මුද්‍රණාලයකින් ඇරඹි ශ්‍රී ලංකාවේ ප්‍රථම කම්කරු සටන | දිනමිණ

මුද්‍රණාලයකින් ඇරඹි ශ්‍රී ලංකාවේ ප්‍රථම කම්කරු සටන

දහනව වැනි සියවසේ මුල වන විට රජයේ කම්කරුවකුගේ දිනක සේවා කාලය පැය 10කි. පෞද්ගලික අංශයේ කම්කරුවකුගේ දිනක සේවා කාලය පැය 12ක් හෝ 14ක් පමණ විය. පුහුණු කම්කරුවකුට මාසයකට රුපියල් තිහක පමණ වැටුපක් හිමි වූ අතර නුපුහුණු කම්කරුවකුට රුපියල් දොළහක පමණ වැටුපක් හිමි විය. මෙම වැටුප් වැඩි වන අවස්ථා මෙන්ම නියමිත වැටුප අඩු වන අවස්ථා ද දක්නට ලැබිණි. 1882 දී වෑද්දුම්කරුවකුගේ දිනක වැටුප රුපියල් 1.57කි. වඩුවකුගේ දිනක වැටුප රුපියල් 1.17කි. 1912 දී වෑද්දුම්කරුවකුගේ දිනක වැටුප රුපියල් 1.30 දක්වා ද, වඩුවකුගේ වැටුප රුපියල් 1.03 දක්වා ද පහත වැටිණි.

කම්කරුවන් සේවයට නොපැමිණිම, ප්‍රමාද වී පැමිණීම, දඩ ගැසීමට ප්‍රමාණවත් වරදක් වන අතර එම දඩ මුදල දිනක වැටුපට වඩා වැඩිය. පාලකයන්ට ගෞරව නොදැක්වීම, අවනත නොවීම, විවේක ගැනීම ද එවැනිම වැරදිය. සේවය අතහැර යෑම සිරගත වීමට තරම් බරපතළ වරදකි. 19 වැනි සියවසේ අතරින් පතර කම්කරු උද්ඝෝෂණ ඇති වුව ද ඒවා තම අයිතිවාසිකම් දිනාගැනීම උදෙසා නොව, තම අප්‍රසාදය පළ කිරීමට හා නීතිරීති බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයට එරෙහිවය. එම උද්ඝෝෂණ සංවිධානය නොවූ ඒවා වන අතර කම්කරු කණ්ඩායම් විසින් සිදු කරන ලදි. එබැවින් ඒවා වැඩවර්ජන දක්වා වර්ධනය නොවිණි.

මේ වකවානුව වන විට කොළඹ නගරයේ පළ වූ ඉංග්‍රීසි පුවත්පත් සංඛ්‍යාව පහකි. හාම්පුතුන් වෙනුවෙන් පෙනී සිටි එම පුවත්පත් කම්කරු නොසන්සුන්තාවක් ඇති වූ වහාම පුවත් පළ කරනු ලැබූයේ කම්කරුවන් අධෛර්යයට පත්වන ආකාරයෙනි. “දැනට පවතින වැටුපට වඩා අඩු වැටුපකට ඉන්දියන්, චීන හෝ මැලේ කම්කරුවන් ගෙන්වීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව” එවැනි එක් පුවතකි. එවැනි පුවත් නිසා කම්කරු උණුසුම ඇති වූ සැණින්ම බිඳවැටිණි.

කම්කරු ප්‍රශ්න පළමුවෙන්ම සාකච්ඡා කරන ලද්දේ ලිස්බෝ පින්තු විසින් සංස්කරණය කරන ලද ‘ඉන්ඩිපෙන්ඩන්ට් කැතලික්’ සඟරාවෙනි. 1893 ජූලි මාසයේදී බුල්ජන්ස් මෙම සඟරාවේ ලිපියක් පළ කළ අතර එම ලිපියේ අරමුණ වූයේ කම්කරුවාට තමන්ගේ ශක්තිය හා අයිතිවාසිකම් දිනාගන්නා අයුරු පෙන්වා දීමය. ඒ අනුව කම්කරු සමිති ගොඩනඟා එමඟින් සටන් කර පාලකයන් දණගැස්විය හැකි බව හා ලෝකයේ කම්කරු සටන් පිළිබඳවත් එම ලිපියෙන් පැහැදිලි කර දුනි. මෙම ලිපිය කම්කරුවන්ට කරන ලද ආයාචනයක් බඳු වූ අතර ඒ සඳහා ප්‍රතිචාර අයහපත් විය. එහෙත් නොකඩවා බුල්ජන්ස් හා ලිස්බෝ පින්තු විසින් ගෙන ගිය ප්‍රචාරය නිසා ‘එච්.ඩබ්. කේව් සමාගමේ’ මුද්‍රණ අංශයේ කිහිප දෙනකු සාකච්ඡාවක් සඳහා සූදානම් කරගැනීමට ඔවුන්ට හැකි විය. කේව් ආයතනය ඉංග්‍රීසීන් සතුව කොළඹ නගරයේ පිහිටි විශාලම මුද්‍රණ සමාගමය. කම්කරුවන් හැට දෙනෙක් පමණ මෙහි සේවය කළහ.

මේ වන විට කේව් සමාගමේ වැටුප් ප්‍රශ්නයක් ඇති වී තිබිණි. ඒ අනුව සේවකයන්ට වැටුප් ගෙවීම ක්‍රමවත් නොවූ අතර, ප්‍රමාද වීම් ද ඇති වී තිබිණි. තව ද සේවකයන්ට ලැබුණේ පහළ මට්ටමක වැටුපකි. ඇතැම් කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 11ක් තරම් පහළ මට්ටමක පැවතිණි. මීට අමතරව ප්‍රමාද වී වැඩට පැමිණීම, සේවා වැරදි සහ අතපසුවීම්වලදී දඬුවම් ලෙස දඩ ගැසීම, වෘත්තීයේ ස්වභාවය නිසා ඇති වන වෙහෙස ශාරීරික පීඩා සහ වැඩි දෙනා ජීවත්ව සිටි මුඩුක්කු පරිසරය වැනි හේතු නිසා කම්කරුවන් අතර පැවතුණේ දැඩි පීඩනයකි. වැටුප් වැඩි කිරීම පිළිබඳවත් වැටුප් ගෙවීම ප්‍රමාද නොකර ක්‍රමවත්ව ගෙවන ලෙසටත් හා සේවක සුබසාධනය පිළිබඳවත් ඉල්ලීම් කේව් සමාගමට ඉදිරිපත් කළ මුත් පාලනාධිකාරිය විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලදි.

1893 සැප්තැම්බර් මාසයේදී කේව් සමාගමේ මුද්‍රණ කම්කරුවෝ තම ඉල්ලීම් දිනාගැනීම සඳහා සියලු සේවාවන් නවත්වා වැඩවර්ජනයක් ආරම්භ කළහ. ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක පළමු වැඩ වර්ජනය මෙය වුවත් වර්ජනය මෙහෙයවීමට කම්කරු සමිතියක් හෝ කමිටුවක් හෝ පිහිටුවා ගෙන නොතිබිණි. එබැවින් වැඩ වර්ජනයේ දෙවැනි දිනයේදී බුල්ජන්ස් හා ලිස්බෝ පින්තු විසින් ප්‍රසිද්ධ රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලදි. එම රැස්වීමේ අරමුණ වූයේ කම්කරු ඉල්ලීම් හා අයිතිවාසිකම් දිනාගැනීමට මෙන්ම සමිතියක් වශයෙන් එකමුතු වීමෙන් සටන ශක්තිමත් වන ආකාරය පහදා දීමය. රැලිය ඇරඹීමට පෙර කම්කරු සමිතිය පිහිටුවන ලදි. එය ශ්‍රී ලංකාවේ පළමු කම්කරු සමිතියයි.

 

 එම්. තාරික්

නව අදහස දක්වන්න