හම්බන්තොට ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලා සංකීර්ණයක් ඇරඹීමට පියවර - ඇමැති ඩී. වී. චානක | දිනමිණ

හම්බන්තොට ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලා සංකීර්ණයක් ඇරඹීමට පියවර - ඇමැති ඩී. වී. චානක

නුවන් කොඩිකාර

ලොව ප්‍රමුඛ ටයර් නිෂ්පාදන සමාගමක් වන චීනයේ Shandong Haohua Tyre Co. Ltd සමාගම රුපියල් කෝටි 5500කට වැඩි ආයෝජනයකින් හම්බන්තොට ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලා සංකීර්ණයක් ආරම්භ කිරීමට ගිවිසුම් ගත වු බව ගුවන්තොටුපොළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා පැවැසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

'මෙරට ටයර් නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයට නව මං පෙත් විවර කරමින් අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙහි ටයර් නිෂ්පාදනය වෙනවා. අර්ධ වානේ සහ වානේ රේඩියල් ටයර් නිපදවීම ප්‍රධාන වශයෙන් අපේක්‍ෂා කරනවා. මෙහි බස් සහ ට්‍රක් වැනි බර වාහන ප්‍රමුඛ ඉලක්ක වෙනවා. මේ ව්‍යාපෘතියට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමුහය (HIPG) විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය කාර්මික කලාපය (HIP’s Industrial Park) තුළ අක්කර 121ක භූමියක් දී තිබෙනවා.

මේ ව්‍යාපෘතියෙහි සෘජු විදේශ ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 300ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 5500කට වැඩි ප්‍රමාණයක්. මේ ව්‍යාපෘතිය වසර තුනකින් ඉදි කර අපනයන කටයුතු ආරම්භ කළ යුතුයි. මෙයින් සෘජු රැකියා 2000කට වැඩි ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අ‍පේක්ෂා කරනවා. ඒ වගේම වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ද බලාපොරොත්තුවෙනවා.

මෙවැනි ව්‍යාපෘති ආරම්භ වීමත් සමඟ හම්බන්තොට සහ අවට දිස්ත්‍රික්කවල නව ආර්ථික උත්පාදන ක්‍රියාවලියක් හා සැපයුම් ජාලයක් ඇති වෙනවා. මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම, ප්‍රවාහන සැපයුම්, ආහාර හා නවාතැන් පහසුකම් සැපයීම වැනි කාර්යයන් අපේ ප්‍රදේශයේ ජනතාව අතර බෙදී යෑමක් අපේක්ෂා කරනවා. එයින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම අප රජයේ අරමුණයි.

වර්තමානය වන විට ටයර් කර්මාන්තය ලොව පුරා විහිදුන විශාලතම ලාභ උපයන කර්මාන්තයක් බවට පත් වී තිබෙනවා. එහි වෙළෙඳපොළ විශාලත්වය අමෙරිකානු ‍‍‍‍ ඩොලර් බිලියන 115.07ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මේ කර්මාන්තය 2027 වන විට අමෙරිකානු ‍‍‍‍ ඩොලර් බිලියන 157.43 දක්වා ප්‍රසාරණය වන කර්මාන්තයක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයන් උපකල්පනය කරනවා. මේ කම්හලත් ලොව පුර රටවල් විශාල ප්‍රමාණයකට ටයර් අපනයනය කරන සමාගමක්. මීට සමගාමීව හම්බන්තොට වරාය කාර්ය බහුල වරායක් බවට පත් වේවි.

දේශීය රබර් ගොවියාට ස්ථාවර හොඳ මිලක් ගැනීමට මේ නිසා අවස්ථාව ලැබෙනවා. ඒ ආශ්‍රිත යැපෙන්නන්ගේ ආර්ථිකය සවිමත් වේවි. මෙවැනි ව්‍යාපෘතිවලින් සියලු පාර්ශ්වලට ප්‍රතිලාභ බෙදී යෑමක් ජනාධිපතිවරයා අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාව මේ වන විට අමෙරිකානු ‍‍‍‍ ඩොලර් බිලියනයක රබර් නිෂ්පාදන අපනයනය කරනවා. 2025 වසර වන විට එය බිලියන 2ක අපනයන කර්මාන්තයක් බවට පත් කිරීම අප අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. මේ ව්‍යාපෘතිය සක්‍රීය වීමත් සමඟ අපේක්ෂිත ඉලක්කයෙන් 30%ක් සපුරා ගත හැකි වේවි.'

නව අදහස දක්වන්න