පීසීආර් පරීක්ෂණ අතපසු කිරීමට රජය කිසිසේත්ම බලාපොරොත්තු වන්නේ නෑ - ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ | දිනමිණ

පීසීආර් පරීක්ෂණ අතපසු කිරීමට රජය කිසිසේත්ම බලාපොරොත්තු වන්නේ නෑ - ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ

රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හඳුන්වා දීම හරහා පීසීආර් පරීක්ෂණ අතපසු කිරීමට රජය කිසිසේත් බලාපොරොත්තු නොවන බවත්, එසේ කිරීමේ වෑයමක් පවතින බවට ඇතැම් මාධ්‍ය පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් වැවිලි ඇමැති සහ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

'රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ක්‍රමය හඳුන්වා දුන්නත් කොවිඩ් 19 රෝග තත්ත්වය හඳුනාගැනීමේ ක්‍රමවේදය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය වඩාත් පිළි ගත් පීසීආර් පරීක්ෂණ උපරිම ධාරිතාවයෙන් යුතුව සිදු කිරීමට කටයුතු කරනවා. පීසීආර් පරීක්ෂණයට අමතරව ඉදිරියේ දී අලුත් ම ක්‍රමවේදයක් ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එම පරීක්ෂණ කට්ටල ලක්ෂයක් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.

සෑම අතකින් ම පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට රජය ඉදිරියේ දී කටයුතු කරනවා. ඉතා ඉහළ මට්ටමින් පවත්නා තත්ත්වය කළමනාකරණය කර රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ සහ රජය සෑම ක්‍රියාමාර්ගක්ම ගන්නවා.

පෙරේදා (16) දිනය වන විට පීසීආර් පරීක්ෂණ හය ලක්ෂ අසූදහස් අටසිය හතළිස් තුනක් සිදු කර තිබෙනවා. එම දිනයේ පමණක් පරීක්ෂණ අට දහස් හත්සිය හතළිස් තුනක් සහ 15 වැනිදා පරීක්ෂණ දහ දහස් හත්සිය දහතුනක් සිදු කර තිබෙනවා.

ලෝකයේ ඇති වන තත්ත්වයන් අප ඉතාම සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කරමින් සිටිනවා. ඒ යටතේ රෝගය වෙනුවෙන් ලෝකයේ අලුත් ප්‍රතිකාර ක්‍රම, රෝගය වළක්වාගැනීම වෙනුවෙන් සොයා ගන්නා එන්නත් ඇතුළු සියලු දේ පිළිබඳ සෞඛ්‍ය අංශ ඉතා කඩිනම් ප්‍රතිචාර දක්වනවා. අප විශ්වාස කරනවා, ලෝකය සමඟ මේ ගනුදෙනුවේ දී ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියෙන් සිටිනවා බව. අප විශ්වාස කරනවා, මේ කටයුතු ඉතා හොඳින් කළමනාකරණය කර කොවිඩ් අර්බුදයෙන් රට මුදාගැනීමට අපට ශක්තිය තිබෙනවා කියලා.

රජයක් ලෙස මේ වන විට පරීක්ෂණ ධාරිතාව ක්‍රමානුකූලව ඉහළ අගයකට රැගෙනවිත් තිබෙනවා. දිනකට පීසීආර් පරීක්ෂණ  12,000ත් 13,000ත් අතර ප්‍රමාණයක් සිදු කරනවා. ඒ පරීක්ෂණය කරන රසායනාගාරයක් පමණයි මේ වසරේ මාර්තු මාසයේ තිබුණේ. දිනකට කළේ පරීක්ෂණ 300ක් වගේ ප්‍රමාණයක්. අද වන විට පීසීආර් පරීක්ෂණ කරන්න රසායනාගාර 32ක් හඳුනාගෙන තිබෙනවා. අප කිසිම විදිහකින් පසුබෑමට ලක් වන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.'

 බුද්ධිකා ඉඹුලන සහ සිතාරා සේනානි

නව අදහස දක්වන්න