්ත ලෝක වත්කමෙන් 14%ක් චීනය සතුය. ජපානය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, කොරියාව වත්කම අතින් ඉහළ ලොව පළමු රටවල් 10 අතරට පැමිණ සිටී. ආසියාව යනු ලෝක ආර්ථික කලාපයයි. එල්.ටී.ටී.ඊ.ය හා ජවිපෙ මඟින් ඇති කළ කැරළි නිසා රටක් ලෙස අප පසුබෑමට ලක්විය. මේ නිසා අපට ආසියාවේ ආර්ථික කලාපය තුළින් නිසි පල නෙළා ගැනීමට නොහැකි විය. කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමඟ ලෝක ආර්ථිකය අර්බුදයකට ලක් වෙමින් තිබේ. ලෝක ආර්ථිකය තුළ ශක්තිමක් රටවල් අත්පත් කරගෙන තිබෙන වෙළෙඳ පොළ ප්‍රමාණය යම් ප්‍රමාණයකට ඔවුන්ට දැන් අහිමි වී ඇත. මින් ප්‍රයෝජන ගෙන අපට අහිමි වී ගිය වෙළෙඳපොළ යළි දිනා ගැනීමට දැන් පසුබිම සකස් කර ගත යුතුය. ඒ සඳහා වඩා කාර්යක්ෂමව කටයුතු කිරීමට විධායකයට බලය තිබීම වැදගත්ය. විස්ස ඔස්සේ දැන් එම පසුබිම නිර්මාණය වී තිබේ.

 

ද්විත්ව පුරවැසිභාවය

මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී ද්විත්ව පුරවැසිභාවය හා සම්බන්ධ ප්‍රශ්නය විශාල ලෙස කතාබහට ලක් විය. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු වරම් ලබාදීමට මෙය ගෙන එන බවට විපක්ෂය චෝදනා එල්ල කළේය. 2015 ට පෙර කාලසීමාව සැලකීමේදී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව අපේ රටේ එතරම් කතා බහක් නොතිබිණි. එවැනි පිරිසක් ඉන්නවා ද යන්න සම්බන්ධව සොයා බැලීමට ජනතාව උනන්දුවක් දැක්වූයේ ද නැත. ද්විත්ව පුරවැසිභාවය ඇති මහාචාර්යවරු ආචාර්යවරු අදත් මෙරට විශ්වවිද්‍යාලවල සේවය කරති. ඔවුන් රටට ඉටු කරන සේවයට ද්විත්ව පුරවැසිභාවය අදාළ වන්නේම නැත. දේශපාලනය තුළ ද එවැනි පුද්ගලයෝ සිටියහ. මේ සම්බන්ධ කතාබහ කරළියට පැමිණෙන්නේ මුළුමනින්ම දේශපාලන අරමුණක් හා ඒ සඳහා ඉලක්ක කර ගත් පුද්ගලයන් ඔස්සේය. ද්විත්ව පුරවැසිභාවය ඇත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි යැයි 19 න් ගෙනා සංශෝධනයේ ගිලටීනයට අසු වුණේ ගීතා කුමාරසිංහ මහත්මියයි. ජනතාව තමන්ගේ ඡන්දය ලබා දී මහජන නියෝජිතයකු ලෙස පත් කර සිටියදී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී ධුරය අහිමි වෙද්දී මෙරට පුරවැසිභාවය නොමැති අර්ජුන් ඇලෝසියස් මහතා අපේ රටේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානය වන මහ බැංකුවේ ප්‍රධානියා බවට පත් කරන්නේ ද්විත්ව පුරවැසිභාවය ඇති අයට පාර්ලිමේන්තු වරම් අහිමි කිරීමට මූලික වූ අයමය. ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය එයින්ම පැහැදිලි වන්නේය.

 

මුස්ලිම් ජනතාව තුළ ප්‍රසාදයක්

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය නියෝජයනය කළ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහාය හිමි වීම සුබ නිමිත්තකි. පසුගිය ජනපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද මුස්ලිම් ජනතාවගේ ඡන්දවලින් බහුතරය හිමි වූයේ විපක්ෂයටය. මේ නිසා වත්මන් ආණ්ඩුව සිංහල බෞද්ධ ආණ්ඩුවක් ලෙස හංවඩු ගහන්නට ඇතැම්හු කටයුතු කළහ. මේ නිසා මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ක්‍රියාවලියට දායක කරගැනීම හොඳ දෙයකි. ගත වූ වසරක කාලය තුළ ජනපති කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මෙරට මුස්ලිම් ජනතාව තුළ ප්‍රසාදයක් පවතින බවට මෙය යම් ඉඟියකි. පක්ෂ නායකයන් කුමන තීන්දු තීරණ ගත්ත ද ඊට පහළින් සිටින අය අවශ්‍ය මොහොතේ අවශ්‍ය තීන්දු ගත යුතුය. මුස්ලිම් මන්ත්‍රීවරුන් ඔප්පු කර පෙන්නුවේ එයයි. රුපියල් 50ක 'ඩේටා කාඩ් එකක්' දමා සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදය පතුරුවන්නට උත්සාහ කරන පිරිසට මෙම යථාර්ථය නොතේරීම කනගාටුවකි.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න