කොරෝනා අර්බුද හමුවේ ජගත් සම්මේලනය වංචාකාරී පාපන්දු ලොක්කෝ පසුපස | දිනමිණ

කොරෝනා අර්බුද හමුවේ ජගත් සම්මේලනය වංචාකාරී පාපන්දු ලොක්කෝ පසුපස

අප්‍රිකානු සභාපතිවරයාට වසර 5ක තහනමක්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ආචාර ධර්ම කඩ කරන ලෝක පාපන්දු සම්මේලන ප්‍රධානීන් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතියි. ලොව පුරා ඇතැම් පාපන්දු ප්‍රධානීන් ලෝක පාපන්දු සම්මේලනයේ මුදල් අවභාවිත කරන ආකාරය හා තනතුරේ වගකීම උල්ලංඝනය කිරීම, ප්‍රතිලාභ ලබා ගැනීම, අරමුදල් වැරදි ලෙස කළමනාකරණය වැනි කරුණු සම්බන්ධ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට විවිධ තොරතුරු ලැබෙමින් පවතින හෙයින් විමර්ශන කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.

එම විමර්ශනවල නවතම ප්‍රතිඵලය වී ඇත්තේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ආචාර ධර්ම පිළිබඳ කමිටුව විසින් කළ පරීක්ෂණයකදී මූල්‍ය විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් අප්‍රිකානු පාපන්දු සම්මේලනයේ සභාපති අහමඩ් අහමඩ් මහතාට වසර පහක තහනමක් පැනවීමය. මෙම තහනමට අමතරව ස්විට්සර්ලන්ත ෆ්‍රෑන්ක් 200,000ක දඩයක් ද නියම කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ආචාර ධර්ම පිළිබඳ කමිටුව පියවර ගෙන ඇත.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරයකු ද වන 60 හැවිරිදි අහමඩ් අහමඩ් මහතා තම තනතුරේ යුතුකම උල්ලංඝනය කිරීම, තෑගි සහ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීම, පාපන්දු අරමුදල් වැරදි ලෙස කළමනාකරණය කිරීම සහ අප්‍රිකානු පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයේ බලතල අනිසි ලෙස භාවිතා කිරීම උදෙසා වැරදිකරු කර ඇති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සඳහන් කර සිටී.

මැඩගස්කර ජාතික අහමඩ් අහමඩ් මහතා 2017 මාර්තු සිට අප්‍රිකානු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, ලබන වසරේ පැවැත්වෙන නිලවරණයේදී අප්‍රිකානු පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටියේය. එහෙත් පනවා ඇති දඬුවම හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමීවී යනු ඇත.

පසුගියදා මක්කම වෙත උම්රා වන්දනා ගමනක් සංවිධාන කිරීම සහ ඒ සඳහා මුදල් සැපයීමත්, ක්‍රීඩා උපකරණ සමාගමක් සමඟ අප්‍රිකානු පාපන්දු සම්මේලනයේ අනිසි ගනුදෙනු සම්බන්ධයෙන් අහමඩ් අහමඩ් මහතාට චෝදනා එල්ලවී තිබූ අතර, එම චෝදනා සැකයකින් තොරව ඔප්පු කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ආචාර ධර්ම පිළිබඳ කමිටුව සමත්ව තිබේ. එහෙත් පාපන්දු සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් වලට පනවා ඇති තහනමට එරෙහිව අහමඩ් අහමඩ් මහතාට අභියාචනා කිරීමේ බලය හිමිවේ.

එම තහනම පිළිබඳ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය යළි පරීක්ෂණ ආරම්භ කරන අතර, එහිදී යළිත් චෝදනා ඔප්පු වුවහොත් අහමඩ් අහමඩ් මහතාට ලූසෑන්හී පිහිටි ක්‍රීඩා පිළිබඳ බේරුම්කාර මණ්ඩලය හමුවට යෑමේ හැකියාව පවතී.

කෙසේ වුවද වසර 2019 අප්‍රේල් මාසයේ දී හිටපු අප්‍රිකානු පාපන්දු සම්මේලන නිලධාරියකු වන අම්ර් ෆාමි මහතා විසින් අහමඩ් අහමඩ් මහතා කරන ලද වැරදි මාලාවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය වෙත ලිපියක් යොමුකර තිබූ අතර, අධ්‍යක්ෂවරුන්ට අල්ලස් ලබා දී ඇති බවටත්, අප්‍රිකානු පාපන්දු සම්මේලන අරමුදල් පෞද්ගලිකව භාවිතා කර ඇති බවත්, සේවකයන් කිහිප දෙනෙකුට අහමඩ් අහමඩ් මහතා ලිංගික හිරිහැර කළ බවත් ඔහු චෝදනා කළේය. මාස දෙකකට පසු එම වසරේ කාන්තා ලෝක කුසලානයට පෙර පැරිසියේදී අහමඩ් අහමඩ් මහතා අත්අඩංගුවට ගනු ලැබූ නමුත් කිසිදු චෝදනාවකින් තොරව දිනකට පසුව නිදහස් විය.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න