කොරෝනා වසංගතය මධ්‍යයේ වුවද රාජ්‍ය සේවාව විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නවා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් | දිනමිණ

කොරෝනා වසංගතය මධ්‍යයේ වුවද රාජ්‍ය සේවාව විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නවා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්

මැඩිල්ලේ  පඤ්ඤාලෝක  හිමියන්ට විරුද්ධව මා  සීඅයිඩීයට  ගියැයි කීම අමූලික බොරුවක්

ඇමැති  ජොන්ස්ටන් ප්‍රනාන්දු

මධ්‍යම  සංස්කෘතික  අරමුදලින් යහපාලනය වසර 4කට මිලියන 25000ක් ඇදලා

රාජ්‍ය ඇමැති  විදුර වික්‍රමනායක

කොරෝනා  අභියෝග  ජය ගන්න  ජනතාව බුදු දහමට මුල් තැන දීලා

මන්ත්‍රී තිස්ස අත්තනායක

විශ්‍රාම වැටුප් කප්පාදුවෙන්  හමුදාවේ විශාල පිරිසක්  පීඩාවට  පත් වෙලා

මන්ත්‍රී විජිත හේරත්

 

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද රාජ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග රජය ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව සදහන් කළේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු වැය ශීර්ෂ ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවැති විවාදයට එක්වෙමිනි.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානාන මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (24) පෙරවරු 9.30 ට රැස්විය.කතානායක නිවේදන, ලිපි ලේඛන හා වාර්තා පිළිගැන්විමෙන් පසු මහජන පෙත්සම් ඉදිරිපත් කෙරිණි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීයකලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, පළාත් සභා හා පළාත් පාලන කටයුතු යන අමාත්‍යාංශ වල වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය පැවැත්විණි.

වැය ශීර්ෂයන්ගෙන් රුපියල් දහය බැගින් කපා හරින ලෙස යෝජනා කරමින් කතා කළ පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා. (ස.ජ.බ)-අද කාරක සභා අවස්ථාවේ කතා කරන්නේ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගැනයි. අද අප මේ කතා කරන බුද්ධ ශාසන අමාත්‍යාංශය ආරම්භ කළේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා. බුදු දහමේ කේන්ද්‍රීය ස්ථානයක් ලෙස අපේ රට සලකන නිසා එය රැකගන්න අමාත්‍යාංශයක් බිහි කළ යුතුයි කියලා තමයි ප්‍රේමදාස මහත්මයා මේ අමාත්‍යාංශය ස්ථාපිත කළේ. අද කොරෝනා වයිරසය දිහා බලන්න. මේ තරම් තාක්ෂණය දියුණු වෙලත් එය පාලනය කරන්න අපහසු වෙලා තිබෙනවා.

ඉන්දික අනුරුද්ධ මහතා- මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉතිරි කරලා ගියානම්. ඒ මුදල් කොහේද තිබෙන්නේ.

තිස්ස අත්තනායක මහතා- මධ්‍යම සංස්කෘතික අරමුදල පෝෂණය වෙන්නේ අපේ ලෝක උරුමයන්හි ටිකට් පත් සහ එයින් එන මුදල් වලින්. මේ ආණ්ඩුව සමාජ මාධ්‍යවලට දැඩි ආවරණයක් දාන්න යනවා.

චමල් රාජපක්ෂ මහතා- යම් කෙනෙක් තවත් කෙනෙකුට අභූත චෝදනාවක් එල්ල කරනව නම් එය සොයා බලන එක වැරදිද?

තිස්ස අත්තනායක මහතා- මම කියන්නේ සොයා බැලීම වැරදි නැහැ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා- කොවිඩ් වසංගතයෙන් අසරණ වුණ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට අපේ රාජ්‍ය නිලධාරීන් සිදුකළා. ඒ සේවාව වෙනුවෙන් මගේ ගෞරවය පුදකර සිටිනවා. ඒ වගේම රාජ්‍ය සේවයට 57000 ක් බඳවා ගන්න තීරණය කළත් දිගින් දිගට කළ ඉල්ලීම නිසා එය 60000 දක්වා වැඩි කළා. ඒ වගේම ළඟදි ගත්ත සියලුම රජයේ නිලධාරීන් ස්ථීර කිරීම පියවර ගෙන තිබෙනවා. තවත් අංශ ගණනාවකට බඳවා ගැනීම ඉදිරියේදී සිදු කරනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවට වසර පනහක් පිරෙනවා. ඉන් විශාල සේවාවක් මේ වන විට සිදුකරමින් ඉන්නවා. තාක්ෂණය යොදා ගැනමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගනිමින් වැන්ඳඹු දීමනා ක්‍රමානුකූලව සිදුකරමින් ඉන්නවා. පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට මගේ උපරිමයෙන් කටයුතු කර තිබෙනවා. ග්‍රාමීය පාලම්, පාසල්, සෞඛ්‍ය, නාගරික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තිබෙනවා. පළාත් පාලන නීතිද වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනය කරමින් තිබෙනවා.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා- විපක්ෂය කුමන විවේචනය කළත් මෙය මනා ලෙස සකස් කළ අයවැයක්. ජනාධිපතිවරයා රට බාර ගන්න කොට මේ රට ආරාජික වෙලා තිබුණේ. ඒ වෙලාවේ රට තිබුණ තත්ත්වය ගැන ජනතාව දැනගත යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා (ජා ජ බ)- විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ගත් තීන්දුව සමඟ හමුදා සේවයේ නිලධාරින් හා සොල්දාදුවන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. රජය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය නිසා විශාල පිරිසක් පීඩාවට පත්වෙලා. හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මේ තත්ත්වයෙන් පීඩාවට පත්වෙලා.

පත් කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා (පොජපෙ)- බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම යනු බෞද්ධ විහාරස්ථාන පෝෂණය කිරීම පමණක් නොව, සියලු ජන කොටස් ආගමානුකූලව ජීවත් වීමට අවශ්‍ය පරිසරයද නිර්මාණය කිරීමයි. සමස්ත ලෝකය තුළම දක්නට ලැබෙන්නේ සංක්‍රාන්ති සමයක්. පසුගිය කාලය තුළ රනිල් වික්‍රමසිංහ යුගය රටතුළ නිර්මාණය කළ විනාශ කාරි යුගය අවසන් කරන්නට මෙරට ජනතාව කටයුතු කළා.

පත්කළ මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා (සජබ)- අපගේ රජය යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළා. කාර්යාල කාර්ය සේවකයාගේ සිට ඉහළට සිටින සියලුම නිලධාරින්ට වැටුප් වැඩි කිරිම් සිදු කළා.

ඇමැති රමේෂ් පතිරණ මහතා- වත්මන් රජය රාජ්‍ය සේවය වෙනුවෙන් විශාල සේවයක් සිදු කරනවා. ඒ වගේම ඔබතුමාලාගේ රජය රාජ්‍ය සේවකයන් වෙනුවෙන් වැඩකළා යම් ප්‍රමාණයකට . ඒ බව ඇත්ත. නමුත් රාජ්‍ය සේවකයෝ, සමස්ත ජනතාව ඉල්ලා සිටියේ වැටුප් නෙවෙයි. මේ රටේ ජාතික ආරක්ෂාව. ඒ යුතුකම ඉටුකිරිමට අපගේ රජය කැපවි සිටිනවා.

රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා- ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ඇතැම් කාර්යාලවලට ආරක්ෂක අංශ යොදවන්නට ප්‍රයත්නයක් තිබෙන බවට වාර්තා වෙනවා. මේක ඇත්තක්ද. හතළිස් තුන්දසකට අධික පිරිසක් රාජ්‍ය සේවයේ විධායක නිලධාරින් ඉන්නවා. ඒ අය බාල්දු කරන්න එපා.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාරසිරි මහතා (පොජපෙ)- විජිත හේරත් මන්ත්‍රීවරයා උපාධි ධාරින් පිළිබඳ කිඹුල්කඳුළු හෙළනවා. නමුත් යහපාලන රජය කාලේ උපාධිධාරින්ට එළව එළවා පහර දෙන විට ජනතා විමුක්ති පෙරමුණ හිටියේ කොහේද.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා (සජබ)- විශ්‍රාමිකයන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවී තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීම වෙනුවෙන් අපි කටයුතු කළා. නමුත් වත්මන් රජය චක්‍රලේඛයන් නිකුත් කර එය අවලංගු කර තිබෙනවා. එය අසාධාරණයි. රාජ්‍ය සේවකයින්ට මේ ආණ්ඩුව සලකා නැහැ.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් මහතා (පොජපෙ)- අද පළාත් පාලන ආයතනවල කාල සීමාව අවසන්. ආණ්ඩුකාරවරුන් යටතේ මේවායෙහි පාලනය සිදුවන්නේ. පළාත් පාලන ආයතනවලට වසර තිස් ගණනකට ආසන්නයි. පළාත් සභා ස්ථාපිත කිරීමේදී අපේක්ෂිත අරමුණු සියල්ල ඉටුවුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

දිවා ආහාරයෙන් පසුව පස්වරු 1ට පාර්ලිමේන්තුව යළි රැස්විය.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා.(ස.ජ.බ)-නිදහසින් පසු ගම්වල පන්සල් හදන්න, පාසල් හදන්න ගමේ ප්‍රභූන් මූලිකත්වය ගත්තා. පසුව එය රජයේ කාර්ය භාර්යයක් වුණත් ගමේ ප්‍රභූන්ගේ දායකත්වය ඊට තවමත් ලැබෙනවා. මේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ස්ථාපිත කරන්න කටයුතු කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා. රජයෙන් පන්සල් ගොඩ නගන්න ඕන වුණත් තවමත් බොහෝ ප්‍රදේශවල වෙහෙර විහාරස්ථානවල අඩුපාඩු තිබෙනවා.

පත්කළ මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය. (ස.ජ.බ)-අපිට මානසික සුවයක් ලබාදෙන කලාකරුවා සහ කලාව වැටී තිබෙන තත්ත්වය ඉතා කනගාටුදායකයි. මම කලාකරුවන් වෙනුවෙන් යෝජනා රැසක් 2015 දි ගෙනාවා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයට එම යෝජනා ඉදිරිපත් කළාම ඔහු ඒ දේවල් ගණන් ගත්තේ නැහැ.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය. (ස.ජ.බ)- කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවාවලට යම් බද්ධක් ගසා තිබේනම් එය කාන්තා මන්ත්‍රීවරියන් ලෙස අප එය දැඩි ලෙස හෙළා දකිනවා. එම නිසා එය වහාම ඉවත් කරලා නොමිලේ ලබාදෙන්න කටයුතු කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. අවුරුදු තිහක් තිස් පහක් වැඩ කරලා විශ්‍රාම ගිහින් සැදෑ සමය සතුටෙන් ගත කරන්නැයි රාජ්‍ය සේවකයාගේ අපේක්ෂාව. එහෙත් විශ්‍රාමික ප්‍රජාව යළිත් වරක් මේ ආණ්ඩුවෙන් රවටා ඔවුන්ගේ දීමනා කපා තිබෙනවා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා- සනීපාරක්ෂක තුවාවල කිසිම මිල වැඩි කිරීමක් හෝ බදු ගැසීමක් කරලා නැහැ.එය අසත්‍ය කතාවක්.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය (පො.ජ.පෙ)- මේ රටේ කාන්තාවන්ටත්, දරුවන්ටත් අවශ්‍ය වෙලා තිබෙන්නේ ආරක්ෂිතව ජීවත් වීමයි. අනෙක් කාරණා සියල්ල බලාගන්න පුළුවන්. ඒ වගේම පසුගිය කාලයේ ආර්ථිකය කඩා වැටෙද්දි පවා අපේ රජය මේ වන විට උපාධිධාරීන්ට සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට රැකියා ලබාදෙමින් සිටිනවා. මහින්ද මහත්මයා ජනාධිපතිවරයා විදියට කටයුතු කරද්දි සිනමාවට බදු සහන රැසක් ලබාදුන්නා. එහෙත් 2015 ආව යහපාලන ආණ්ඩුව නැවත එම බදු ගහලා සිනමාව ලොක්ඩවුන් කළා. අපි අපේ රජයෙන් ඉල්ලා සිටිනවා දේශීය සිනමා කර්මාන්ත ශාලාව ආරක්ෂා කරගැනීම සඳහා සහන ලබාදෙන්න කියලා. මේ රටේ පළමු චිත්‍රපටය නිර්මාණය වෙලා අවුරුදු 115 ක් වෙනවා. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ කීර්තිමත් දේශපාලනඥයකු වුණ ඇන්.ඇම් පෙරේරා මහත්මයා. එම නිසා අපි සියලුදෙනාගෙන්ම ඉල්ලනවා කලාකරුවා මියයද්දි ගිහින් පෙනී සිටිනවා වෙනුවට ඔවුන්ගේ ජීවිත කාලයේදී සරණක් වෙන්න කියා ඉල්ලා සිටිනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මුලසුනට පැමිණියේය.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා (ස.ජ.බ.)-

බුද්ධ ශාසනයට යම් මෙහෙවරක් ඉටු කළ අයෙක් විදියට මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන අමාත්‍යංශය බාර ගැනීම ගැන අප සතුටු වෙනවා. ඒ වගේම අපේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා විශාල වැඩ කොටසක් කළා. ඒ කළ වැඩ කොටස් නවත්වලා.

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා- ඩිජිටල් විප්ලවය ගැන අහන්න ලැබුණා. ඒ විප්ලවයට යාමට පෙර කාර්මික විප්ලවය පසු කළ යුතුයි. පිළිවෙළට මේවා පසු කළ යුතුයි. කාර්මික හා ඩිජිටල් විප්ලව අතර පවතින සම්බන්ධතා ගැන තේරුමක් ඇතිව කල්පනා කළ යුතුයි. යටත් විජිත යුගයෙන් පසුව අපේ භාෂාව, සංස්කෘතිය යටපත්ව තිබුණා. 1956න් පසුව නැවත අපේ භාෂාව, සංස්කෘතිය නංවාලීමට කටයුතු කළා. අද පරිගණකට අපි භාවිතා කරනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන් දරුවන්ට ඉගැන්වීමේදී හා පරිගණක දැනුම ලබාදීමේදි නිසි ක්‍රමවේදයක් යටතේ සිදු කළ යුතුයි.

අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා (පො.ජ.පෙ.)- මානව චින්තනයට ප්‍රබල දායකත්වයක් සිනමාවෙන් ලබා දෙනවා. එළැඹෙන 28 වැනිදාට ලෝක සිනමාවට වසර 125ක්.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා (පො.ජ.පෙ.)- රාජ්‍ය සේවා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වන මගේ ආදරණීය අප්පච්චිගේ වැය ශීර්ෂය ගැන කතා කරන්න ලැබීම ගැන මම අද සතුටු වෙනවා. පළාත් පාලන ගීතය, පළාත් පාලන ධජය, පළාත් පාලන සතිය එතුමා ස්ථාපිත කළා. ඒ ආයතන අතර තරගකාරිත්වයක් ඇති කර අලුත් තත්ත්වයක් ඇති කරන්න එතුමාට හැකි වුණා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (පො.ජ.පෙ.)- මහජනතාවට වග නොකියන ආයතන බවට වසර ගණනාවක් තිස්සේ පළාත් සභා මේ වන විට පවත්වාගෙන යනවා. ඒ ගැන කනගාටුදායකයි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා මහින්ද රාජපක්ෂ මහතාට ඇලුම් කරනවා. ඒ නිසා බුද්ධ ශාසන අමාත්‍යාංශය එතුමාට ලැබීම ගැන මම සතුටු වෙනවා. ඔන්ලයින් ක්‍රමය යටතේ දහම් පාසල් පවත්වාගෙන යා හැකි ආගමික වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය මුලසුනට පැමිණියාය.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා (ස.ජ.බ.)- රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන් සේවා කාලයෙන් පසුවත් වැඩ කරනවා. නමුත් අයවැයෙන් පසුව ඒ අයට එහෙම වැඩ කරන්න පුළුවන් වෙයිද කියා ගැටලුවක් තිබෙනවා. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වැඩි වුණේ අපේ ආණ්ඩුවෙන් කියාා ප්‍රමිත මන්ත්‍රීවරයා කිව්වා. ඒ ගැන මම එකඟ වන්නේ නැහැ. රාජ්‍ය සේවාවේ සිටින ස්ථිර නොවන සේවකයන් ස්ථිර කළ යුතුයි. ඒ ගැන රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුදත් මංජුල මහතා (පො.ජ.පෙ.)- කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් ඵලදායී අයවැයක් ආණ්ඩුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. ජනක බණ්ඩාර මහතා එදා හඳුන්වා දුන් පළාත් පාලන උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට මට හැකි වුණා. ඒ ගැන ස්තුතිවන්ත විය යුතුයි. සෞභාග්‍යයේ දැක්ම ජනගත කිරීමට යන විට පළාත් සභා සේවයේදී ගැටලු ඇති වී තිබෙනවා. එ්වා නිවැරදි කර ගැනීමට පියවර ගත යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (ස.ජ.බ.)-ජාතියට ආගමට බොරු කරන්නේ නම් ඒ අයට යහපතක් වන්නේ නැහැ. රාජ්‍ය සේවකයන් කොරෝනා සමඟ විශාල දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිනවා. ඒ වුණත් ඔවුන් රාජකාරිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඔවුන්ට සහන ලබාදීමට රජය පියවර ගත යුතුයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (ස.ජ.බ.)- ගෝඨාභය මහතා ඉක්මණින් ගෙදර යැවීමට අලිසබ්‍රි මහතා මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. අපටත් ඒ වගේ අධිකරණ ඇමතිවරයෙක් සිටියා. රාජ්‍ය සේවයේ නියුතු ඇතැම් ගුරුවරුන් මේ අයවැයෙන් කීවත් නොකීවත් පාසල් වේලාවෙන් පසුව ටියුෂන් පන්ති කරනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා (පො.ජ.පෙ.)- සිවනේෂන් තුරෙයි චන්ද්‍රකාන්තන් මහතා චෝදනා නැතිව යහපාලනය රිමාන්ඩ් කළා. අවුරුදු පහකට පසුව අද තමයි එතුමාට නිදහස ලැබෙන්නේ. චෝදනාවක් නැතිව වසරක් පමණයි සිරගත කළ හැක්කේ. මොහොමඩ් සාෆි අත්අඩංගුවට ගෙන ටික දිනකින් නිදහස් කළා. එහෙම තමයි යහපාලන ආණ්ඩුව නීතිය නැමුවේ.

ඇමැති සී.බී. රත්නායක මහතා- ඔබතුමාගේ යෝජනාව අනුව අප හීලෑ අලි ඇතුන් එකතු කර පෙරහැර සඳහා ඉදිරියේදී සහභාගි කරගන්න සැලසුම් කර තිබෙනවා.

වසන්ත යාපා බණ්ඩාර මහතා- පැරණි දේවාල 12ක් පමණ මහනුවර විතරක් තිබෙනවා. ඒ වගේම කතරගම දේවාල වගේ ඓතිහාසික දේවාලත් තිබෙනවා. ඒවායේ පෙරහැර කිරීමේදී හීලෑ අලි ඇතුන් අවශ්‍ය වෙනවා. මද්‍රාසා ආගමික උන්මන්තවාදය මෙරට ව්‍යාප්ත කිරීමට උත්සාහ කළා. එවැනි ආයතන තහනම් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ඉඳුනිල් තුෂාර මහතා (ස.ජ.බ.)

මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ භික්ෂූන් වහන්සේලාට එරෙහිව කටයුතු කිරීම ගැන අද භික්ෂූන් වහන්සේලා කනගාටු වෙනවා. අපේ ආණ්ඩුව කාලයේ 41000ක් වන බුද්ධ පුත්‍රයන් සඳහා බුදු පුත් සුරක්ෂා රක්ෂණාවරණයක් ඇති කළා.

ශාන්ත බණ්ඩාර- තුෂාර ඉඳුනිල් මන්ත්‍රීතුමා කිව්වා මහින්ද මහතා කුරුණෑගලට මොකුත් කර නැහැ කියලා. කුරුණෑගල අංග සම්පූර්ණ දිස්ත්‍රික්කයක් විදියට සංවර්ධනය කිරීමට අගමැතිතුමා මේ වනවිටත් සැලසුම් හදලා ඉවරයි. ටිකක් ඉවසලා බලා ඉන්න අප කරන දේවල් ගැන.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහතා (පො.ජ.පෙ.)- වරකාපොළ ප්‍රදේශයේ 98000 ක් ජනතාව සිටිනවා. එම ප්‍රදේශය නගර සභාවක් විදියට ස්ථාපිත කර දෙන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පළාත් සෞන්දර්ය දියුණු කරන්න පවතින යෝජනා ගැන අපි සතුටු වෙනවා. අපේ පරපුර රකිනවා වගේම සංස්කෘතිය රැක ගත යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා (සජබ)- යහපාලන ආණ්ඩුව සමයේදී අප විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් වැඩි කළා. අද අපි පාර්ලිමේන්තුවට එනකොට විශ්‍රාමිකයෝ පාරට බැහැල විරෝධතාවයක නිරත වෙනවා. අප ලබාදුන් විශ්‍රාම වැටුප නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් මේ මිනිස්සු පාරට බැහැල තිබෙන්නේ. අපි ගම්පෙරළිය මගින් විශාල මුදලක් පන්සල් වලට ලබා දුන්නා.

මොණරාගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා ( පොජපෙ)- පසුගිය අවුරුදු පහක කාලයේදී රාජ්‍ය සේවකයන්ට සහන ලබා ගැනීම වෙනුවෙන් පාරට බහින්න සිදු වුණා. පසුගිය කාලයේදී ග්‍රාම නිලධාරීන් පවා තම වෘත්තීය අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් පාරට බැස්සා.2019 වසරේ අවසාන කාලයේදී පසුගිය රජය සෑම රාජ්‍ය ආයතනයකටම අනුමත කාර්ය මණ්ඩලයට වඩා පිරිසක් බඳවා ගත්තා.

ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුර දොඩංගොඩ මහතා ( පොජපෙ)- පළාත් පාලන ඒකක කියන්නේ පුළුල් විෂය පථයක්. කලා ශිල්ප, අතීත උරුමයන් ආරක්ෂා කර ගැනීමටත් විශේෂ අවධානයක් යොමුකළ යුතුයි . ඒ වගේම කලා ශිල්පීන් ආරක්ෂා කිරිම වෙනුවෙන්ද විධිමත් වැඩපිලිවෙළක් සකස් කළ යුතුයි. පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති තවමත් ප්‍රසිද්ධියට පත්නොවූ ස්ථාන තිබෙනවා. ඒවා ආරක්ෂා කිරීමට ද පියවර ගත යුතුයි.

නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා- පසුගිය යහපාලන කාලය තුළ පන්සල් පල්ලිවලට ඔය තරම් සේවයක් කළානම් ඒ දේවල් මේ සභාවේ කියන්න විපක්ෂනායක එන්න ඕනනේ. පන්සල් වෙහෙර විහාර වලට විශාල මුදලක් අපගේ අගමැතිවරයා විසින් අනුමත කර තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු කියන්නම් වාලේ කියන්නේ නැතිව කියන දේවල් ඔප්පු කරන්න පුළුවන් විහිහට දේවල් කියන්න ඕනෑ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- ස්ථාවර නියෝග 83 යටතේ අමාත්‍යාංශ වල දූෂිණ අක්‍රමිකතා අනාවරණය කළ හැකියි. නමුත් පෞද්ගලික තොරතුරු ප්‍රකාශ කරන්නට බැහැ. පෞද්ගලික පැවැත්මට අදාළ දේවල් කියන්න බැහැ. විපක්ෂනායකගේ පවුලේ සාමාජිකයන් ගැන කතා කරන්න එපා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනට පැමිණියේය.

කතානායකවරයා-පෞද්ගලික ජිවිතවල තොරතුරු අනාවරණය කිරිම අප කව්රුත් අනුමත කරන්නෙ නැහැ

ඉන්දික අනුරුද්ධ මහතා- සංස්කෘතික අරමුදලේ මුදල් තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘති වලට යෙදවිම ගැන කතාකිරිම වරදක්ද

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා- ඉන්දික අනුරුද්ධ මහතා කතා කරපු පෞද්ගලික තොරතුර මොකක්ද. ඉන්දික අනුරුද්ධ මහතා පෞද්ගලික තොරතුරු කතාකරනවානම් විපක්ෂනායකවරයාට පුළුවන්නේ එවැනි දෙයක් කරල නැත්තම් මේ සභාවේදී නිවැරදි කරන්න.

ඉන්දික අනුරුද්ධ මහතා- අපි කිරිඇල්ල මහතා ගැන කතාකළේ නැහැ. අපි කිව්වේ නැහැ මේ සැලුන් එක කාගෙද කියලා. ජාල් සැලුන් එක ගන්න මිලියන තුන්සියයක් වැයකර තිබෙනවා . මේවට සල්ලි කොහෙන්ද කියල හොයන්න ඕන. විපක්ෂනායකවරයා නිවාස ඇමතිවරයා ලෙස සිටියදී බිලියන දෙකක් එක වසරකදී අරන් තිබෙනවා. මේක මුදල් වලින් කරල තිබෙන්නෙ මොනවද කියා සොයන්න ඕනෑ.

කුරුණෑගල දිස්ත්‍රීක් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා- දහම් පාසල් හදන්න විතරක් මොනතරම් මුදලක් වැය කළාද.

ඉන්දික අනුරුද්ධ මහතා- කටුවපිටිය පල්ලියේ දහම්පාසල හදනවා කිව්වා. අදටත් නාම පුවරුව විතරයි. කතෝලික පල්ලි හදනවා කිව්වා. සමරු පළක ගහපු එක විතරයි කළේ.

ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා (සජබ)- සෑම දේශපාලන පක්ෂයක් විසින්ම කලාකරුවන් යොදාගත්තේ තමන්ගේ දේශපාලන වේදිකාවට සෙනඟ ගෙන්වා ගැනීමට. රණසිංහ ප්‍රේමදාස මහතාත් කලාකරුවන්ට උදව් කළා. ජාතික ප්‍රතිපත්තියක් අනුව සමස්ත කලාකරුවන්ට සමානව සැළිකිය යුතුයි. ලෝකයේ කිසිම රටක අපේ රටේ වගේ විදේශීය ටෙලි නාට්‍ය පෙන්වන්නේ නැහැ. එහෙම වුනාම අපේ නළු නිළියන්ට මොකද වෙන්නේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා- අද මම සභාවේ නොමැති අවස්ථාවක විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් මා ගැන ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට විරුද්ධව මම සීඅයිඩී එකට ගොස් ඇති බවට. එවැනි ආකාරයේ කිසිවක් සිදුවී නැහැ. මම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.ඉතාම කනගාටුදායකයි. මොකද අඩුම තරමේ මම උන් වහන්සේට විරුද්ධව පැමිණිලි කරනවා තියා සීඅයිඩීයට අඩුම තරමේ දුරකතන ඇමතුමක්වත් දුන්නේ නැහැ.

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කියන්නේ මම ඉතාම කිට්ටුවෙන් ආශ්‍රය කරන ස්වාමීන් වහන්සේ නමක්. මම මහා සංඝරත්නය සමඟ සමීපව කටයුතු කරනවා. යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නමක්. මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කියන්නේ ගෞරවනීය හිමි නමක්.

ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම වෙනුවෙන් බොහෝ සේ කැපවූ හිමිනමක්. සිදුවී ඇති දේ මම කියන්නම්. චමල් රාජපක්ෂ මහතාගේ නම සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ දෙයක් සංසරණය වෙනවා.එම මඩ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඇමැති චමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් සිදුකර තිබෙනවා.මේ සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ මහතාත් දැඩිලෙස කම්පාවට පත් වුණා. විපක්ෂයේ අය බුවනෙක හෝටලයට ඇවිත් අපට පහර ගැහුවා. මම කිව්වා බුවනෙක කියන්නේ චන්ද්‍රසේන මහතාගේ පුතා කියා. පසුගිය කාලය පුරාවටම

ගෞරවනීය සංඝරත්නයට පහර දුන්නෙ කව්ද? මංගල සමරවීර මේ රට බෞද්ධ රටක් නෙවෙයි කිව්වා. මහා සංඝරත්නයට අපහාස කළා. මංගල එහෙම කියනකොට විරුද්ධව කතාකරන්න ඒ ආණ්ඩුවේ කව්රුත් හිටියේ නැහැ. මහා සංඝරත්නයට අපහාස කළා. ධම්මාලෝක හාමුදුරුවෝ අලි පැටියෙක් ළඟ තබා ගත්තා කියා අරන් ගියා. අපි තුට්ටු දෙකට වැටෙන්නේ නැහැ. අපි මහ සංඝරත්නයට අන්‍ය ආගම්වලට ගෞරවයෙන් සළකන ආණ්ඩුවක්. මම හිරේ දැම්මා. මගේ ලොකු පුතාට නඩු දැම්මා. මගේ ඇඳුම් ටිකවත් ගෙනියන්න දුන්නේ නැහැ. විනිසුරුවන්ට, අපරාධ පරීක්ෂණ එකේ ප්‍රධානීන්ට කතා කර අපව හිරේ දැම්ම. තුට්ටුදෙකේ මන්ත්‍රීවරු දාලා කතානායකවරයාට ලොක්කා ලොක්කා කියලා අපහාස කරනවා. මහින්ද රාජපක්ෂ මහතා, පවුලේ උදවිය සිරගත කරන්න මොනතරම් උත්සාහ කළාද. අපි පළිගන්නේ නැහැ. පළිගන්නවනම් ඔතනින් බාගයක් ඉන්නෙ හිරගෙදර. මට දුන්න වද මා විතරයි දන්නේ.

මඩ ගහලා රාජ්‍ය බලය ගන්න පුළුවන් කියලා හිතනවනම් ඒක කිසිම දවසක වෙන්නේ නැහැ.

වත්මන් ආණ්ඩුවට එරෙහිව මහා සංඝරත්නය පෙළගස්වන්න පුළුවන් කියල හිතනවනම් ඒක ඉටු වෙන්නෙත් නැහැ.

සංස්කෘතික කටයුතු, ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීයකලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා- මගේ විෂය භාර ඇමැතිවරයා අගමැතිවරයායි. ඒ නිසා මට විශාල පහසුවක් වී තිබෙනවා. අපගේ විෂය වෙනුවෙන් විශාල

මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා.මධ්‍යම සංස්කෘතික අරමුදලේ අද තත්ත්වය මොකක්ද . වසර හතරක් තුළ රුපියල් මිලියන 25000ක් ඇදලා. මේ සල්ලි කොහෙටද ගියේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා අගමැතිවරයා කමිටුවක් පත් කළා.

බුවනෙක රජුගේ රාජ සභා මණ්ඩපය තිබුණු තැන කඩා දමා ඇති බවට චෝදනා කලා. ඒ සම්බන්ධයෙන් ද කමිටුවක් පත්කළා. එයට අදාළ ලිපිගොනුව නීතිපතිරයාට යොමු කළා. විවිධ චෝදනා තිබෙන්න පුළුවන්. චෝදනා කරන්නට ලේසියි. වැඩ කරන්නටයි අමාරු. කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හා රක්ෂණ ක්‍රමවේදයක් ඇතිකරනවා. මෙතෙක් කාලයක් වැඩ කළේ හුදෙකලා ලෙසයි. ඒ ආකාරයට හුදෙකලා වී වැඩ කරන්න බැහැ. කලාව, සෞන්දර්ය වෙනුවෙන් අප වැඩකළ යුතුයි. අයවැයේ තිබෙන්නේ රුපියල් ශත විතරයි. කෝ මනුස්සකම. ඇමසන්, තේම්ස් ගැන කතා කරනවා. අපේ රටේ කැලෑ කපනකොට කව්රුත් කතාකරන්නේ නැහැ. ඉන්දියාවෙ නිළියෝ ගැන කතාකරනවා. අපේ අයට මොකද වෙන්නේ. විෂය භාර ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා අපට මඟ කියා දෙනවා. මේ රටේ සම්බුද්ධ ශාසනය වගේම අනෙකුත් ආගම්වලටද අපි ප්‍රමුඛතාව ලබාදෙනවා. අපි කිසිම කෙනෙක් පැත්තකට දාන්නෙ නැහැ.පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතුවෙලා වැඩ කළ යුතුයි.

වැය ශීර්ෂ සම්මත විය.

පාර්ලිමේන්තුව අද

පෙරවරු (9.30) යළි රැස් වේ.

 

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

 

නව අදහස දක්වන්න