ක්‍රිකට් සජීව දසුන් මවන්න වසර 3කට පසු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය පෙරට එයි | දිනමිණ

ක්‍රිකට් සජීව දසුන් මවන්න වසර 3කට පසු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය පෙරට එයි

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ, විධායක අධ්‍යක්ෂ හසන්ත හෙට්ටිආරච්චි හා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දේශීය නියෝජිත ආයතනය ලෙස කටයුතු කරන මීඩියා ෆැක්ට්‍රි ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කපිල විදානගමගේ සහ අධ්‍යක්ෂ මේනක ලියනගේ යන මහත්වරුන් ලංකා ප්‍රීමියර් ලීග් මෙරට විකාශන අයිතිය පිළිබඳ ගිවිසුම් හුවමාරු කරගත් අයුරු.  ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්නේ

 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙරට විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හිමි කර ගනියි. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, තරගාවලියේ සජීව විකාශය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඔස්සේ මෙරට ක්‍රීඩා ලෝලීන්ට දැකගත හැක.

ඊට අදාළ ගිවිසුම්වලට අස්සන් තැබීම ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ඊයේ සිදු කෙරුණු අතර, එම අවස්ථාවට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ, විධායක අධ්‍යක්ෂ හසන්ත හෙට්ටිආරච්චි හා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දේශීය නියෝජිත ආයතනය ලෙස කටයුතු කරන මීඩියා ෆැක්ට්‍රි ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කපිල විදානගමගේ සහ අධ්‍යක්ෂ මේනක ලියනගේ යන මහත්වරු ද එක් වූහ.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙයට පෙර ඉන්දියාවේ පැවැති ඉන්දියා - ශ්‍රී ලංකා විස්සයි20 තරගාවලිය මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලින්ට සමීප කළ අතර, මෙවර දැවැන්ත ක්‍රිකට් තරගාවලියක් සජීව ලෙස විකාශය කරන්නේ වසර තුනකට පසු වීම විශේෂත්වයකි.

හම්බන්තොටදී දෙසැම්බර් 16 දක්වා පැවැත්වෙන මේ තරගාවලියේ මෙරට විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හිමි කර ගනිද්දී එහි ජාත්‍යන්තර විකාශන හිමිකම් සෝනී සමාගම (ඉන්දියාව), ස්කයි ස්පෝර්ට්ස් (එංගලන්තය), ජියෝ ස්පෝර්ට්ස් සහ පීටීවී (පාකිස්තානය) යන නාලිකා සමත් වී ඇත.

මෙරට ක්‍රිකට් විකාශන අයිතිය හිමිකරගත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා පවසන්නේ තම ආයතනය සැමවිටම යහපත් නිර්මාණශීලි නැවුම් දේ රටට දායාද කරන බවයි. “කොරෝනා වසංගතය හමුවේ දැඩි මානසික ආතතියකින් සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට මේ තරගාවලිය විශාල මානසික සුවයක් ගෙන එන බවට සැකයක් නැහැ. එබැවින් අභියෝග මධ්‍යයේ වුව ද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මුල් වී එල්පීඑල් ක්‍රිකට් වසන්තය රට පුරා ගෙන යන්න දායකත්වය දෙනවා. අපේ මාධ්‍ය ජාලයේ වසන්තම් රූපවාහිනීය ඔස්සේ එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය නරඹන්න පුළුවන්. ඒ වගේම ලක්හඬ හා වසන්තම් එෆ්එම් නාලිකාවල විස්තර වරින්වර විකාශය කරනවා. ඒ නිසා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හරහා එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය නරඹන්න සියලු දෙනාට ආරාධනා කරනවා” යැයි සුදත් රෝහණ මහතා පැවසීය. මෙය ආර්ථික ලාභ අපේක්ෂා නොකර උසස් ලෙස පවත්වාගෙන යෑම එකම බලාපොරොත්තුව බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා සඳහන් කළේය.

රට කොරෝනා තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති අවස්ථාවක ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ජාතික වගකීමක් ලෙස සලකා එල්පීඑල් තරගාවලිය විකාශය කිරීමට ගන්නා උත්සාහය පිළිබඳ සතුටට පත්වන බව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දේශීය නියෝජිත මීඩියා ෆැක්ට්‍රි ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කපිල විදානගමගේ මහතා පවසා සිටී. “මේ වගේ වේලාවක මේ තරගාවලිය රට පුරා විකාශය කිරීම ඉතාම හොඳ දෙයක්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා” විදානගමගේ මහතා පැවැසීය.

 

ප්‍රින්ස් ගුණසේකර

  ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්නේ

නව අදහස දක්වන්න