නොබැඳි පිළිවෙත | දිනමිණ

නොබැඳි පිළිවෙත

මයික් පොම්පියෝ මහතා ස්වකීය කාලසටහනට අනුව ශ්‍රී ලංකාවට පැමිණ අදාළ සාකච්ඡා පවත්වා සුහද සිතින් පිටත්ව ගියේය. ඒ මහතා ශ්‍රී ලංකාවේ ඉඩම් ඉල්ලුවේ නැත. යුද කඳවුරක් පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයක් ඉල්ලුවේ නැත. චීනයට එරෙහිව මතයක් පළ කළේ ද නැත. ඒ අමෙරිකානු රාජ්‍යය පැත්තෙන් දකින්නට ලැබෙන සාධනීය දේවල්ය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පැත්තෙන් ගත හොත් අමෙරිකානු විරෝධී පිළිවෙතක් අනුගමනය කරන්නට රජය ක්‍රියා කළේ නැත. අප නොබැඳි පිළිවෙතක සිට ක්‍රියා කරන බව රජය ක්‍රියාවෙන්ම සනාථ කර තිබේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද සිය රාජ්‍ය පාලන සමය තුළ මෙබඳු ප්‍රතිපත්තියක සිට කටයුතු කළාය. ‍

ශ්‍රී ලංකාවේ නොබැඳි ජාතීන්නගේ සමුළුව පවත්වන අවස්ථාව වන විට ලිබියානු නායක ගඩාෆි හා ඉරාක නායක සදාම් හුසේන් පසු වූයේ නයි-මුගටි වෛරයකිනි. එහෙත් රාජ්‍ය නායකයන් දෙදෙනාටම අවශ්‍ය පහසුකම් සපයමින් ‍නොබැඳි සමුළුව සාර්ථකව අවසන් කිරීමට මැතිනිය සමත් වූවාය. චීනය හා අමෙරිකාව අතර ශීතල යුද්ධයක් පවතින බව කවුරුත් දනිති. චීනය අමෙරිකාවට චෝදනා එල්ල කරන අතර, අමෙරිකාව චීනයට චෝදනා එල්ල කරයි. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ස්වාධීන රාජ්‍යයක් හැටියට දෙරටම පිළිගැනීමට අපට සිදු වී ඇත. බල කඳවුරු දෙකක් අතර තරගයේදී කිසි කඳවුරකට හේත්තු නොවී සිටීම වැදගත් තීරණයකි.

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මයික් පොම්පියෝ මහතා දැක්වූ අදහසක් මෙහිලා උපුටා දැක්වීම වටී. ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට ස්වාධීන රාජ්‍යයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් ඉදිරියට යෑම සඳහා අමෙරිකාව හැම විටම සහයෝගය දක්වන බවය. මේ බව සනාථ කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනයට ආධාර සැපයීමට අමෙරිකානු රජය එකඟතාව පළ කර ති‍බේ. මේ වන විටත් අපේ අපනයනවලින් වැඩි ප්‍රමාණයක ගැනුම්කරුවා වී ඇත්තේ අමෙරිකාවය. අමෙරිකාවේ කෝටා එක නොවන්නට ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දියුණු තත්ත්වයකට පත් වන්නේ නැත. කොවිඩ් වසංගතයෙන් පසු දෙරටේ ආර්ථික ගනුදෙනු තවදුරටත් ප්‍රසාරණය වීමට නියමිතය.

විවිධ දේශපාලන විවේචන පවතින්නේ වුව ලෝකයේ ආර්ථික බලවතා හා දේශපාලන බලවතා අමෙරිකාව බව අප පිළිගත යුතුය. එය ලෝක යථාර්ථයකි. රටක විදේශ ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ ලෝකයේ දේශපාලන හා ආර්ථික යථාර්ථයන් වටහා ගනිමිනි. අමෙරිකන් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් අපට අත් වන විශේෂ වාසියක් නැත. සිදු විය යුත්තේ අපගේ ස්වාධීනතාව ආරක්ෂා කර ගනිමින් ලෝක බලවතා සමඟ ඇති සබඳතා තර කර ගැනීමය. ඒ සඳහා රටේ නායකයන් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. මේ මොහොතේ රජය ක්‍රියා කර ඇත්තේ හැඟීමට නොව බුද්ධියට මුල් තැන දෙමින්ය.

පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා ගමන ගැන දේශපාලන අවබෝධයකින් ක්‍රියා කළ විශාල පිරිසක් රට තුළ සිටිති. එලෙසම දේශපාලන අවබෝධයකින් තොරව එය විවේචනයට හසු කළ පිරිසක් ද රට තුළ සිටිති. ආණ්ඩුව මේ මොහොතේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය මූලික කොට ක්‍රියා කළ අතර, විරෝධතා නැවැත්වීමට ඉදිරිපත් වූයේ නැත. ශ්‍රී ලංකාවේ අමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට ද විරෝධතාවක් පැවැත්විණි. විරෝධතාකරුවෝ තානාපති කාර්යාලය වෙත සන්දේශයක් ද භාර දුන්හ. එහි සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකාවට දේශපාලන බලපෑම් කරන්න එපා යන්නය. පොම්පියෝ මහතාගේ සංචාරය දේශපාලන බලපෑමක් සේ සැලැකීම වැරැද්දකි. අප නොබැඳි පිළිවෙතක සිට ක්‍රියා කරන්නේ නම්, ඕනෑම රාජ්‍යතාන්ත්‍රිකයකු පිළිගත යුතුය.

ශ්‍රී ලංකාව ලෝකය පුරා ප්‍රකටව ඇත්තේ සුහදශීලි ජනතාවක් වාසය කරන සදාචාරවත් රාජ්‍යයක් හැටියටය. විදේශීය සංචාරකයෝ ශ්‍රී ලාංකිකයාගේ සුහද සිනාව හා ආගන්තුක සත්කාරය ගැන නිතර සඳහන් කරති. ලෝක සංචාරවලදී හොඳම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව උපුටා දැක්වීමට විවිධ ආයතන උත්සුක වන්නේ ද අප සතු සුහදතාව හා උණුසුම් පිළිගැනීම නිසාය. ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් අපට ඇති කීර්ති නාමය කෙලෙසා ගැනීම සුදුසු දෙයක් නොවේ. ආණ්ඩුව එම වගකීම භාරගෙන ක්‍රියා කර ඇතත් සමහර දේශපාලන ව්‍යාපාර එම තත්ත්වය වටහාගෙන ක්‍රියා කළේ නැත. එය කනගාටුවට කාරණයකි. සිද්ධියක යථා තත්ත්වය නොවිමසා හැසිරීම හා කලබලයට පත් වීම අපේ දේශපාලන ව්‍යාපාරවල ඇති මූලික වැරැද්දකි.

අමෙරිකාවේ ට්‍රම්ප් ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයා ලෙස මයික් පොම්පියෝගේ නම සඳහන් වෙයි. අමෙරිකාව ගෙන ඇති තීරණයෙන් පැහැදිලි වන්නේ එරට ආණ්ඩුව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ගෞරවය හා විශේෂ සැලැකිල්ල යැයි කිව හැකිය. ඉන්දීය සාගරයේ ආර්ථික කේන්ද්‍රයක ශ්‍රී ලංකාව පිහිටා ඇත. එහි වාසිය ශ්‍රී ලංකාවට සලසා ගත හැක්කේ බලවත් රාජ්‍යවල ද සහයෝගය ලබා ගැනීමෙන් බව අපේ නායකයන් වටහාගෙන තිබේ. එහිදී අමෙරිකාව, චීනය මෙන්ම ඉන්දියාව ද ප්‍රධාන වන බව පැහැදිලිය. මේ රාජ්‍යයන් තුනම ශ්‍රී ලංකාවේ මිතුරු රාජ්‍යයන් ලෙස පවත්වා ගැනීම අපේ විදේශ ප්‍රතිපත්තියේ එක ඉලක්කයක් විය යුතුය. එය වත්මන් ආණ්ඩුව විසින් මනාව හසුරුවා ගන්නා ආකාරය පොම්පියෝ මහතාගේ සංචාරයෙන් පෙනී යයි.

පොම්පියෝ මහතා ඉතා සතුටින් සාකච්ඡාවලට සහභාගි වූ බවද සුහද සිතින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ද චාරිකාව නිරීක්ෂණය කරන විට පෙනී යයි. සියල්ලන්ම සතුටින් විසිර යෑම වැදගත් වුවත් ශ්‍රී ලංකාව අමෙරිකාවේ කොලනියක් වන්නේ නැත. චීනයේ හෝ ඉන්දියාවේ කොලනියක් බවට පත් වන්නේ ද නැත. මේ මොහොතේ අපට අවශ්‍ය වන්නේ ආර්ථික බලවතුන්ගේ සහයෝගය පමණි. එය උපාය මාර්ගිකව අත් කර ගැනීමට අපේ පාලකයන් සමත් විය යුතුය.

නව අදහස දක්වන්න