මහජන ආරක්ෂාව! | දිනමිණ

මහජන ආරක්ෂාව!

මහජන ආරක්ෂාව පිළිබඳ වෙනම අමාත්‍යාංශයක් පිහිටුවා එහි වගකීම සුදුසුම පුද්ගලයකු වෙත පැවරීම ජනාධිපතිවරයා ගත් වැදගත් හා කාලෝචිත පියවරක් සේ හැඳින්විය හැකිය. නීතිගරුක සමාජයක් ගැන ද සදාචාරවත් ජාතියක් ගැන ද දීර්ඝ සංවාදයක් පැවැතියේ වුව; සාර්ථක ප්‍රතිඵලයක් දැකගත නොහැකි විය. නිදසුනක් ගතහොත් යහපාලන ආණ්ඩුව නීතියේ ආධිපත්‍යය ගැන වැඩියෙන්ම කතා කළේය. එහෙත් පාතාල නායකයන් හිරගෙදර සිට මෙහෙය වන මිනිස් ඝාතන, කප්පම් ගැනීම් හා මහා පරිමාණ කුඩු ජාවාරම් වැළැක්වීමට එම ආණ්ඩුව සමත් නොවීය. පාතාල ක්‍රියාකාරකම් යනු අපේ සමාජ අර්බුදයේ එක කොටසක් පමණි. මහජනයා පීඩාවට පත් කරන තවත් බොහෝ දේවල් තිබේ.

නිදහස් හා සාමකාමී ජීවිතයට බාධා කරන ඕනෑම ක්‍රියාවක් සමාජ විරෝධී ක්‍රියාවක් ලෙස සැලැකිය හැකිය. එබඳු ක්‍රියාකාරකම් වළක් වන අයුරින් නීති සම්පාදනය වී තිබේ. එක අතෙකින් ජනතාව එම නීති ගැන හරි හැටි දන්නේ නැත. තව අතෙකින් නීතිය ක්‍රියාත්මක කිරීමට තරම් උද්‍යෝගයක් අදාළ ආයතනවලට නැත. තවත් අතෙකින් නායකත්වය ගෙන ඒවා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන කෙනකු නැත. ජනාධිපතිවරයා එම අඩුපාඩු ටික සපුරා අලුත් ජවයකින් යුතුව මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීමට උපාය මාර්ග යොදා ඇත. යුක්තිය ඉබේ පහළ වන්නේ නැත. එලෙසම නීතිය ඉබේ ක්‍රියාත්මක වන්නේ ද නැත. ඒ සඳහා හඹා යෑමක් සිදු විය යුතුය. පාලකයන් එය වටහා ගැනීම සාධනීය ලක්ෂණයකි.

නිදහසින් පසු රටේ සදාචාරය හා නීතිගරුක බව වඩාත් හොඳින් තහවුරු විය යුතුව තිබුණ ද එය ‍එසේ සිදු වූයේ නැත. වසරින් වසර එය වළපල්ලට ගියේය. අවසන් ලෙස දක්නට ලැබ‍ුණේ නිදහසේ එළියට බහින්නට බැරි තත්ත්වයකි. ත්‍රස්තවාදීන්ගේ හා අන්තවාදීන්ගේ පිපිරීම්, පාතාල කල්ලිවල මිනිස් ඝාතන හා මංකොල්ලකෑම් එක අතෙකින් සමාජය භීතියට පත් කළේය. තව අතෙකින් ස්ත්‍රී දූෂණ, ළමා අපචාර හා ප්‍රචණ්ඩ ක්‍රියා සමාජය කම්පනයට පත් කළේය. තවත් අතෙකින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉතා තදබල ලෙස ව්‍යාප්ත විය. කොටින්ම ශ්‍රී ලංකාවේ පුරවැසියාට නිදහස් හා සාමාකාමී පරිසරයක ජීවත් වීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබිණි. නිදහස යනු මිනිසාගේ පරම අයිතියකි. එය අහෝසි වී යන්නට ඉඩ දිය නොහැකිය.

ස්ත්‍රී හිංසනය ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ ගැටලුවකි. ප්‍රසිද්ධ හා පොදු ස්ථානවලදී පවා ස්ත්‍රිය හිංසනයට ගොදුරු වෙයි. ඊට එරෙහිව නැඟෙන ප්‍රබල හඬක් නැත. නිවසේදී ස්ත්‍රිය කෙරෙහි මුදා හැරෙන ප්‍රචණ්ඩත්වය නීතිය ඉදිරිපිට විභාග වන්නේ කලාතුරෙකින්ය. ස්ත්‍රීන් දූෂ්‍යකොට මරා පුලුස්සා දැමූ අවස්ථා මෙරටින් වාර්තා වී ඇත. මීට වසර කිහිපයකට පෙරාතුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ බස් සහායකයෙක් තම බිරියට පහර දී පසුව ඇය නිරුවත් කොට තැලුම් තුවාල පිටින්ම ඇල්වතුරෙන් නහවා ඇයට මැරෙන්නට සැලැස්සුවේය. මීට දින තුනකට පෙර තවත් බස් සහායකයෙක් මගී කාන්තාවකට පරුෂ වචනයෙන් බැන පහර දීමට ගියේය. හේතුව ලෙස දැක්වෙන්නේ බස් කොන්දොස්තරවරයා මුඛ ආවරණයක් නැතිව සිටීම හා ඔහුට එය පලඳින්නැයි මගී කාන්තාව ඔහුගෙන් කළ ඉල්ලීමය.

දරුවන් විෂයයෙහි ඇති අපරාධ තවත් පැත්තක පවතී. ඒවා දිනෙන් දින වර්ධනය වෙයි. දරුවන්ට අදාළ කාම අපරාධ කෙතරම් ව්‍යාප්ත වී තිබේ ද යත් ගුරුවරුන් අතින් අපහරණයට ලක්වන දරුවන්ගේ ගණන වැඩි වී ඇත. නිවසේදී දූෂණයට ලක්වන ගැහැනු දරුවන්ගේ ගණන වැඩි වී ඇත. මේ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයක් පවතී. තව අතෙකින් චෝදනා ඔප්පු කර ගැනීමට අදාළ සාක්ෂි සඳහා මහජනයා උනන්දු නැත. විමර්ශන හා නඩු විභාග ප්‍රමාද වන විට මහජනයාගේ උනන්දුව ඒ කෙරෙන් දුරස් වෙයි. ළමයින් සම්බන්ධ අපරාධවලදී වඩාත් වැදගත් වන්නේ අපරාධකාරයාට දඬුවම් දීම නොව; අපරාධයක් වීමට පෙර දරුවා ඉන් ගලවා ගැනීමය. ඒ සඳහා පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙළක් අවශ්‍ය වේ.

නීතිගරුක සමාජයක් ගොඩනැඟීම හා සදාචාරවත් ජාතියක් ඇති කිරීම ආර්ථික සංවර්ධනය තරම්ම වැදගත් සාධකයක් හැටියට පවතී. නූතන විග්‍රහවලට අනුව සදාචාරය යනු ද සංවර්ධනයේ කොටසකි. සදාචාරයක් නැති කොට සංවර්ධනයක් ඇති විය නොහැකි බවට තර්කයක් ද පවතී. නීතිගරුක නොවන රාජ්‍යයන්හි ආයෝජනය කිරීමට බොහෝ ආයතන මැළි වෙති. ජාත්‍යන්තර සංවිධාන සිය ණය හා ආධාර වැඩසටහන් සඳහා ද සලකා බලා ප්‍රධාන සාධකයක් වන්නේ රටක නීතියේ ආධිපත්‍යය හා සාමකාමී පරිසරයයි. ඉතියෝපියාව, ඇෆ්ඝනිස්ථානය වැනි රටවල් දීර්ඝ කාලයක සිට මේ තත්ත්වයට මුහුණ දෙයි. එම රටවල ජනතාවට ‘නිදහස් ජීවිත’ නැතැයි හැමවිටම ප්‍රකාශ වේ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ජනමාධ්‍යයට අදහස් දක්වමින් පැහැදිලි කළේ මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගනු ලබන බවය. විශේෂයෙන් ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන ද, අන්තවාදී ක්‍රියාවන් ගැන ද තමන්ගේ දැඩි අවධානය යොමු වන බව නව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සරත් වීරසේකර වැනි පුද්ගලයන්ට මහජන ආරක්ෂාව ගැන ද මහජන සුබ-සාධනය ගැන ද පුළුල් වැටහීමත් තිබේ. එම වැටහීමට හේතුව යුද්ධයේ අත්දැකීම්ය. යුද්ධයට මුහුණ දුන් දෙමළ ජනතාව දෙපැත්තකින් පීඩාවට පත් වූහ. එක පැත්තකින් යුද්ධය ඔවුන් පීඩාවට පත් කළේය. අනෙක් පැත්තෙන් ත්‍රස්තවාදය ඔවුන් පීඩාවට පත් කළේය. එලෙස දෙපැත්තකින් පීඩාවට පත් පිරිස බේරා ගත්තෝ අපේ රණවිරුවෝය.

මහජන ආරක්ෂාව රටක ඉදිරි ගමනට අත්‍යවශ්‍ය සාධකයකි. කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ එහි අත්‍යවශ්‍ය බව තවදුරටත් තීව්‍ර වෙයි.

නව අදහස දක්වන්න