පර්යේෂණ-නව නිපැයුම් සහ තාක්ෂණය රටක ආර්ථික දියුණුවේ හැරවුම් ලක්ෂයයි - රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල | දිනමිණ

පර්යේෂණ-නව නිපැයුම් සහ තාක්ෂණය රටක ආර්ථික දියුණුවේ හැරවුම් ලක්ෂයයි - රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල

පර්යේෂණ ප්‍රතිඵල පුළුල් වාණිජකරණ මට්ටමකට ගෙනඒමට සහයෝගය දෙන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමැතිනිය මේ බව පැවසුවාය.

මේ නිරීක්ෂණ චාරිකාවේ දී ආයතනයේ විද්‍යාඥයෝ ආයතනයේ ගමන්මඟ පිළිබඳවත්, මේ වන විට කරමින් පවතින පර්යේෂණ සහ නිමා කරන ලද පර්යේෂණ පිළිබදවත් ඇමැතිවරිය දැනුවත් කළහ. ඇමැතිනිය විසින් මේ කරුණු පිළිබඳ සුවිශේෂී අවධානය යොමු කළ අතර අදාළ පර්යේෂණාගාර දීර්ඝ ලෙස නිරීක්ෂණය කළාය. මේ ආයතනයේ විද්‍යාඥයන් මහත් පරිශ්‍රමයකින් කළ අදාළ පර්යේෂණයන්ගෙන් නිසි ඵල රටට ලබා ගැනීමට නම් එම නිෂ්පාදන සඳහා වාණිජමය වටිනාකමක් ලබාදීමේ වැදගත්කම පෙන්වා දුන් ඇමැතිනිය ඒ සඳහා ඇති ගැටලු නිරාකරණය කරමින් ඒවා පුළුල් වාණිජකරණ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය සහයෝගය නොඅඩුව දෙන බව ද ප්‍රකාශ කළාය.

මෙහිදී වැඩිදුරටත් ඇමැතිනිය මෙසේ ද පැවසුවාය.

පර්යේෂණ,නව නිපැයුම් සහ තාක්ෂණ භාවිතයට වැඩි අවධානයක් යොමු කිරීම රටක ආර්ථික දියුණුවේ හැරවුම් ලක්ෂ්‍යයයි. ඒ තීරණය ගත් තැන සිට ඒ රටවල් වෙනස්වීමේ, දියුණුවීමේ ආරම්භය සනිටුහන් වෙනවා. රටේ ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී අප අමාත්‍යාංශයේ කාර්යභාරය ඉතා වැදගත්. එම කාර්යභාරය උපරිමව සිදුකිරීමට සියලු ආයතන මනා කළමනාකරණයකින් එකමුතුව කටයුතු කිරීම අවශ්‍යයි. ඒ නිසා ඉදිරි වසරේ දී රටේ ජාතික ආර්ථික සංවර්ධන ඉලක්ක ජය ගැනීමට මේ පර්යේෂණ ආයතනවල දායකත්වය උපරිමව ලබාගැනීමට කටයුතු කළයුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ගැනීමට විශේෂ අධ්‍යයනයක් අප සිදු කරගෙන යනවා. මේ ආයතනයේ අධ්‍යයනය ද අපි අද දින සිට ආරම්භ කරනවා.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සභාපති, මහාචාර්ය අතුල සුමතිපාල, අධ්‍යක්ෂ, මහාචාර්ය සමන් සේනවීර මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න