කාන්තා විස්සයි20 ලෝක කුසලානය 2023දී | දිනමිණ

කාන්තා විස්සයි20 ලෝක කුසලානය 2023දී

 

දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් 2022 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 වසරේ පෙබරවාරි දක්වා කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.

ඒ අනුව මාස 3කින් කල් යන තරගාවලිය 2023 පෙබරවාරි මස 9 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. අයිසීසීය මේ තීරණය ගෙන ඇත්තේ එකම වසරක ලෝක මට්ටමේ තරගාවලි 3ක් සංවිධාන කිරීමට අපහසුවීම හේතුවෙනි.

කොරෝනා වසංගත තත්ත්වය නිසා 2021 වසරේ නවසීලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය 2022 දක්වා කල් දැමූ අතර, එම වසරේදී පළමු වරට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට ද කාන්තා ක්‍රිකට් ඉසව්ව ඇතුළත්ව තිබේ. මේ හේතුවෙන් 2022 ලෝක මට්ටමේ තරගාවලි 3ක් පැවැත්වීමට අයිසීසීයට සිදුව ඇත. එබැවින් එක් තරගාවලියක් මාස 3කින් පසුපසට දමමින් 2023දී පැවැත්වීමට තීරණය කර ඇත.

මින් පෙර අයිසීසීය විසින් 2023 වසරේදී කිසිදු ලෝක මට්ටමේ කාන්තා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර නොතිබිණි.

වසර 2කට වරක් පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වරට මේ වසරේ පෙබරවාරි - මාර්තු කාලයේ පැවැති අතර, එහි ශූරතාව දිනා ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය.

මේ අතර, ලබන වසරේ ජනවාරියේ බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ තවමත් ප්‍රකාශ කර නැත.

නව අදහස දක්වන්න