ඔව්, අපිට ඒක කරන්න පුළුවන් | දිනමිණ

ඔව්, අපිට ඒක කරන්න පුළුවන්

ෆැන්ටසි ලෝකවල 

හීන අස්සේ ම

මකුළු දැල් බැඳපු

ඒ හීනම යථාර්ථයක්

කරගැනීමේ අසමසම

ගැම්ම තියෙන්නේ ම

ඒ හීනවල කිඳා බැහැපු

උන්මත්තකයන්ටම ය

 

"හීන ලෝකවලින් ඇහැරිලා, හැබෑ ලෝකෙට වරෙන් " මේසා නොයෙක් තාලේ වහසිබස් මැද්දේ , වයසින් වයසට යන තරුණ සහෝදර සහෝදරියනි, ෆැන්ටසි අස්සේ තෙරපෙන හීන යථාර්ථයක් කරගන්න අනිවාර්යෙන්ම පුළුවන්. හීනවලට හීන විදිහටම පොළොවට පස් වෙන්න දෙන්න මාරම ලේසියි .හැබැයි, ඒ හීන කටු කාලා , "ඒ කටු වලින්ම රෝස මල් පූදිනවා වගේ" දවසක යථාර්ථයක් කරගන්න වෑයම නම් මාරම අමාරුයි. ඒත් අවසාන නිමේෂයේ ලබාගන්න තෘප්තිය කියලා නිම කරන්න බැරි, මීවිතත් පරදන  සදාකාලික සන්තාපයක්.

 මැරෙන්න යන හීනවලට අරමුණක් ලබා දුන්නම ඒ හීන දලුලන්නේ අධික වේගයෙන්. මිනිස්සු විවිධාකාර වගේම ගෝලාකාර ලෝකයේ රවුම් හතරැස් ත්‍රිකෝණ මෙකී නොකී ආදී විවිධ හැඩයේ හීන අසංඛ්‍ය සංඛ්‍යාවක් පවතිනවා. සමහර හීන තුට්ටු දෙකට හෑල්ලූ වෙනවා. සමහර හීන සල්ලි කියන අත්වාරුවෙන් ක්ෂණික නූඩ්ල්ස් වගේ හැබෑ වෙනවා. තුට්ටු දෙක ඉදිරියේ මියැදෙන හීන හැබෑ කරගන්න පටු මෙන්ම කටුක මාවත් බොහොමයක් ද පවතී. මත්පැන් පානය කරන ,බොළඳ පෙම් කතාවක් වෙනුවෙන්ම කාලය කැප කරන, ආතල්  ලෝක මත්තෙම නැහෙන්න ලේසියි පහසුයි.

මේ හැම ෆන් එකක්ම හිතේ සතුටින් භුක්ති විඳින්න හැකි වන කාලයක් උදා කරගන්න . ජීවිතයේ අරමුණ පද රචනය කර ගන්න බැහැ කියලා ඔළුගෙඩිය පුන පුනා කීවත් , හිතයි මනසයි දෙකෙන්ම "මට පුළුවන් "කියන අභිප්‍රේරණ තමන් තුළින්ම ගොඩනඟා ගන්න.

ඇඳුම් මාරු කරනවා වගේ හීන මාරු කරන්න. හීන මාරු කරන කරන තාලයට මවුපියන්ගේ අහිංසක හිත් එක්ක ඩීල් ගහන්න කිසි විටකත් උත්සහ නොකරමු . වැටෙන වැටෙන තැනින් නැඟිටිමු . ඒ ගැම්ම වටේ පිටේ උදවියට උසුළුවට විසුළුවට කාරණයක් වුණත් කම් නැත. නැඟිටින්න. ඔබේ හීන ඔබේම කරගන්න. දුප්පත් වේවා පෝසත් වේවා කියා බැරි කමක් නැත.

වරක් වැරදුණ පිම්ම, හරි හැඩයට හරි විදියට තබන්න. ඒ පිම්මේ දී තරයේ සිහි තබාගත යුතු කාරණාව වන්නේ, මේ වන තෙක් හැම සතේම වැය කරපු  ඒ ආදරණීය මව්පියන්ට තවත් බරක් නොවන්නට වගබලා ගත යුතු යන්නයි. වැඩුණු දරුවෙකු ලෙස, හීන මාගේ නම් හීනවලට යන පාර, සම්පත් අපටම සපයා ගන්න පුළුවන්. ඒ අදිටනට එදත් අදත් හෙටත් මහා අත්වාරුව ලෙස අපේ අම්මා තාත්තා ඉඳීවි. සත්තකින්ම. කොහේ කොතනක හෝ.

ඉතින් සොයුර සොයුරිය , 

හීන කියන්නේ........

හීන දකින්නටවත් ,

මාරුවෙන් මාරුවට  මාරු කරන්නටවත් ,

වීසි කර දමන්නට වත් , 

තුට්ටු දෙකට විකුණන්නට වත් ,

පවතින මිල කළ හැකි භාණ්ඩයක් නොවේ. එය යථාර්ථයක්  කරගන්නට වේදිකාගත වන අපේම ජීවිත නාටකයයි.

සූරියකාන්ත මල්

ඉර දිහාවටම හැරෙන

ඒ සම්මතයන්

අසම්මත විදියට

ප්‍රතිලෝමව වෙනස් වන

ගෝලාකාර ලෝකයේ

අහස් මාලිගා

පොළවේදීම හදන්න

 *Yon can bro Sis* 

 

 දෙව්නි පෙරේරා

නව අදහස දක්වන්න