තරුණ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළේ අවස්ථා: Q-shop දහසක් ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් | දිනමිණ

තරුණ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළේ අවස්ථා: Q-shop දහසක් ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන්

තරුණ ව්‍යවසායකයන් සඳහා වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කිරීම උදෙසා වන Q-shop දහසක් ව්‍යාපෘතිය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි.

ඒ අනුව තරුණ ව්‍යවසායකයන් සඳහා වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කෙරෙන Q-shop ව්‍යාපෘතියට අදාළ සමාරම්භක අවස්ථාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්විණි.

එහිදී ප්‍රථම Q-shop වෙළෙඳසල අගමැතිවරයා අතින් විවෘත කෙරුණු අතර ගුණාත්මක භාවයෙන් ඉහළ රාජ්‍ය අංශයේ හා ස්වදේශික පෞද්ගලික නිෂ්පාදකයන්ගේ භාණ්ඩ සෘජුවම පාරිභෝගිකයා වෙත නිකුත් කරමින් තරුණ ව්‍යවසායකයන් සඳහා වෙළෙඳපොළ අවස්ථා මේ ඔස්සේ නිර්මාණය වනු ඇත.

මේ ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ රට පුරා Q-shop දහසක් ආරම්භ කෙරෙන අතර, ඉන් පසුව 2024 වර්ෂය වනවිට දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි Q-shop 14,000ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිදි ජනතාවට අඩු මිලට ප්‍රමිතියෙන් ඉහළ භාණ්ඩ අලෙවි කිරීම හා තරගකාරී තරුණ ව්‍යවසායකයන් බිහිකිරීමට මැදිහත්වීම මෙහි ප්‍රධාන අරමුණු වේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ තරුණ ව්‍යවසායකයන් නගා සිටුවීමේ වැඩසටහන යටතේ මේ ව්‍යාපෘතියට තරුණ ව්‍යවසායකයන් සොයාදීම සිදු කෙරෙන අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත, ඔබයි දැයේ විරුවා නැමැති ගීතය ඇතුළත් සීඩී තැටිය අගමැතිවරයාට පිරිනැමීම ද මෙහිදී සිදුවිය.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියෝද වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ලසන්ත අලගියවන්න මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න