පැළ මිලියන 2ක් සිටුවන “හුස්ම දෙනතුරු”ජාතික රුක් රෝපණ වැඩසටහන ඇරැඹේ | දිනමිණ

පැළ මිලියන 2ක් සිටුවන “හුස්ම දෙනතුරු”ජාතික රුක් රෝපණ වැඩසටහන ඇරැඹේ

පැළ මිලියන 02ක් සිටුවන “හුස්ම දෙනතුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරයි.

“සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් සියයට 30ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඊට අනුගතව පරිසර අමාත්‍යාංශය විසින් මේ වැඩසටහන සැලසුම් කෙරිණි.

වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීම හා ඔක්සිජන් පරිමාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි රුක් රෝපණය කෙරෙන අතර ඉදිරි වසර පහ ඇතුළත පැළ මිලියන 02ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, ආරක්ෂක මූලස්ථානය හා ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) පෙරවරුවේ බත්තරමුල්ල, මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මූලස්ථාන පිවිසුම් මාර්ගය අසල පළමු පැළය ලෙස සුදු සඳුන් පැළයක් රෝපණය කරන ලද අතර පරිසර ඇමැති මහින්ද අමරවීර සහ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්වරු ද පැළ සිටුවමින් වැඩසටහනට එක්වූහ.

රටපුරා පැළ බෙදාදීම සංකේතවත් කරමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පැළ බෙදාදීම ද මෙහිදී සිදුකෙරුණු අතර පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න