මෙවර රැල්ලත් ජය ගනිමු! | දිනමිණ

මෙවර රැල්ලත් ජය ගනිමු!

ධම්මික සෙනෙවිරත්න

කලබල වීම හා බිය වීම කිසිසේත් සුදුසු නැත. කලබලය බිය ප්‍රතිශක්තිය අඩු කරන සාධක වේ. සිතින් ඔබ ශක්තිමත් නම් කය ද රෝග නිවාරණය කිරීමේ හැකියාව වැඩි කර ගනී. එබැවින් අරගල, ගැටුම් ඇති කර ගැනීමෙන් වැළකී, කලබලකාරී නොවෙමින් මේ තත්ත්වයට මුහුණදීම ද ඉතාමත් වැදගත් වේ. රටක් ජාතියක් ලෙස එකට සිටිමින් මේ රැල්ල ද ජයගත හැකිය යන අධිෂ්ඨානය අප තුළ තිබිය යුතුය. ඒ අනුව කටයුතු කළ යුතුය.

කොවිඩ් 19 මඟින් ඇති කර තිබෙන අවදානම හමුවේ කලින් සිට අප අනුගමනය කළ යහපත් සෞඛ්‍ය පුරුදු එලෙසින්ම හා නිවැරැදිව ඉදිරියට පවත්වා ගැනීම බෙහෙවින්ම වැදගත්ය. මේ අවස්ථාවේදී තමන් වෙත පැවරී ඇති සමාජ වගකීම එයාකා‍රයෙන්ම ඉටු කිරීම අප කාගේත් වගකීමකි. එබැවින් තම තමන්ට අන් අය වෙනුවෙන් ඇති සමාජ වගකීම පිළිබඳ පළමු අවස්ථාවටත් වඩා ඉතා දැඩිව කල්පනා කළ යුතු අවස්ථාවකි. මේ රෝගය ගැන මෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම මෙම රැල්ලේදී අප කළ යුතු වඩාත්ම වැදගත් කාර්යයකි.

කොරෝනා වයිරසය මුල පටන්ම ව්‍යාප්ත වී ඇත්තේ බිඳිති මඟිනි. කිවිසුමක් වැනි අවස්ථාවක සෘජුවම හෝ එම බිඳිති යම් පෘෂ්ඨයක් මත තැන්පත්ව තිබී එය ස්පර්ශ කළ පසු ඇඟිලි තුඩු ඔස්සේ මුඛය හෝ නාසය මඟින් වෙනත් අයකුගේ සිරුරට ඇතුළුවීමෙන් රෝගය ව්‍යාප්ත වීම සිදු වේ. මේ නිසා තවමත් ලෝකය මේ වයිරසයට එරෙහිව එන්නත් හා ඖෂධ සොයා ගනිමින් ඇති තත්ත්වයක අපට ගත හැකි හොඳම විසැඳුම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමය. රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා ඉතා දැඩිව එම පිළිවෙත අනුගමනය කළ යුතු වේ.

නිරෝධායනය

රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේදී ක්‍රියාත්මක වන නිරෝධායන ක්‍රියාවලියට (කොරන්ටයින් කිරීම) ඔබ කිසිසේත් හා කිසිදු අවස්ථාවක බිය විය යුතු නැති බව අවධාරණය කළ යුතුය. නිරෝධායන ක්‍රියාවලිය කුමක් ද යන්න විද්‍යාත්මකව වටහා ගැනීමෙන් ඒ පිළිබඳ ඇතැම් අය තුළ ඇති අනියත බිය තුරන් කළ හැකියි. එබැවින් සෞඛ්‍ය ප්‍රජාව ලෙස අපගේ ද ජනමාධ්‍යවල ද වගකීම මෙන්ම යුතුකම නිරෝධායන ක්‍රියාවලිය යනු කුමක් ද යන්න නිවැරැදිව ජනතාවට වටහාදීමය.

නිරෝධායනය යනු දැඩි අවදානමකට ලක් වූ රෝගීන් හෝ ආසාදිතයන් සමඟ සමීපව ආශ්‍රය කළ අයට රෝගය සෑදි නොතිබියදී මෙන්ම තවමත් රෝග ලක්ෂණ පවා පහළ නොවී තිබියදී (ඔවුන්ගේ සිරුරේ වයිරසය තිබීමට හෝ නොතිබීමට ඉඩ තිබේ) නිරෝධායන මධ්‍යස්ථානයක ‍හෝ නිවෙසේ දින 14ක් වෙන් කර රඳවා රැක බලා ගැනීමයි. එම කාලය තුළ රෝග ලක්ෂණ මතු වන්නේ දැයි විමසිල්ලෙන් සිටීම මෙහිදී සිදු වේ. එමෙන්ම මේ කාලසීමාව නිකරුණේ ගත කිරීම නොව ඔබ කළ යුතු කාර්යයන් ‍තිබේ. එනම් අන් අයගෙන් වෙන්ව සිටීම, දිනකට දෙවතාවක් උෂ්ණත්වය පරීක්ෂා කර ගැනීම, උගුර කැසීම, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි කිසියම් රෝගී ලක්ෂණයක් පහළ වන්නේ දැයි අවධානයෙන් සිටීමය. මෙය නිරෝධායන මධ්‍යස්ථානයක ගත කළ ද නිවෙසේ සිටිය ද අදාළය. යම් හෙයකින් රෝග ලක්ෂණ කිසිවක් පහළ වුව හොත් අවදානමට ලක්වන තැනැත්තකු වන නිසා රෝහල්ගත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කරා ‍යොමු විය යුතුය. 1999 ඇමතීමෙන් මෙන්ම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුම්වත් කිරීමෙන් ද ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසේ.

නිරෝධායනය ඉතා වැදගත් වන්නේ ඇතැම්විට රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වා ඔබ පවා නොදැනුවත්ව ඔබේ සිරුරේ විෂබීජ තිබීමට ඉඩ ඇති බැවිනි. යම් හෙයකින් නිරෝධායනයට ලක් නොවී නිදහසේ ගත කළ හොත් එවැනි අවස්ථාවක ඔබ ඇසුරු කරන ඔබ සමීපයේ ගැවසෙන අනෙක් අයට මේ රෝගය බෝවීමේ හැකියාව තිබේ.

එබැවින් නිරෝධායනය යනු සමාජ වගකීමකි. එම දින 14 කාලසීමාව තුළ රෝග ලක්ෂණ පහළ නොවුණ හොත් ඔබ සිටියේ නිරෝධායන මධ්‍යස්ථානයක නම් නිවෙසට පැමිණීමට ඉඩ සැලසෙන අතර, එසේ පැමිණ තවත් දින 14 ක් වෙන්ව සිටීම ගැන ද සැලකිලිමත් විය යුතුය. PCR පරීක්ෂණයක් කළ පසු එහි ප්‍රතිඵල ලැබෙන තෙක් නිරෝධායනයට ලක්ව සිටීම වැදගත්ය. එබැවින් නිරෝධායනයට බියවන්නේ මේ ගැන හරියාකාරව වටහාගෙන නොමැති නිසාය.

ඇතැම් විට මාධ්‍ය මඟින් ද අසන්නට ලැබෙන්නේ රෝගීන් නිරෝධායනයට ලක්වන බවකි. නිරෝධායනයට ලක්වන්නේ රෝගීන් නොවේ, රෝගය වැලඳුණු අයගේ ආශ්‍රිතයන් වීම නිසා යම් අවදානමකට ලක් වූ අයයි. ඒ ඇතැම් අයගේ සිරුරු තුළ රෝග බීජ තිබිය හැකි වුව ද රෝග ලක්ෂණ පිටතට පළ වූ අය නොවේ.

පීසීආර් පරීක්ෂණය

යම් අවස්ථාවක පීසීුිර් පරීක්ෂණයක් සිදු කිරීමට ඔබට උපදෙස් ලැබුණ හොත් එය කර ගැනීම ද ඉතාමත් වැදගත්ය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා (MOH) හෝ එතුමාගේ කාර්ය මණ්ඩලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) මහත්වරු මඟින් ඒ සඳහා දැනුම්දීමක් සිදු වේ. එම නිලධාරීන් ඔබගේ නිවෙසට පැමිණ ඊට අදාළ කටයුතු සිදු කරයි. යම් ස්ථානයකට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ නම් ඊට යොමු විය යුතුය.

මෙම පරීක්ෂණය සිදු කරන්නේ පුළුන් ගැට ගැසූ කූරක් ඔබේ නාසය මඟින් ග්‍රසනිකාවට ඇතුළු කිරීමෙනි. එම පටල ලබා ගන්නේ ඉතා සීරුවටය. සීරිමක් වැනි දෙයක් සිදු නොවේ. කුඩා දරුවන්ට පවා මෙම පරීක්ෂණය සිදු කරන බැවින් වැඩිහිටියන් ඊට කිසිසේත් බිය විය යුතු නැත. අවශ්‍ය වන්නේ මාංශ පේශී ලිහිල් කොට ඊට මුහුණ දීමයි. එම පරීක්ෂණ කට්ටල යොදා ගන්නේ ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වය. ඒවා ජීවානුහරණයට ලක් කිරීම ද සිදු වේ. මේ නිසා කිසිදු අවස්ථාවක මෙහිදී එක් අයකුගෙන් තවත් අයකුට රෝගය පැතිරීමේ හැකියාවක් නැත. පරීක්ෂණයට සහභාගි වන විට පිරිසක් සිටී නම් දුරස්ථභාවය ඇතුළු ආරක්ෂක පියවර අනුගමනය කිරීම ඔබ කළ යුතුය.

වයිරසය ශරීර ගත වී තිබේ දැයි දැන ගැනීම පීසීආර් පරීක්ෂණයේ අරමුණය. මෙම පරීක්ෂණය කළ පමණින් ඔබ 100%ක් නිරෝගී යැයි අදහස් කෙරෙන්නෙ නැත. ඇතැම් විට පරීක්ෂණය සිදු කර දින 2, 3 කින් හෝ නැවත පරීක්ෂණයක් කිරීමේදී ඔබ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමට ඉඩ තිබේ. පීසීආර් කළ යුතු යැයි කලබල කර, එය නෙගටිව් වූ පමණින් තමන් නිරෝගී යැයි සලකා ක්‍රියා කිරීම නොවිය යුතුය. මෙම කිසිදු අවස්ථාවක කලබලකාරී නොවීම ද වැදගත්ය. පීසීආර් පරීක්ෂණයක් කර ගැනීමට උපදෙස් ලැබුණ හොත් ඒ සඳහා ඉක්මනින් යොමු වීම වඩා සුදුසු පිළිවෙතය. සෞඛ්‍ය අංශවලට එලෙස ඔබ ලබා දෙන සහයෝගය බෙහෙවින් වැදගත්ය. පීසීආර් පරීක්ෂණ කිරීමට අදාළ නියමිත පටිපාටිය මේ වන විට හඳුනාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා මඟින් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු එවැනි අවශ්‍යතාවක් ඇති විට ඔබව දැනුම්වත් කිරීම සිදු වේ. යම් හෙයකින් ඔබට කිසියම් රෝග ලක්ෂණයක් ඇති වුව හොත් වහාම අන් අයගෙන් වෙන් වී ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ 1999 ඇමතීමෙන් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි වේ. එහිදී ලැබෙන උපදෙස්වලට අනුව කටයුතු කිරීම ද වැදගත්ය.

කලබල වීම හා බිය

කලබල වීම හා බිය වීම කිසිසේත් සුදුසු නැත. කලබලය බිය ප්‍රතිශක්තිය අඩු කරන සාධක වේ. සිතින් ඔබ ශක්තිමත් නම් කය ද රෝග නිවාරණය කිරීමේ හැකියාව වැඩි කර ගනී. එබැවින් අරගල, ගැටුම් ඇති කර ගැනීමෙන් වැළකී, කලබලකාරී නොවෙමින් මේ තත්ත්වයට මුහුණදීම ද ඉතාමත් වැදගත් වේ. රටක් ජාතියක් ලෙස එකට සිටිමින් මේ රැල්ල ද ජයගත හැකිය යන අධිෂ්ඨානය අප තුළ තිබිය යුතුය. ඒ අනුව කටයුතු කළ යුතුය.

සමූහයක් ලෙස එක් නොවූණ ද වෙන්ව හිඳිමින් සාමුහිකව සිතා බලා කටයුතු කිරීමට අප නොපසුබට විය යුතුය.

මේ වන විට රෝගි වී ප්‍රතිකාර ලබන අය ද නිරෝධායනයට ලක්ව සිටින අය ද සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද ආරක්ෂක අංශවල නිලධාරී මහත්ම මහත්මීන් ද තම තමන්ගේ පවුල්වලින් වෙන්ව සිටිමින් මේ ‍රෝගය පරාජය කිරීම සඳහා දැඩි කැපවීමකින් ක්‍රියා කරමින් සිටී. ගම්බිම්වල සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් බලා කියා ගැනීම සෙසු සමාජයට පැවරේ. අවම වශයෙන් දුරකතන ඇමතුමක් දී හෝ ඔවුන් ගැන සොයා බැලීම ගමේ අනෙක් දන්නා හඳුනන අයට කළ හැකිය. එය යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස ද සැලකීම සුදුසුය. මෙය රෝගීන් හා නිරෝධායනයට ලක්වන පුද්ගලයන් හා එම පවුල්වල අය සම්බන්ධයෙන් ද අදාළ වේ. ඔවුන්ව කොන් කිරීම, හිරිහැර කිරීම කිසිසේත් නොවිය යුතුය. විය යුත්තේ ශක්තිය ලබාදීමයි. ඔවුන්ට අවශ්‍ය අනුකම්පාව නොවේ කොන් කිරීම හෝ නොසැලකිල්ල ද නොවේ. අප ද ඔවුන්ට ශක්තියක් වෙමින් ඔවුන් සමඟ සිටින බව දැනීමට සැලැස්වීමයි. මෙය සමාජ වගකීමකි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඇතැම් විට පොදු ප්‍රවාහන පහසුකම් භාවිත කිරීමට සිදු වන විට ඔවුන්ගේ සේවා මුර අනුව කටයුතු කිරීමට සිදු වන විට අපෙන් ඔවුන්ට ලැබෙන සහාය විශාල ශක්තියක් වනු ඇත. ඔවුන්ට සහයක් වීම මිස ඔවුන්ගේ සිත් රිදීමක් ඇති වන අන්දමින් කතා කිරීම, ලිවීම නුසුදුසුය. ගිලන් රථයේ රියැදුරු මහතාගේ පටන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා රෝහල් කාර්ය මණ්ඩල දක්වා ඇතැම් විට සති 2, 3 නිවසෙන් ඈත්ව කටයුතු කරන බව තේරුම් ගැනීම මේ මොහොතේ ඔබෙන් අපේක්ෂා කරයි. ඔවුන් එලෙස සේවය කරන්නේ තමන්ට ඇති අවදානම ද නොතකමිනි.

ප්‍රවාහන සේවා සැලසීමේ යෙදී සිටින රියැදුරු හා කොන්දොස්තර මහත්වරුන්ට ද විශාල සමාජ වගකීමක් තිබේ. මුව ආවරණ බෙල්ලට නොදමා නිවැරැදිව පැලඳීම, මුදල් පරිහරණ‍ෙය්දී සැලකිලිමත්වීම, නිතර දෑත් සේදීම හා තිබේ නම් විෂබීජ නාශක දියර වර්ගයක් භාවිත කර දෑත් පිරිසුදු කර ගැනීම ඉතාමත් වැදගත්ය. මගීන් ප්‍රවාහනයේදී ඔවුන් අසුන් ගන්නා විට සිග්සැග් ක්‍රමයට අසුන් ගැනීමට සැලැස්විය නොහැකි නම් ප්‍රමාණවත් පරතරයක් පවත්වා ගනිමින් මුහුණට මුහුණ බැලීම වැළකෙන අයුරින් ක්‍රියා කිරීමට වගබලා ගත යුතුය.

පොදු ප්‍රවාහනය භාවිත කරන අවස්ථාවලදී තෙරපීමෙන් වැළැකී බසයට හෝ දුම්රියට ගොඩවීම හා බැස යාම මෙන්ම අත්වැටවල් ආසන ආදිය ස්පර්ශ කිරීමෙන් හැකිතාක් වැළැකී අවම මතුපිටවල් ප්‍රමාණයක් ස්පර්ශ වන සේ කටයුතු කිරීමට වගබලා ගැනීම ද වැදගත්ය. මුහුණට මුහුණ බලා ගමන් කරමින් කතා බස් කරමින් ගමන් කිරීමෙන් වැළකී, මුහුණ ඉවතට හරවාගෙන ගමන් කිරීම මෙන්ම හැකි නම් විෂබීජ නාශක අත් සේදුම් දියරයක් තමන් ළඟ තබා ගැනීම ද ප්‍රයෝජනවත්ය. බසයට හෝ දුම්රියට නැඟීමට පෙර නොවරදවාම සබන් දමා හොඳින් දෑත් සෝදා ගැනීම ද ඉන් බැස යෑමේදී ද එලෙසම දෑත් පිරිසුදු කිරීම ද කළ යුතුය. බසයේ ‍හෝ දුම්රියේ ගමන් කිරීමේදී හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි ජනෙල් කවුළු විවෘත කර තැබීමට ද කටයුතු කළ යුතුය. 

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අවට වෙළෙඳ ප්‍රජාව පැරසිටමෝල් අලෙවිය වැඩිවීම ගැන අවධානය යොමු කළ පරිදිම එවැනි ඉවකින් කටයුතු කිරීම මේ අවස්ථාවේ ඉතාමත් වැදගත් වේ. රියැදුරු මහත්වරු, කොන්දොස්තර මහත්වරු හෝ පොදු ප්‍රවාහනය භාවිත කරන ජනතාව රෝග ලක්ෂණ කිසිවක් තිබේ නම් සේවයට පැමිණීමෙන් හෝ ගමන් කිරීමෙන් වැළැකිය යුතුමය.

සමාජ වගකීම නිසි ලෙස තේරුම් ගන්නේ නම් කිසිවිටෙකත් ඔබ රෝහලෙන් පැන යෑමට කටයුතු නොකරනු ඇත. තවමත් මෙම රෝගයට එන්නතක් හෝ ඖෂධයක් සොයාගෙන නොමැති නම් රෝහල් ගත කරන්නේ ඇයි? යන ප්‍රශ්නය කෙනකුට ඇති විය හැකිය. රෝගය හේතුවෙන් ඇති වන සංකූලතාවලට ප්‍රතිකාර කිරීම රෝහලේදී සිදු වේ. රුධිර පීඩනය අඩු වේ නම්, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ නම් මේවාට ප්‍රතිකාර යෙදීම නිදසුන්ය. ඒ නිසා රෝහල්ගත විය යුතු අවස්ථාවක එලෙස ප්‍රතිකාර ගැනීමට යොමු විය යුතුය. එවැනි සංකූලතාවන්ට අවශ්‍ය ඖෂධ ශ්වසනාධාරක ආදී පහසුකම් ඇත්තේ රෝහලේය. ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයකදී නිවෙසේ සැඟවී සිටීමට වඩා රෝහල්ගත වී ප්‍රතිකාර කරා යොමු වීමෙන් යහපත් ප්‍රතිඵල අත් වේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වශයෙන් අපි කිසිසේත් රෝගයට බිය නොවෙමු. එබැවින් අවශ්‍ය අවස්ථාවක රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට ඔබ බිය විය යුතු නැත. ඔබව ආදරයෙන් රැක බලා ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සැමවිටම සූදානම්ය.

එක් එක් අයට ඇඟිලි දිගු කිරීමට වඩා එක් පවුලකට උදව් උපකාර කිරීමට ඔබට හැකියාව තිබේ නම් එයට ඉදිරිපත් වීම ඉතා අගනේය. මෙවැනි දුෂ්කර අවස්ථාවක අපි එකිනෙකාට සහාය විය යුතු වෙමු. ලෙඩ රෝග, කෑමබීම, වාසස්ථාන ආදී නොයෙක් ගැටලු ඇති අයට අපට හැකි පමණින් උපකාරී විය හැකිය. අපේ සමාජය අන්‍යයන්ට උපකාර කිරීමේදී ඉදිරියෙන් සිටී. අන් අයගේ සුරතල් සතුන් පවා බලාගන්නා අය අපි දුටුවෙමු. මේ හොඳ ගුණාංග අවැසිම මො‍ෙහාතකි. ගතින් දුරස් වූව ද සිතින් ළංව සිටිය යුතු අවස්ථාවකි මේ.

නව අදහස දක්වන්න