කොවිඩ් 19 රැකියා ක්ෂේත්‍රවලට කරන බලපෑම | දිනමිණ

කොවිඩ් 19 රැකියා ක්ෂේත්‍රවලට කරන බලපෑම

ලෝකයේ අනෙක් සියලුම රටවල් මෙන්ම කොව්ඩ් 19 වසංගතය ලංකාවේ  ආර්ථිකයට ද, ආර්ථිකය තුළින් රැකියාවන්වලට ද යම් මට්ටමක  බලපෑමක් ඇති කළේය. පොදුවේ ගත් කල මේ බලපෑමට වැඩිපුරම ලක් වූයේ අන් බොහෝ රටවල්වල මෙන්ම ශ්‍රී ලංකාවේ ද දෙස් විදෙස් හා ආගන්තුක සත්කාරක  කර්මාන්තයය.

රටක ආර්ථිකය ඒ රටේ ජීවනාලිය බඳුය. යම් හේතුවකින් රටක ආර්ථිකය සුළු වශයෙන් හෝ බිඳ වැටුණ හොත් එහි ප්‍රතිඑල ඒ රට තුළ කාලයක් යන තෙක්ම දැක ගත හැකි වේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයකට ද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සමාජ, ආර්ථික, දේශපාලන මෙන්ම සංස්කෘතික වශයෙන් බලපෑම් එල්ල විය. විශේෂයෙන්ම මෙම වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ රැකියා ක්ෂේත්‍ර කිහිපයක්ම නොසිතූ පරිදි ඛේදවාචකයකට බඳුන් විය. ඇතැම් රැකියා ක්ෂේත්‍රවල නියුතු වූවන් කවදා තමන්ට යළිත් යහපත් අන්දමින් රැකියා ක්ෂේත්‍ර පවත්වා ගෙන යන්නට හැකි වේදැයි සිතමින් සිටී. ඇතැම් පුද්ගලයන්ට තමන්ගේ රැකියා අහිමි වී තිබේ. මෙම වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වුණු රැකියා ක්ෂේත්‍ර බොහොමයක් යළිත් පෙර තිබු ආකාරයටත් වඩා අගනා අන්දමින් දියුණු කිරීම රජය සතු සුවිශාල කාර්යභාරයකි. එහෙත් එය සිතන තරම් සුළු පටු කාර්යයක් නොවේ. ඒ සඳහා බලපෑමට ලක් වු රැකියා ක්ෂේත්‍රවල නියැළෙන්නන්, ලංකාවේ ශ්‍රම බළකාය ඇතුළු සමස්ත ලාංකික ප්‍රජාවම සෞඛ්‍යාරක්ෂිතව අවබෝධයෙන් කටයුතු කළ යුතු වේ.

 

බලපෑමට ලක් වු රැකියා ක්ෂේත්‍ර

ලෝකයේ අනෙක් සියලුම රටවල් මෙන්ම කොව්ඩ් 19 වසංගතය ලංකාවේ ආර්ථිකයට ද, ආර්ථිකය තුළින් රැකියාවන්වලට ද යම් මට්ටමක බලපෑමක් ඇති කළේය. පොදුවේ ගත් කල මේ බලපෑමට වැඩිපුරම ලක් වූයේ අන් බොහෝ රටවල්වල මෙන්ම ශ්‍රී ලංකාවේ ද දෙස් විදෙස් හා ආගන්තුක සත්කාරක කර්මාන්තයය. වසංගතය පැතිරීම මැඬ පැවැත්වීම සඳහා සංචරණ සීමා පැනවීමට ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලට සිදු විය. ඒ අනුව මෙම සීමා ඉවත් කිරීමට සුදුසු කාලය එළැඹෙන තෙක් මෙම අංශය එහි බලපෑමට යටත් වේ. දේශීය සංචාරකයන් හෝටල් සඳහා අනුග්‍රහය දක්වමින් තම සංචරණය ආරම්භ කිරීම සහ වගකිව යුතු ව්‍යාපාර කළමනාකාරීත්වය මඟින් කර්මාන්තය අඛණ්ඩව පවත්වා ගෙන යමින් තිබීම වාසනාවකි. අනෙක් බොහෝ කර්මාන්ත ප්‍රතිසාධන ක්‍රියාවලිය සාර්ථකව සිදු කරමින් සිටීම ද, තොරතුරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය සම්බන්ධ අංශයන් මෙන්ම පෞද්ගලික ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කරන අංශයන් ද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීම ද භාග්‍යයකි. උදාහරණයක් වශයෙන් විද්යුත් වාණිජ අංශය ඉතා පැහැදිලි වර්ධනයක් ලබා තිබෙන අතරම, අප විසින් ක්‍රියාත්මක කළ නිවෙසේ හෝ දුරස්ථ ස්ථානයක සිට වැඩ කිරීමේ ක්‍රමවේදය නිසා භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුමෙහි වැඩිවීමත් සමඟ පොදුවේ ගත් කල තාක්ෂණික කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරවල වැඩිවීමක් දක්නට ලැබේ. මෑතදී ප්‍රදේශ කිහිපයකට පමණක් පැන වූ සීමා මෙන්ම වයිරසය පැතිරීම මැඬ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසාවෙන් අන් බොහෝ රටවල්වලට වඩා වේගයෙන් අපට නැවත නැඟී සිටීමට පුළුවන්කම ලැබේ.

රජය ගත් ක්‍රියාමාර්ග නිසා මෙන්ම හැකි සෑම කෙනකුගේම ජීවන වෘත්තිය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දුන් අනෙකුත් පාර්ශ්වයන්ට, විශේෂයෙන්ම සේවායෝජකයන්ගේ ක්‍රියාවන් නිසාවෙන් රැකියාවන් මත වයිරසය ඒ තරම් දැඩි වුණේ නැත. වෙනත් රටවල් සමඟ සංසන්දනය කරන විට පරිසිද්ධි සහ සංඛ්‍යා අනුව අප රටෙහි රැකියා වියුක්ති අනුපාතිකය ඉතා අඩුය. මහා පරිමාණයේ රැකියා අහිමි වීම් වැළැක් වූ වැටුප් ගෙවීමේ ත්‍රෛපාර්ශ්වික ජාතික ගිවිසුම කදිම නිදසුනක් වේ. සේවකයන්ගේ ප්‍රතිලාභ ඉලක්ක කර ගනිමින් ව්‍යාපාරවලට ද, සහන අවශ්‍ය වූ ස්වයං ව්‍යාපාරිකයන්ට ද මූල්‍ය උත්තේජක පැකේජ සලසා දීම සඳහා රජය විසින් ගන්නා ලද කාලීන ක්‍රියාමාර්ග අප මහත් සේ අගය කළ යුතුය.

 

සේවකයින් සහ ආයතන යථා තත්ත්වයට පත් කිරීම

අහිතකර බලපෑමට යටත් වූ ව්‍යාපාරික අංශ සහ කර්මාන්ත සඳහා මුල්‍යමය සහන සැලසීම ඇතුළුව ගන්නා ලද වෙනත් ක්‍රියාමාර්ග නිසාවෙන් එම කර්මාන්තය ද නැවත යථා තත්ත්වයට පත් වීම පිළිබඳ කිසිදු සැකයක් නොමැත. අනිවාර්යයෙන්ම යථා තත්ත්වයට පත් වේ. රටෙහි ආර්ථික වර්ධනයට මෙන්ම මනා රැකියා උත්පාදනයට ද ඉමහත් පිටුවහලක් වන්නා වූ කෘෂීකර්මාන්තය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර කෙරෙහි විශාල උනන්දුවක් ඇති වී තිබේ.

ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීම උදෙසා සිය තාක්ෂණ දැනුම ඇතුළු සම්පත් යෙදවීමට ආයෝජකයන් පෙලඹවීමට සුදුසු ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු වේ. නිසැකවම එවැනි උපායමාර්ගයන් මෙම අත්‍යවශ්‍ය කර්මාන්ත ආශ්‍රිත රැකියාවන්හි නිරත වීමට තරුණ තරුණියන් දිරිගන්වයි. ආහාරවලින් ස්වයංපෝෂිත වීම ඕනෑම රටකට බලපාන අත්‍යවශ්‍ය සාධකයක් වන නිසා එම සාධකය පූර්ණ කර ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතුය.

බොහෝ රටවල්වලට වයිරසයෙන් එක හා සමානව අහිතකර බලපෑම් ඇති වුවත් ශ්‍රී ලංකාව මෙන් එහි ව්‍යාප්තිය මැඬ පැවැත්වීමට කටයුතු නොකළ නිසාවෙන් ඇතැම් රටවල් බලවත් පීඩනයකට පත් විය. කෙසේ වෙතත් මෙම තත්ත්වයෙහි ධනාත්මක බව නම් මින් පෙර නොවූ පරිදි රටවල් එකිනෙකා වෙත තම සහයෝගය දැක්වීමට උනන්දු වීමය. ශ්‍රී ලංකාවට එහි විදේශ හා ආර්ථික ප්‍රතිපත්ති මත “නොබැඳී “ රටක් ලෙස අනුපූරක භූමිකාවක් ඉදිරිපත් කළ හැකිව තිබේ.

 

ලංකාවේ රැකියා ක්ෂේත්‍රවල ඉදිරි අනාගතය

වසංගතය හමුවේ ආර්ථිකමය ව්‍යාපාරවල අඩු වීමක් පෙනෙන මුත් අනාගතයේදී සෑම කර්මාන්තයකම ප්‍රතිසාධනයක් සහ දියුණූවක් ඇති වෙන බව අපගේ විශ්වාසය වේ. තාක්ෂණික යෙදවුම් තුළින් ග්‍රාමීය පුනර්ජීවනය උදා කිරීමේ ඉලක්කය සපුරා ගැනීම මඟින් අප රට අන් රටවල්වලට වඩා උසස් තත්ත්වයකට පත් වේ. මින් පෙර සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මෙන්ම ඊට අයත් ධීවර සහ වෙරළාශ්‍රීත සම්පත්වල වාසිය සලකා එහි ආයෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ නොබැඳි ප්‍රතිපත්ති අනුගමනය කිරීම අනෙකුත් රටවල ආයෝජකයන් දිරිගැන්වීමට හේතුවකි. ඒ ඔස්සේ අපනයන ක්ෂේත්‍රයෙහි වර්ධනයක් අත්පත් කර ගත හැකිය.

දේශීය ගමනාගමනය මෙන්ම වරාය නිකේතනය පිහිටුවීම තුළින් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා අපගේ වෙරළ තීරය හා ගංගාවන් යොදා ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීම වැදගත් වේ. ඉහළ සාක්ෂරතාවයකින් යුතු ජනගහනයක් අප සතු වීම විශාල වාසියක් වනවා මෙන්ම, ශ්‍රම බළකාය වෙත පිවිසෙන අප රටේ සෑම පුරවැසියකුම ඔහුගේ නිපුණතාවය ඇසුරින් සහතික කෙරෙන ජාතික නිපුණතා දත්ත සංචිතයක් නිර්මාණය කිරීමට අප දරන ප්‍රයත්නය හරහා ශ්‍රී ලංකාව නිපුණතාවලින් සපිරි රටක් ලෙස ප්‍රචලිත කිරීමට හැකි වේ.

 

රජය ගත යුතු පියවර

වත්මන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ නව රජය පත් කර ගැනීමෙන් අප ළඟා කර ගත් ස්ථාවරභාවය සියලු ශ්‍රී ලාංකිකයන්ට අත් වු වාසියකි. දැන් කළ යුතුව තිබෙන්නේ ජාතික සුබසිද්ධිය උදෙසා වූ ප්‍රතිපත්තිය සම්පාදනය කර ඒවා ක්‍රියාත්මක කිරීම තුළින් ජාතිය ගොඩනැඟීමය. රටක වැදගත්ම පුරුක මහජනතාව නිසාවෙන් මහජනතාව කේන්ද්‍ර කර ගත් ප්‍රතිපත්ති සම්පාදනය අත්‍යවශ්‍ය වේ. එමෙන්ම, රටේ ආර්ථිකය නඟාසිටුවීමට අත්‍යවශ්‍ය පාර්ශ්වයක් වූ සේවායෝජකයින් දිරි ගැන්වීම් සහ ආරක්ෂා කිරීම ද වැදගත් වේ. මේ සඳහා කාලයට උචිත කම්කරු නීතිත්, වැඩ ක්‍රමවේද සහ ඉහළ මට්ටමක පවතින සේවා ස්ථානයේ සංහිදියාව යන කරුණුවලට පුර්ණ අවධානය ලබා දිය යුතු වේ.

මෙහි වගකීම රජයට පමණක් දැරීමට නොහැකිය. සේවා යෝජකයන්, සේවකයන් සහ ප්‍රජාව යන සියලු පාර්ශ්වයන් මෙම සාමූහික ප්‍රයත්නය සඳහා දායක විය යුතුය. අප විසින් කළ යුතු ප්‍රථම රාජකාරිය වන්නේ වයිරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා ස්වයං විනයකින් යුතුව රෝගය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමෙන් රජයට හා සෞඛ්‍ය බලධාරීන්ට මෙන්ම ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට පූර්ණ සහයෝගය දැක්වීමය. මෙම වසංගත තත්ත්වයත් සමඟ අපට තව කාලයක් ජීවත් වීමට සිදු වේ. ඒ හේතුවෙන් උද්ගත වන අහිතකර බලපෑම් පරාජය කිරීමට අප සතුව ඇති එකම මාර්ගය වන්නේ සමාජයක් වශයෙන් විනයගරුක වීම සහ රටේ අභීවෘද්ධිය උදෙසා සාමූහිකව කටයුතු කිරීමය.

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න