මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය | දිනමිණ

මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය

ශ්‍රී ලංකාව තුල දැනට ක්‍රියාත්මක වන කොවිඩ්-19 වෛරසය පාලනය හා මර්දන වැඩපිළිවෙල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බවත්, ඒ සදහා අවශ්‍ය සෑම සියළු සහයෝගයක් ම ලෝක බැංකුව මගින් ලබාදීමට කටයුතු කරන බවත්, ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපයේ අධ්‍යක්ෂ ෆැරීස් හඩාඩ් සර්වෝස් (Mr. Faris Hadad-Zervos) මහතා ප්‍රකාශ කළේය.
 
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග අද දින (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මෙම කරුණු අනාවරණය කරන ලදි.
 
විශේෂයෙන්ම ලෝකයේ අනෙක් රටවල් හා සසඳන විට කොවිඩ්-19 වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙල ඉතා සාර්ථක බව ද ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.
 
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී පැවැසුවේ මෙරට කොරොනා වෛරසයේ ව්‍යාප්තියේ ආරම්භයත් සමගම ලෝක බැංකුව විශාල වශයෙන් ලබාදුන් සහාය ඉතාමත් අගය කොට සළකන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩපිළිවෙල සදහා ලෝක බැංකුව ලබාදෙන සහයෝගය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස තම කෘතවේදීත්වය පළ කරන බව ද පැවැසීය
 
මෙම අවස්ථාවට ලෝක බැංකුවේ  ශ්‍රී ලංකාවේ නේවාසික කළමණාකාරිණිය වන චියෝ කන්දා මහත්මිය (Ms. Chiyo Kanda), ලෝක බැංකු ව්‍යාපෘතියේ මහජන සෞඛ්‍ය සේවා පිළිබද ඡ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය,  සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ

නව අදහස දක්වන්න