තරග තීරක මඬුල්ල හා විනිසුරුවන් පත් කෙරේ | දිනමිණ

තරග තීරක මඬුල්ල හා විනිසුරුවන් පත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග තීරක මණ්ඩලය සහ විනිසුරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිල වශයෙන් නිවේදනය කළේය.

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක මඬුල්ලේ ප්‍රධානී රංජන මඬුල්ල මහතා මේ තරගාවලියේ තරග තීරකවරයකු ලෙස එක්වන අතර, අයිසීසී එලයිට් විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු වන කුමාර ධර්මසේන තරගාවලියේ විනිසුරුවකු ලෙසින් ද එක්වීමට නියමිතය.

අත්දැකීම් බහුල තරග තීරකවරයකු වන මඩුගල්ල මහතා 1999, 2003, 2015 සහ 2019 වසරවල අයිසීසී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්හි අවසන් මහා තරගවල ද තරග තීරකවරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු සමඟින් ග්‍රැහැම් ලැබ්රෝයි, වෙන්ඩෙල් ලැබ්රෝයි සහ මෙරට පළමු පන්තියේ තරග තීරකවරයකු වන මනෝජ් මෙන්ඩිස් මහතා ද මේ තරගාවලියේ තරග තීරක මඬුල්ලට එක්ව සිටී.

2012 සහ 2018 හොඳම අන්තර්ජාතික විනිසුරු ලෙස අයිසීසී සම්මාන දිනාගත් ධර්මසේන සමඟින් 11 දෙනකු තරගාවලියේ විනිසුරු මඬුල්ලට එක්වෙති. අයිසීසී අන්තර්ජාතික විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් වන රුචිර පල්ලියගුරුගේ, ප්‍රගීත් රඹුක්වැල්ල, රවින්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල්ට අමතරව දීපාල් ගුණවර්ධන, හේමන්ත බොතේජු, කීර්ති බණ්ඩාර, අසංග ජයසූරිය, රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි යන විනිසුරුවරුන් ද මේ තරගාවලියට එක්වනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ 26 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, දෙසැම්බර් 16 වැනිදා නිමාවට පත් වේ.

 

නව අදහස දක්වන්න