ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී ප්‍රචාරක යන්ත්‍රණයට හසු වන්නේ නැති බව ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා | දිනමිණ

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී ප්‍රචාරක යන්ත්‍රණයට හසු වන්නේ නැති බව ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී ප්‍රචාරක යන්ත්‍රණයට හසු වන්නේ නැති බව ක්‍රියාවෙන් පෙන්වා දී ඇතැයි ශ්‍රී ලංකා -චීන මිත්‍ර සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංගමයේ සභාපති නීතිඥ ආනන්ද ගුණතිලක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ තව දුරටත් මෙසේද සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝට තමන් අධිරාජ්‍යවාදී ප්‍රචාරවලට හසු වන්නේ නැති බව පෙන්වා දීම ගැන ලංකා චීන මිත්‍ර සංගමය, ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සිය ප්‍රශංසාව පුද කරයි. ශ්‍රී ලංකාව සිය නොබැඳි විදේශ ප්‍රතිපත්තියේ සත්‍ය ලෙසම සිටින බවත්, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානි සිදුවන කිසිදු ක්‍රියා මාර්ගයකට නොයන බවත් මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව, අමෙරිකානු අධිරාජ්‍යවාදයට සහ එහි හිරිහැර කිරීමේ උපක්‍රමවලට විරුද්ධ බව ඒත්තු ගැන් වූ සියලු දේශප්‍රේමී සහ ප්‍රගතිශීලී බලවේගයන්ට ද ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය ස්තුතිවන්ත වන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

අමෙරිකාව සහ එහි සහචරයන් පසුගිය සති කිහිපය ඇතුළත චීනය සමඟ ශ්‍රී ලංකාව පවතින සම්බන්ධතාවය පිළිබඳ වැරැදි තොරතුරු ප්‍රචාරය කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක නිරත වී සිටි. ශ්‍රී ලංකාවට පිරිනමන චීන ණය ප්‍රමාණය අපේ සමස්ත ණය බරෙන් සියයට 10කට වඩා අඩු වුව ද මේවා සියයට 2ක පොලී අනුපාතයේ තිබියදීත් එහි ව්‍යාජ ප්‍රතිරුපයක් නිරූපණය කිරීමට එක්සත් ජනපද නිලධාරීන් උත්සාහ කර ඇත. චීනය ශ්‍රී ලංකාව 'ණය උගුලක' හිර කිරීමට පියවර ගෙන ඇතැයි පෙන්වීමට පොම්පියෝ ඇතුළු අනෙකුත් එක්සත් ජනපද නිලධාරීහු උත්සාහ දරා තිබේ.

තමන්ගේ මිලිටරි සහ ආර්ථික ශක්තිය සුළුතරය බවට පත්වන බව දකින එක්සත් ජනපද නිලධාරීන්ගේ අපේක්ෂාභංගත්වය 2020 අගෝස්තු 30 වැනි දා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කළ තර්ජනයෙන් පිළිඹිබු වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී එක්සත් ජනපදයට යළිත් ශ්‍රී ලංකාවට එරෙහිව බලපෑම් කළ හැකි බව ඔහු ඉඟි කළේය. 'ශ්‍රී ලංකාවේ ජනතාවට ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය තිබීම' අවශ්‍ය යැයි පොම්පියෝ පැවැසීම හාස්‍යයට කරුණකි. මේ පදනම් විරහිත චෝදනා සහ තර්ජනවලට ප්‍රතිචාර වශයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සිය විදේශ සබඳතාවල දී නොබැඳි ප්‍රතිපත්තියේ සිට කටයුතු කරන බවයි.

2009 යුද්ධය අවසන් වූ දා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට චිනය උදව් කළ බවත්, එරට ශ්‍රී ලංකාව අල්ලා ගත්තේ නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුව අධිරාජ්‍යවාදී ප්‍රචාරයන්ට යටත් නොවූ බවට කදිම සාධකයකි.

ශ්‍රී ලංකාව නොබැඳි රටක් බව ශ්‍රී ලංකා -චින මිත්‍ර සංගමය සෑම විටම අවධාරණය කරන අතර එහි නොබැඳි විදේශ ප්‍රතිපත්තියට එකඟව කටයුතු කළ යුතු බවත්, අතිතයේ දී මැනැවින් කටයුතු කළ එරටට වෙනත් කිසිදු ආකාරයක 'උපායමාර්ගික හවුල්කරුවකු' සම්බන්ධ නොවිය යුතු බවත් මෙයින් වැඩිදුරටත් අවධාරණය කරයි. අධිරාජ්‍යවාදී සහ ව්‍යාප්තවාදී ජාතීන් අපව ඔවුන්ගේ බලපෑමට යටත් කර ගැනීමට දරණ උත්සාහයට එරෙහි විය යුතු බව ශ්‍රී ලංකා -චීන මිත්‍ර සංගමය සිය නිවේදනයෙන් තවදුරටත් පෙන්වා දී තිබේ.

 

නව අදහස දක්වන්න