ප්‍රති පාක්ෂිකයකු දුටු මව්බිමට සාමය දිනා දුන් නිර්ව්‍යාජ නායකයා | දිනමිණ

ප්‍රති පාක්ෂිකයකු දුටු මව්බිමට සාමය දිනා දුන් නිර්ව්‍යාජ නායකයා

පක්ෂ වූවත් ප්‍රති පක්ෂ වූවත්  උපකාරයක් බලාපොරොත්තු වූවා නම් කෙසේ හෝ ඉටුකරදීම ඔහුගේ ක්‍රමය විය.

දීර්ඝ දේශපාලන ඉතිහාසයක් සහ  ගැමිකම, මනුස්කම හිමි උත්තුංග ගුණ ඇති සරල මානව හිතවාදියා තම හමුවට පැමිණෙන කිසිදු පුද්ගලයකු නිරාහාරව සහ බලාපොරොත්තු  ඉටුනොකොට ආපසු හරවා යවා නොමැත.

ස්වකීය මාතෘභූමිය වෙනුවෙන් අමිල මෙහෙවරක යෙදෙන ශ්‍රී ලංකාවේ 05 වන විධායක ජනාධිපති හා වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 75 වන ජන්ම දිනය නිමිතිකොටගෙන එතුමන්ගේ ජීවන තොරතුරු පිළිබඳව කෙරෙන මතක සැමරුමකි.

සාමකාමී පුද්ගලයන්ගෙන් සාමකාමී සමාජයක් ගොඩනැගෙන විට එය තුළින් සාමකාමී රටක් ද බිහිවනු ඇත. සාමකාමී රටක් තුළින් සාමකාමී ලෝකයක් වෙත ගමන් කළ හැකිවේ. එවන් උත්තුංග ආකල්පවලින් පිරිපුන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ 1945 නොවැම්බර් මස 18 වන දින රුහුණු ගිරුවාපත්තුවේ වීරකැටිය ග්‍රාමයේදී ජන්ම ලාභය ලැබීය.

භවබෝග සම්පත්තියත් දේශපාලන උරුමයත් ගිරුවායේ රාජපක්ෂ පරපුරට අතීතයේ සිට උරුම වූ දායාදයකි. කීර්තිමත් දේශපාලනඥයකු සහ සමාජ සේවකයකු වූ දොන් ඇල්වින් රාජපක්ෂ මැතිතුමන්ට සහ දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියට දාව උපන් පර්සි මහින්ද රාජපක්ෂයන් පවුලේ දෙවෙනි දරුවා විය. සහෝදරයන් හයදෙනකු සහ සහෝදරියන් දෙදෙනකු පවුලේ අනෙකුත් සාමාජිකයන් විය.

මූලික අධ්‍යාපනය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ලබාගත් අතර, වැඩිදුර අධ්‍යාපනය කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සහ තර්ස්ටන් විද්‍යාලයෙන් ලබා ගන්නා ලදී.

‍කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හදාරා 1977 වසරේදී නීතිඥවරයකු ලෙස ‍ෙත්රී පත්විය. තම දයාබර පියාණන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයට පත් මෙතුමන් 1970 වසරේදී ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරි පත්විය.

1988 – 90 වකවානුවේදී ඇති වූ භිෂණයෙන් පීඩාවට පත්වූවන්ට සහ අතුරුදන් වූවන් වෙනුවෙන් සාධාරණය ඉටුකිරීම උදෙසා ජිනීවා හි පිහිටි මානව හිමිකම් මූලස්ථානයට ද යාමට සිදු විය.

“අතුරුදන් වූවන්ගේ මව්වරුන්ගේ පෙරමුණෙහි” නියමු කාර්ය භාරයක් කළ මෙතුමා අයුක්තිය සහ අසාධාරණයට විරුද්ධව කටයුතු කරන ලදි.

1977 මැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුන අහිමි වන ලද අතර, හම්බන්තොට දිස්ත්‍රික් ජනතා මනාපයෙන් 1989 වසරේදී නැවත පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නා ලදි.

මානව අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඉන්දියාවේ විශ්ව භාරතී සරසවිය මඟින් සම්මාන ආචාර්ය පදවිය ද මෙතුමාණන් වෙත ප්‍රදානය කරන ලදි.

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර, සාමුහික කමිටුවේ සභාපති ධුරය දරමින් මැදපෙරදිග ගැටලුව විසඳීම සඳහා පලස්තීනයට සහයෝගය ලබාදෙන ලදි.

1994 වසරෙහි බලයට පත්වූ පොදු පෙරමුණ රජයේ කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධුරය හොබවන ලද මෙතුමන් කම්කරු ප්‍රඥප්තියක් සකස් කර වැඩකරන ජනතාවගේ කම්කරු අයිතීන් සුරැකීමට නොමද උත්සාහයක් ගන්නා ලදි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ආයතන සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හරහා ලාභ ලබන ආයතන දක්වා වැඩි දියුණු කිරීමට කටයුතු කරන ලදි.

1997 වසරෙහි වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් එතෙක් පැවති කම්කරු අමාත්‍ය ධුරය වෙනුවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය මෙතුමන් යටතට පවරන ලදී. සාගර විශ්වවිද්‍යාලය වෙරළ ආරක්ෂණ ක්‍රියාවලිය මෙන්ම දියවර ගම්මාන ආරම්භ කිරීම ද සුළුපන්න ධීවරයන්ට බහු දින යාත්‍රා ලබා ගැනීමට සහන සැලසීමට ද ධීවර රක්ෂණ ක්‍රමය ද මෙතුමන් විසින් ධීවරයන් වෙනුවෙන් ඉටුකරන ලද මහඟු සේවයේ ප්‍රතිඵල වේ.

බෞද්ධ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම සහ නිරන්තර ‍ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීම මෙතුමන්ගේ චරිතයේ ප්‍රධාන ලක්ෂණයක් වේ. සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වය මඟින් “ශ්‍රී රෝහණ ජනරන්ජන” ගෞරව නාමය මෙතුමන් වෙත ප්‍රදානය කරන ලදී. 2001 වසරෙහි පැවති මහ මැතිවරණය පරාජය වීමත් සමඟ 2002 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත්විය.

“පරාජය ජයග්‍රහණයේ ආරම්භය වේ” යන කියමනට අනුව එතැන් සිට ඔහු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර යමින් තමන්ගේ ඒකායන බලාපොරොත්තුව සඵල කර ගැනීම සඳහා අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කර 2004 වසරෙහි අප්‍රේල් 06 වනදා ශ්‍රී ලංකා ජන රජයේ 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී. අතිශය දුෂ්කරව පැමිණි ගමන්මගෙහි අත්දැකීම් සහ මානව හිතවාදී බව මෙන්ම අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් මස 19 වන දින විධායක ජනාධිපති ධුරයේ කාර්ය කර්තව්‍ය බාරගන්නා ලදි.

තිස් වසරක් රටම වෙළාගත් යුද්ධය නිමා කිරීම සහ රටට සාමය උදාකරදීම මෙතුමාගෙන් ලද අමිල වූ මෙහෙවරකි. හම්බන්තොට වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, දක්ෂිණ අධිවේගී මාර්ගය, විශාල වාරි ව්‍යාපෘති මෙන්ම ලංකා‍ෙව් මාර්ග පද්ධතිය කාපට් අතුරා සංවර්ධනය කිරීම මඟින් රට සංවර්ධනයට සහ දියුණුවට අනුපමේය සේවයක් මෙම කාලසීමාවේදී සිදු කරන ලදි. “මහින්ද චින්තනය” තුළින් රට සංවර්ධනයට හා ජනතාවට සහන සැලසීම මෙතුමාගේ මූලික අභිප්‍රාය විය.

තිස් වසරක යුද සාපයෙන් සංවර්ධනය අඩාළ වූ උතුරු නැඟෙනහිර ජන ජීවිතය යථා තත්ත්වයට ගැනීම මෙතුමන්ගේ කාල වකවානුවේදී ඇති කළ උතුරු වසන්තය ව්‍යාපෘතියේ පරමාර්ථය විය. වගා ලංකා වගා සංග්‍රාමය තුළින් කෘෂිකර්මාන්තයට ද නව ගමන් මාර්ගයක් හඳුන්වා දෙන ලදී. 2010 ජනවාරි මස 27 වන දින තම දෙවන ධුර කාලයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තම දෙවන ධුර කාලය අවසන් කරමින් 2015 ජනවාරි 09 වන දින දී ජනාධිපති තනතුරෙන් බැහැර වන ලදී.

2015 ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් හට විශ්‍රාම සුවයෙන් කටයුතු කිරීමට ජනතාව ඉඩ නොදුන් අතර, 2015 පැවති මහ මැතිවරණයෙන් නැවත කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයටත් ඉන්පසු විපක්ෂ නායක ධුරයටත් තේරීපත්වන ලදි.

2019 වසරෙහි පැවැත් වූ ජනාධිපතිවරණයෙන් පසුව තම සොහොයුරු සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව නැවත වරක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මේ දක්වා කටයුතු කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවන තොරතුරු පිළිබඳව සොයා බැලීමේදී ශිරන්ති රාජපක්ෂ මැතිනිය පිළිබඳව සඳහන් කළ යුතුම වේ. සෑම සාර්ථක මිනිසකු පිටුපසම බුද්ධිමත් ධෛර්යවන්ත බිරිඳක් සිටිනු ලබන අතර, මුළු ජීවිත කාලයම තම ස්වාමි පුරුෂයා වෙනුවෙන් කැප වූ නිහතමානී සහකාරිය විය. නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ මෙතුමන්ගේ ආදරණීය පුතුන් තිදෙනා වේ.

දීර්ඝ දේශපාලන ඉතිහාසයක් සහ ගැමිකම, මනුස්කම හිමි උත්තුංග ගුණ ඇති සරල මානව හිතවාදියා තම හමුවට පැමිණෙන කිසිදු පුද්ගලයකු නිරාහාරව සහ බලාපොරොත්තු ඉටුනොකොට ආපසු හරවා යවා නොමැත. එසේ වී නම් එය අල්ප වූ අවස්ථාවකි. කීමට ඇති දේ සිතේ නොසඟවා මුහුණටම ප්‍රකාශ කිරීම මෙතුමන්ගේ සිරිත විය.

මෙතුමන් ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යවරයාව සිටි කාලයේදී මා හට දුරකථනයෙන් කතා කිරීමට අවකාශ සැලසිණි. ඒ අපේ පක්ෂයේ රැස්වීමකට පොලිසිය ශබ්ද වාහිනි බලපත්‍රය සඳහා අවසර නොදුන් අවස්ථාවකදීය. කාරණය තේරුම් ගත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් පොලිසියට කතා කොට එම කාර්ය සුළු වේලාවකදී ඉටුකර දෙන ලදී. ඒ මහින්ද රාජපක්ෂ මහතා‍ෙග් හැටිය. මා ස්තුති කරන්නට කතා කළ විට “ස්තුති එපා වැඩේ කෙරුණනේ” ඔහුගේ පිළිතුර විය. ඒ මා ලද අත්දැකීමකි.

පක්ෂ වූවත් ප්‍රති පක්ෂ වූවත් උපකාරයක් බලාපොරොත්තු වූවා නම් කෙසේ හෝ ඉටුකරදීම ඔහුගේ ක්‍රමය විය.

කිසිවෙකුට බිය නැති මේ නිර්භය මිනිසා තව බොහෝ කාලයක් ජනතාවට සේවය සැලසීම දැකීම සමාජ ප්‍රාර්ථනාවයි.

පසු සටහන

හදවතින්ම එක්සත් ජාතික පාක්ෂිකයකු වූ මා කෙදිනක හෝ මාගේ මතවාදයට මේ දක්වා අභියෝග කර නොමැත. මතු දින ද එය එසේම වනු ඇත. මා එක්සත් ජාතික පාක්ෂිකයෙකි. වර්තමාන විපක්ෂ නායකතුමා‍ෙග් අනූව දශකයේ අග භාගයේ ලේකම්වරයා වී සිටියෙමි. අදට ද විපක්ෂ නායකතුමන් සහ එජාපය පිළිබඳ මාගේ ආදරය ගෞරවය නොඅඩුව ඇත. දේශපාලන මතවාදය එසේ වූවත් රටෙහි පහළ වූ ජනනායකයන් වෙත මාගේ ගෞරවාදරය පිරිනමමි. එක්සත් ජාතික පක්ෂය වුවත්, ජනතා විමුක්ති පෙරමුණ වුවත් මේ අපේ රටෙහි නායකයන්ය. සැබවින්ම මා එක්සත් ජාතික පාක්ෂිකයකු වන්නේ මේ නිසාය.

 

අජිත් යාලේගම

සභාපති

ජාතික සේවක සංගමය

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව

නව අදහස දක්වන්න