හිමිදිරි පෙදෙස | දිනමිණ

හිමිදිරි පෙදෙස

සමනල රහසක්

 

රන්පාට සමනලයෙක්

කීවා රහසක්

රන්පාට මලකට

හෙටත් උදේ මම එනවා

ඔබේ පියකරු මුහුණ දකින්නට

ඔබට දුක හිතෙයි

හෙට මම නටු අග

පර මලක්.

නමුත්

දනිමි මම

හෙට දින ඔබ ,

පියාඹන බව

ඊළග මල් පඳුරට

 

නිලක්ෂි බණ්ඩාර

 

 

හිමි අහිමි

 

රාගී රළහිමි දැවෙමින් පැමිණෙත

සිපගනී සුකොමල වෙරළකත

හඬා වැළපෙයි සොඳුරිය පරිණත

හිමි ගියා සැනෙකින් අන්අත

      

සිහාරා සත්සරණි චන්ද්‍රසිරි

කැලණිය විශ්වවිද්‍යාලය

 

 

සිරිමලයා

 

අප්පා නැති අනාථයා

සිරිමලයා මමයි ගමේ

සක්විති රජ පැටියා උඹයි

ආරච්චිල බංගලාවේ

වැලිකෙළියේ උඹ එක්කලා

දුවලා පැනලා මිදුල වටේ

මතකයි අපි හිනා උනා

කිටි කිටියට එකපොදියේ

 

උඹට කන්න ඒරොප්පෙන්

ඇපල් පෙට්ටි ගමට ආවා

ඇපල් ගෙඩියේ පොත්ත කන්න

පිළිකන්නේ මං  හිටියා

සිරියහනේ උඹ නිදද්දී

ඇඳ පල්ලේ බිම  ඉඳලා

කකුල් තැව්වේ නින්ද යන්න

උඹ හට ආදරේ   හින්දා.

 

දින සති පහුකරලා උඹ

අකුරු හොයන් කොලොම් ගියා

අපිටැ මොන අකුරු ද බං

මං කුඹුරට  සින්න උනා

දන්නෙම නෑ විසිවසරක්

ඉරට හොරෙන් ගෙවිලා ගියා

පුංචි හාමු ගම එනවා

පයින්ඩයක් කන වැකුනා.

 

උඹ බලන්න ගමේම උන්

ආදරයෙන් එකතු උනා

කලුම පාට වාහනෙකින්

උඹ මිදුලට පය  තිබ්බා

පෝන් එකක් කනේ ගහන්

අහකබලන් ගෙට ගොඩ උනා

සපත්තුවේ ලේස් ලෙහිලා

 මං විගහට ගැටේ ගැහුවා.

 

( සිරිමලයෝ,

අධික ගැති බව තුළ අපට අප මුණගැසෙන්නේ නැත. උන් අපව යොදාගන්නවා පමණි...)

 

J.M.R. මදුමාල් ජයසිංහ

නැගෙනහිර විශ්වවිද්‍යාලය

ත්‍රිකුණාමලය මණ්ඩපය.

 

 

සුසුම්ලන ඉරණම

 

වේදනා

මුහුවෙවී සුසුම් එක්ක හැම රෑක

මතක පපුවෙන් අදිනකොට,

කඳුළ

නුඹ විතරයි හිටියේ හැමදාක

මගෙ ළඟ තනි නොතනියට,

සිනහව

සතුට එක්ක හාද වෙලා රහසේම

ගියේ ඇයි දුර ඈත,

ජීවිතය දෛවය එක්ක පෑහිලා මගෙ කරුමෙට

ඔච්චම් කරනු ඇයි මෙච්චර,

සමාවෙයන් හිත මං නුඹව මරනවා දැන්මම

නුඹ නිසයි අද පණ යදින්නෙ මගෙ හදවත

 

චතූ ගුණසිංහ

නැඟෙනහිර විශ්වවිද්‍යාලය

 

 

 

 

අයිති කාටද?

 

දුම්බරා පෙති තැලුනේ උඹෙ පුතුට

මෙර උසුලා බිහි කෙරු ඒ

ලේ කැටියා උඹෙ පුතුට

බඹරු රැලේ පති රැක්කා උඹෙ පුතුට

නැන්දම්මේ අයිති නැද්ද පුතු මෙමට.....

ජාතක නමුත් නුඹ ළඟ අම්මේ

ජාතක කරා නුඹෙ උරුමය මම අම්මෙ

නුඹත් මවක් මාත් මවක් ඒ අපි දෙන්නගෙ ලෝකේ

සමඟිව අපි එක්ව යමුද මේ ගමනේ......

 

ඩිලේශා දිල්රුක්ශි

 

 

 

 

නුඹද මලකි 

 

මල් යායක පිපුණ මලකි

රොන්සුණු තවරා සුවඳකි

මල්යායෙන් නුඹව සොයා

නෙළා ගන්නේ කොහොමද මං

 

පෙති විහිදා සුවඳ හමන

මල්යායක ඔබ රැඳෙනා

ගුණ සුවඳින් පිරුණු මලකි.

වන බඹරුන් රැස් කරනා

 

මල් යායේ අතරමංව

ඔබ සොයනා මතු දවසක

නටුවෙන් ගිලිහුන දිනකදි

ඔබ සොයන්නේ කොහොමද මං

 

නටුවෙන් ගිලිහුන දවසක

පෙති හැළිලා විසිරුනාට

නුඹේ නමින් හැමුව සුවඳ

මේ ලොව තුළම ඇතිය

 

ප්‍රියදර්ශනී කරුණාරත්න

 

 

 

පිරිමි හිත්

 

පපුව කොච්චර

කැළතුනත් වේදනාවෙන්

සුසුම් පමණයි

පිටවෙන්නෙ හිත් ගුහාවෙන්

වැටි  වැටී  හඬන්නට

බැරි  නිසාවෙන්

පිරිමි  හිත් ගල්වුණා

මඳ  සිනහවෙන්

 

සයුරි ධනංජනී

කැලණිය විශ්වවිද්‍යාලය

 

 

 

ඇය ද මවකි

 

දුහුවිලි අහසකි

බොඳ වූ දෙනෙතකි

නමුදු

රාගී ලය වසා වෑහෙන

ශ්වේත රුහිරය

කියයි කිරි සිනහවක අරුමය

 

කෞෂල්‍යයා ගුණසිංහ

කැලණිය විශ්වවිද්‍යාලය

 

 

 

බැස ගිය සඳ

 

නෙතින් පවසා දසන් ඉඳුරා

තවත් කියනා කාරණා

විටින් විට නුඹේ හිතේ මතුවී

බොඳව යන සිහිනෙක විනා

 

දසත විසිරී නෙතට නොපෙනී

ගියත් අමතක සිතුවිලී

මතක් කරමින් රිදු දෙන හද

නුඹත් තව නොදැනම ඇති

 

හෙමින් බැස යන සඳක් විලසට

මුළු හිතම අඳුරක තියා

දුකක් නෑ නුඹ තුටින් ඇතියැයි

හිතා මං හද සනසනා

 

ශාමලී සාගරිකා අංජුනි

 

 

 

පෑලියගොඩ පොකුරෙන්

පලාගිය මාළුවෙක්

 

හිතාදර මාළුවනි වෙන් වෙමු ටික දවසකට

ඉස්සර අපට තිබුනෙ රෑනක්

ඒත් දැන් තියෙන්නනේ පොකුරක්

දැළක පැටලෙනවට වඩා ව්‍යසනයකි

පොකුරක එකෙක් වෙන එක

 

රණවිරුවණි කිමද උරුක්කර

බයිනෙත්තු කටවල්

කුණු ඟද ගහන මීඩියා දොරවල්

ත්‍රස්ත්‍රවාදියෙක් නෙමෙයි මං අහිංසක

කොවිඩ් වැලඳුණු මාළුවෙක්

 

අම්මවත් නැති සාරි ගප්පියා

පෙරේදා රෑ ගෙට වුනා

බළල් ඇස් පුරු පුරු ගගා

ගේ වටේටම කැරකුනා

 

අතපය වාරු නැති වයසක මගේ අම්මා

රෝද පුටුවේ තුන් වරුවටම

ඛෙහෙත් බොන්නා

වැරදූනොත් වේලක්

කරදර නොවේ නිම්මා

නිවන් දැක නවතීවි අම්මා

 

යන්නෙ කොහොමද කන්දකාඩුවට මං

හිතේ කොටසක් ගෙදර තියලා

සමාවෙන්නට හැකිනම් කියන්නම් දිවුරලා

පැන්නේ ඒකයි රෝහලෙන් කාටවත් නොකියා

 

සමන්ත ඒකනායක

ලංකා බැංකුව

 

 

 

පෙම් මුල්ලක

 

හුදෙකලාව රජකරන හැන්දෑවක

අවැසි දිගුගමනක් වෙනුවෙන්

නැගගෙන පරණ බසයට දිවෙන

හිඳගත්තා මුල්ලක පසුපස අසුනක

 

කොන්දොස්තර තැන ළඟට විත්

ඇසුවා කොහියන්නෙද මාමා

යන ගමන පැවසුව විට එකනෙහිම

කීවා ටිකට් නොමැත ගන්නට ඕනා

 

දුරකදි නැගගත් ගැටවර දෙදෙනෙක්

ලන්වූවා පසුපස මේ අසුන වෙත

අන්කල් ඔය අපි වෙනදා ඉන්න තැන

කොලුගැටයා කීවා තෙපලා හෙමීට

 

අනේ පුතේ බහිනවා මම මේ ළඟම

මගේ පවුල ඉන්නේ රෝහල් ඇඳක

විඳවනවා ඇය මරණය දැන් ලඟ ළඟම

ගනින් එහෙනම් ඕන් උඹේ පෙම් මුල්ල

 

තරිඳු s. මානගේ

 

 

 

 

නව අදහස දක්වන්න