සිත ශක්තිමත් නම් බය වෙන්න ඕනෑ නෑ | දිනමිණ

සිත ශක්තිමත් නම් බය වෙන්න ඕනෑ නෑ

මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙනෙහි පරිවේණාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ  කොළඹ සංඝ සභාවේ ලේඛකාධිකාරී  කොළඹ 9 ශ්‍රී ඥානසීහ විහාරස්ථානයේ විහාරාධිකාරී  ශාස්ත්‍රවේදී සූරියවැව සෝමානන්ද හිමි

 

l ධර්මයට අකමැති අය හැමදාම පිරිහීමට පත් වෙනවා. ඔවුන් ඉගෙනගත් ධර්මයකුත් නැහැ. බණ දහම් අහන්නෙත් නැහැ. ගුණ ධර්මවලින් පෝෂණය වුණූ පුද්ගලයන්ආ ශ්‍රය කරන්නෙත් නැහැ.  ප්‍රශ්නයක් ඇති වූ විට එය නිරාකරණය කර ගන්න තමන්ට ශක්තියකුත් නැහැ.

මෙලොව වෙසෙන සෑම පුද්ගලයකුම ජීවත්වන්නේ විවිධාකාර ගැටලුවලට මුහුණ දෙමින්ය. පිරිසක් මේවාට සාර්ථකව මුහුණ දෙන අතර තවත් පිරිසක් තමන්ට පැමිණෙන අභියෝගවලට, ගැටලුවලට බිය වී නිකරුණේ තමන්ගේ ජීවිත අසාර්ථක කර ගනිති. බුදු දහමට අනුව ජීවිතයේ ගැටලු ඇති වීමට හේතු, ඒවාට මුහුණදී ජීවිතය ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙනෙහි පරිවේණාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ, කොළඹ සංඝ සභාවේ ලේඛකාධිකාරී, කොළඹ 9 ශ්‍රී ඥානසීහ විහාරස්ථානයේ විහාරාධිකාරී, ශාස්ත්‍රවේදී සූරියවැව සෝමානන්ද හිමියන් පැහැදිලි කළේ මෙසේයි.

 

l බුදු දහමට අනුව ප්‍රශ්න එහෙමත් නැත්නම් ගැටලු පිළිබඳ විග්‍රහ කෙරෙන්නේ කොහොම ද?

බුදු දහමට අනුව අප ජීවත් වන සමාජය පිළිබඳ යථාර්ථය අවබෝධ කර නොගත්, ධර්මාවබෝධයක් නොලබපු සෑම පුද්ගලයකුම කුමන හෝ මානසික ගැටලුවකින් පසුවනවා. ඒ වාගේම කෙලෙස් සහිතව ජීවත් වන පුද්ගලයන් කුමන හෝ මානසික ගැටලුවකින් පෙළෙනවා. ලෝකයේ 90%ක් පුද්ගලයන් කුමන හෝ මානසික ගැටලුවකින් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දීලා තියෙනවා. කෙලෙස් සහිත පුද්ගලයා කුමන හෝ ගැටලුවකට පත් වෙන බවත් එම ගැටලු සඳහා මූලික වශයෙන් සිත බලපාන බවත් බුදු දහමෙහි පෙන්වා දීලා තියනවා. පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වයට බලපාන සිත, මනස, විඥානය යන වචනවලින් හඳුන්වා ඇති කරුණු පිළිබඳව ගැඹුරු දර්ශනයක් බුදු දහමෙන් විස්තර කරලා තියනවා. පුද්ගලයාගේ සිතේ ස්වභාවය අනුව සිතේ ඇතිවන ගැටලු විවිධාකාරයි.

ධම්ම පදයේ පළමුවැනි ගාථාව තුළින් අප කරන කියන සෑම දෙයකටම සිත මුල් වන බව පෙන්වා දීලා තියනවා. බාහිර සමාජය සමඟ ගැටෙමින් ගනුදෙනු කරමින් අප ජීවත් වන විට ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන්වලට දැනෙන රූපය, ශබ්දය, ගඳ සුවඳ , රස, ස්පර්ශ ආදියට ප්‍රතිචාර දැක්වීමට සිතේ ගොඩනඟා ගන්නා වූ සිතුවිලිවල ස්වභාවය මිනිසාගේ ගැටලුවලට එහෙමත් නැත්නම් ප්‍රශ්නවලට මූලික වන බව බුදු දහමෙහි පෙන්වා දීලා තියනවා.

ඒ වුණාට අපට බාහිරව දක්නට ඇති ගැටලු එසේත් නැත්නම් ප්‍රශ්න ඇති වන්නේ පුද්ගලයාගේ තරගකාරී ස්වභාවය අනුව. බුදු දහමට අනුව පුද්ගලයාට බාහිරව හෝ අභ්‍යන්තරව ඇති වන ගැටලු සඳහා ව්‍යාකූල වූ සිත මුලික වශයෙන් බලපාන බව පෙන්වා දීලා තියනවා.

 

l ඇතැම් පුද්ගලයන්ට, තමන්ගේ මුළු ජීවිත කාලය තුළදීම ප්‍රශ්නවලට මුහුණදෙන්න සිදු වෙනවා. බුදු දහමට අනුව එහෙම වෙන්නේ ඇයි?

කුඩා කාලයේ සිටම නිවැරදි ගුණ ධර්මවලින් පෝෂණය නොවුණ හොත් වැඩිහිටියකු වූ විට හිස් පුද්ගලයකු ලෙස සමාජගත වෙනවා. වැඩිහිටියන් කුඩා කාලයේ සිටම දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දිය යුතුයි, හොඳ නරක පෙන්වා දිය යුතුයි. වැඩිහිටියන් දරුවන් ඉදිරියේ ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතු වෙනවා. පුද්ගලයාගේ මෙලොව දියුණුවටත් ඕනෑම ප්‍රශ්නයකට නිවැරදිව මුහුණ දී සාර්ථක නිරවුල් ජීවිතයක් ගත කරන අන්දමත් දහම් පාසල් අධ්‍යාපනය තුළින් පෙන්වා දෙනවා. බණ දහම් ගුණධර්ම නොදන්නා විට, තමන්ගේ ජීවිතය තමන්ටම එපා කර ගන්නවා.

“ධම්ම කාමෝ භවං හෝති - ධම්ම දෙස්සී පරාභවෝ” යන පරභව සුත්‍රයේ සුත්‍ර පාඨයෙන් ධර්මයට කැමති කෙනාගේ අභිවෘද්ධිය ගැටලුවක් බාධාවක් නැතිව ඉදිරියට යනවා. ඊට හේතුව තමන්ට ගැටලුවක් ඇති වු විට එය නිර­ාකරණය කර ගැනීමට තමන් ඉගෙන ගන්නා බණ දහමෙන් සහ ගුණධර්මවලින් ලොකු උපකාරයක් වෙනවා. තමාගේ සිත තුළ නරක සිතුවිල්ලක් ඇති වූ විට එය නැති කර ගැනීමටත් හැකිවෙනවා පමණක් නෙවෙයි තමන්ටත්, අනුන්ටත් විනාශයක් වන සිතුවිලි ඇති නොවීමට ප්‍රබලව නැගී සිටිනවා. තම සිත තුළ එය විසඳා ගැනීමට ශක්තියක් නැත්නම් එය විසඳා ගැනීමට තමන්ට වඩා ගුණ නුවණින් සහ ධර්මයෙන් පෝෂණය වූ පුද්ගලයකු ළඟට ගොස් එම ප්‍රශ්නය විසඳා ගැනීමට ප්‍රශ්නයක් තිබෙන පුද්ගලයාට ධනාත්මක සිතුවිලි ඇති වෙනවා කියලා පැහැදිලි කරලා තියෙනවා.

ධර්මයට අකමැති අය හැමදාම පිරිහීමට පත් වෙනවා. ඔවුන් ඉගෙනගත් ධර්මයකුත් නැහැ. බණ දහම් අහන්නෙත් නැහැ. ගුණ ධර්මවලින් පෝෂණය වුණූ පුද්ගලයන් ආශ්‍රය කරන්නෙත් නැහැ. ප්‍රශ්නයක් ඇති වූ විට එය නිරාකරණය කර ගන්න තමන්ට ශක්තියකුත් නැහැ. ඒ නිසා ප්‍රශ්නවලින් මිදෙන්න අමාරුයි. ඔවුන් මුළු ජීවිත කාලය තුළදීම විවිධාකාර ගැටලු හමුවේ ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා විඳවනවා.

 

l ප්‍රශ්නවලදී ‘තනි වීම’ ඒ තරම් යහපත් දෙයක් නෙමෙයි නේද?

යම් ප්‍රශ්නයක් මතු වූ විට එයින් පලා යෑමක් හෝ එය අමතක කරවීමක් බෞද්ධ දර්ශනය තුළින් පෙන්වා දෙන්නේ නැහැ. එහෙත් වැඩි දෙනෙක් ප්‍රශ්නය අමතක කිරීම, ප්‍රශ්නයෙන් ලිස්සා යෑමට ක්‍රමවේද කියා දීම හෝ ප්‍රශ්නය වෙනත් අයකුට පැටවීම. යන දෑ කිරීම අනුමත කරනවා. ඇති වී තිබෙන ප්‍රශ්නවලට හේතු සොයා ඊට පිළියම් කිරීම මඟින් එම ප්‍රශ්න විසඳා ගැනීමත් එම ප්‍රශ්න යළි ඇති නොවීමට කටයුතු කර ගන්නා ආකාරයත් බුදු දහමෙහි අපට පෙන්වා දෙනවා.

හුදෙකලාවීම ප්‍රශ්නවලට විසදුමක් වෙන්නේ නැහැ. හුදකලාවීම තුළින් ඇතැම් විට පුද්ගලයාගේ සිතුවිලි තවත් ව්‍යාකූල වන්නට පුළුවන්. පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයේදී ඇතිවන ප්‍රශ්නවලදී ඊට මුහුණදීම සඳහා හුදෙකලාවීම සහ අධ්‍යාත්මික සුවය සඳහා හුදෙකලාවීම එකිනෙකට වෙනස්.

ප්‍රශ්නවලදී තනිවී සිටියත් ඒ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට පුද්ගලයාට තමන්ගේ සිත සමඟ සටනක් කිරීමට සිද්ධ වෙනවා. ඒ නිසා ධර්මානුකූලව සිතා බලා ඒ ගැන අවබෝධයක් ඇති කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කර තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට යොමු වෙන්න ඕනෑ.

 

l ප්‍රශ්නවලට නිර්භීතව මුහුණ දෙන්නේ කොහොම ද?

ඇති වන සෑම ප්‍රශ්නකාරී අවස්ථාවකදීම කලබල නොවී තමා උගත් බණ දහම්වලට අනුව තමන්ට ඇති වී තිබෙන ගැටලුව පිළිබඳ සිහි නුවණින් විමසා බලන්න ඕනෑ. පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීමට බෞද්ධ දර්ශනය තුළ පෙන්වාදී ඇති ධර්ම කරුණු වඩාත් වැදගත් වෙනවා. පුද්ගලයාගේ මෙලොව දියුණුවට, ආරක්ෂාවට, යහපතට අවශ්‍ය කාරණා ව්‍යග්ගපජ්ජ සුත්‍රය, මංගල සුත්‍රයෙන් විස්තර කරලා තියනවා. පුද්ගලයාගේ පරිහානියට, විනාශයට, අසරණ වීමට හේතු වන කරුණු පරාභව සුත්‍රය, වසල සුත්‍රයෙන් විග්‍රහ කරලා තියනවා. සමාජය තුළ ජීවත් වීමේදී පුද්ගලයාට අවශ්‍ය වන සදාචාරය, ප්‍රියශීලී සම්බන්ධතා, ගුණ නුවණ දැනුම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන කරුණු සිඟාලෝවාද සුත්‍රය, ධම්මික සුත්‍රය, මහානාම සුත්‍රය ආදී සුත්‍ර ගණනාවකින් පෙන්වා දීලා තියනවා.

අද වන විට ලංකාවේ යම් තාක් දුරකට හෝ යහපත් සමාජ, ආර්ථික මට්ටමකින් සිටි මිනිසුන් පවා කොරෝනා වසංගතය හේතුවෙන් ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා.

බුදු දහම සඳහන් කරන අන්දමට පුද්ගලයාගේ ශක්තිය තියෙන්නේ සිත තුළ. තමන් ධර්මානුකූලව කොතරම් ජීවත් වනවාද? , තමන්ගේ පෞරුෂත්වය, තමන්ගේ එඩිතරබව, ඕනෑම ගැටලුවකට මුහුණ දීමේ හැකියාව කොතරම් ද?, යථා ස්වභාවය පිළිබඳ තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා ද? යන කාරණා ගැන අවබෝධයෙන් සිටින පුද්ගලයාට තමන්ගේ ජීවිතය තුළදී පැමිණෙන ඕනෑම ප්‍රශ්නයකට හොඳින් මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. කොයිතරම් ධනය බලය තිබුණත් ප්‍රශ්නයකට හොඳින් මුහුණ දෙන්න සිතේ ශක්තිය අවශ්‍ය වෙනවා. බුදු දහම, ධනය බලයට වඩා සිතේ ශක්තිය බලවත් බව කියාපානවා. පසුගිය කාලයේදී කොවිඩ් 19 නිසා ලෝක බලවතුන් පවා දුබලත්වයට පත් වුණා. ඔවුන්ට කොතරම් ධනය බලය තිබුණත් සිතේ ශක්තිය තිබුණේ නැහැ.

අටලෝ දහමට අනුව ජීවත් වන පුද්ගලයන්ට ඕනෑම ප්‍රශ්නයකට බය නැතුව මුහුණ දෙන්න පුළුවන්. ඒ වාගේ ම කොතරම් ධනය බලය තිබුණත් නිරෝගිකම නැත්නම් වැඩක් නැහැ. කොරෝනා වසංගතය පවතින එත්තරා රටක මුදල් පාරවල්වල විසි කරලා දාලා තියනවා සමාජ මාධ්‍යවලින් පෙන්නුවා. ඒකෙන් පවා පෙන්වා දෙනවා ධනයට වඩා නිරෝගී බව වැදගත් කියලා.

කොරෝනා වසංගතය හමුවේ ඇතැම් බටහිර රටවල් මුල් කාලයේදී උද්ධච්චකමින් කටයුතු කළා. ඒ වුණාට බුදු දහමින් පෝෂණය වුණු රටක් නිසා

ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් කොවිඩ් 19 වසංගතය ආරම්භයේදීම වසංගතය පැතිරීමට හේතු සොයා බලා එය පැතිරීම සීමා කරන්න කටයුතු කළා. ඒ නිසා වසංගතය නිසා මරණයට පත් වන ප්‍රමාණය අවම කර ගන්න පුළුවන් වුණා.කොවිඩ් 19 වසංගතය හමුවේ මිනිසුන් අටලෝ දහමින් කම්මා නොවී ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනෑ.

 

නව අදහස දක්වන්න