හිතේ හැටියට නාන්න ඇල්ලේවළ ඇල්ලට යන්න | දිනමිණ

හිතේ හැටියට නාන්න ඇල්ලේවළ ඇල්ලට යන්න

මාධ්‍ය හරහා දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද බැඳ ගත් අපූරු ඇල්ලක් ලෙස ඇල්ලේවළ දිය ඇල්ල හැඳින්විය හැකිය.

දියලුම දිය ඇල්ල හා රාවණා දිය ඇල්ල පසුකරමින් මෙම දිය ඇල්ල නැරඹීමට පැමිණෙන බොහෝ දෙනෙක් යන්නේ හිතේ හැටියට දිය නෑමෙන් පසුවය.

වැල්ලවාය ඇල්ල මාර්ගයේ පැමිණෙන අයකු කුමාරදාස විද්‍යාලය පසු කළ වහාම හමුවන පාලමෙන් වම් පැත්තට ඇති අලිකොටේ ආර ජලාශයට යන කාපට් ඇතිරූ මාර්ගය දිගේ කිලෝමීටර් දෙකහමාරක් පමණ ගිය විට හමුවන අතුරු පාරක තවත් කිලෝමිටර් එකහමාරක් පමණ ගිය විට මෙම සුන්දරත්වයෙන් පිරුණු දිය ඇල්ල ආසන්නයට යෑමට හැකිය.

වාහනයක යෑමට හැකි මාර්ගය අවසන් වූ පසු යෑමට ඇත්තේ පටු අඩි පාරක් දිගේය. අලිකොටේ ආර අයිනෙන් ඇති මෙම මාර්ගය තරමක් දුෂ්කරය. ගල් පර්වත, ගස්වැල්වලින් ගැවසීගත් මාර්ගයේ ගමන් කිරීම සැබවින්ම විනෝදජනකය. මන්ද ඇතැම් තැන්වලින් නැඟ ගැනීමට තරමක් අපහසු වන අතර දිය කඩිතිවලින් පැන යා යුතුය. ගල් අතරින් රිංගීම තරමක් මහත අයට අපහසු වන බව ද කිවයුතු අතර ඇතැම් තැන්වලින් ආයාසයක් දරා ඉහළට නැඟිය යුතු වෙයි.

කෙසේ නමුත් ගමනේ සුන්දරත්වය ඇත්තේ ඒ ගමන් මාර්ගය තුළය.

සාමාන්‍ය ගමනෙන් විනාඩි 15-20ක් ඇතුළත මෙම ඇල්ල සමීපයට පැමිණිය හැකි අතර කඩා හැලෙන ඇල්ල වටා විශාල සීමාවක් නිදහසේ ඇති බැවින් එකවර දෙතුන් සියයකට වුවද රිසි සේ ඇල්ලේ සුන්දරත්වය විඳීමේ නිදහස තිබේ.

ගලා යන වතුර වැල්ලවාය නගරයේ පවුල් දසදහසකට ආසන්න පිරිසකගේ පානීය ජලය සැපයීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජල ව්‍යපෘතියකට ගැනෙන නළ මාර්ගය පිහිටා ඇත්තේ ද ඇල්ලට පහළ ස්ථානයකය. කලකට පෙර මෙම ඇල්ලේ වතුර කඩා හැලෙන සීමාවේ ගැඹුර අඩි 25-30ක් තරම් වූ අතර උමා ඔය ව්‍යපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ සිදු වූ සංවර්ධන ක්‍රියාවලියේදි ආ ගල්කුඩු හා වැලි හේතුවෙන් එම විශාල වළ වැසී ගොස් ඇත්තේ සුන්දරත්වයට දැඩි හානියක් සිදු කරමිනි.

කෙසේ නමුත් ඇල්ලේ සුන්දරත්වය විඳීමට එන බොහෝ පිරිසක් විශේෂයෙන්ම මෙම දිය ඇල්ලට එන්නේ දිය නෑම සඳහාය. මෙම ඇල්ලේ ඇති අවදානම අවම වීමත් නොගැඹුරු ජල තටාකයක් පැවතීමත් ඇල්ල ආසන්නයටම යෑමට හැකි වීමත් කුඩා දරුවකුට වුව ද ඇල්ල ආසන්නයට යාමට හැකි වීම ආදි හේතුන් නිසා මෙම ඇල්ල නැරඹීමට බොහෝ දෙනෙක් පැමිණෙති.

හිතේ හැටියට නාගෙන පැයක් දෙකක් නොව හෝරා කිහිපයක් වුව ද ගත කර යන්නට තරම් ආසාවක් හිතෙන ඇල්ලේවළට වරක් පැමිණි අයෙක් නැවත වරක් පැමිණෙන්නේ එහි ඇති අපූරු සුන්දරත්වය නිසාමය.

ඔබත් ඉඩ ලද විටෙක වැල්ලවාය නගරයට කිලෝමීටර් පහක් හයක් දුරින් පිහිටි මේ සොඳුරු දිය ඇල්ල නැරඹීමට යන්න. ඒ යන විට ඔබ රැගෙන යන ප්ලාස්ටික් පොලිතින් වැනි අපද්‍රව්‍ය රැගෙන යෑමෙන් වළකින්න. සුන්දර පරිසරය අපවිත්‍ර කිරීමෙන් වළකින්න. තවත් කෙනකුට සොබාදම් පරිසරය විඳින්නට ඉඩ තබා සුන්දර මතකයන් පමණක් රැගෙන එන්නට අමතක නොකරන්න.

 

වැල්ලවාය විශේෂ

ජී.අයි.ආර්. ගරුසිංහ

නව අදහස දක්වන්න