සුජිත් එජනිසයෙන් නෙරපීම නීතියට පටහැනියි | දිනමිණ

සුජිත් එජනිසයෙන් නෙරපීම නීතියට පටහැනියි

නෙල්කා මැදගෙදර

හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු වන සුජිත් මුතුකුමාරණ මහතා 2019 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකත්වයෙන් නෙරපීම නීතියට පටහැනි බවට තීන්දු කළ අභියාචනාධිකරණය ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වී ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති ලිපිය බල රහිත වන බවට තීන්දු කෙළේය.

එසේම එම පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඔහු නෙරපා ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය ද බල රහිත කරන ලදී.

සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව සුජිත් මුතුකුමාරණ මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය කළේය. චෝදනාවලට එරෙහිව පිළිතුරු ලබා දීමට සාධාරණ අවස්ථාවක් නොදීම මගින් වගඋත්තරකරුවන් ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනිව කටයුතු කර ඇති බවට අධිකරණය තීරණය කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු අට දෙනකු නම් කරනු ලැබ තිබිණි.

පෙත්සම් විභාගය සිදුකළ මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ එකගත්වය සහිතව විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සඳහන් වේ.

“පළාත් සභා පනතේ 63 (1) වගන්තිය අනුව තමා එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව පෙත්සම්කරු මෙම අයදුම්පත ඉදිරිපත් කර ඇත.

ඉදිරිපත් කළ කරුණු කිහිපයක් අධිකරණයේදී අනාවරණය වූ බව එම තීන්දුවෙහි සඳහන් වේ. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥවරුන් වන ශ්‍යාමාල් කොල්ලුරේ, ඒ.වී.ජයවීර, පී.එම්.අමරසිංහ, රවින්ද්‍ර එස්. ද සිල්වා යන යන මහත්වරුන් පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ මහේෂිකා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.

 

නව අදහස දක්වන්න