එල්පීඑල් මංගල තරගයේ ඉරණම සුපිරි ඕවරයෙන් විසඳෙයි | දිනමිණ

එල්පීඑල් මංගල තරගයේ ඉරණම සුපිරි ඕවරයෙන් විසඳෙයි

විස්සයි 20  ආරම්භක  පිතිකරුවකුවීම  ඉදිරි සැලැස්මයි

කොළඹට ජය ගෙනා චන්දිමාල් කියයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගය සුපිරි ඕවර සටනකින් නිමාවට පත් වූයේ ඇන්ජෙලෝ මැතිව්ස් මෙහෙයවන කලම්බු කිංග්ස් පිලට ජය අත් කර දෙමිනි.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ දිනේෂ් චන්දිමාල් පැවැසුවේ තමන් විස්සයි20 තරගවලදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ යුතු බවත්, එය තම ක්‍රීඩාවේ සැලස්ම බවත් ය.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව මාස 10කට ආසන්න කාලයක් නතර වූ අතර, යුද හමුදාව විසින් සංවිධාන කළ යුද හමුදාපති කුසලාන ලීග් ක්‍රිකට් විස්සයි20 තරගාවලියක් පසුගිය මස පැවැත්විණි. එහි ශූරතාව දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම දිනාගත් අතර, එම තරගාවලියේ ක්‍රීඩා කිරීම තමාට මේ තරගයේදී වඩාත් උපකාරී වූ බව ද චන්දිමාල් කියා සිටී.

“අපි මාසයකට පෙර යුද හමුදා ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළා. එය මට උදව්වක් වුණා. විස්සයි20 තරගවලදී මම ඉනිම ආරම්භ කළ යුතුයි. ඉනිම මැද පන්දුවට පහර දෙන විට විශාල පහරවල්වලට යන්න බැහැ. ආරම්භක පිතිකරුවකු ලෙස මට විශාල පහරවලට යමින් ප්‍රතිවාදීන්ට හොඳින් මුහුණ දිය හැකියි. මගේ ක්‍රීඩාවේ සැලැස්ම එයයි” චන්දිමාල් පවසයි. ආරම්භක පිතිකරුවකු ලෙස තමා විශ්වාස කිරීම ගැන නායක මැතිව්ස්ට සහ කළමනාකාරිත්වයට ස්තුතිවන්ත වන බව ද ඔහු කියා සිටියේය.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් කලම්බු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි ටස්කර්ස් පිල කඩුලු 3ක් දැවී ලකුණු 219ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු පිලට ද ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 219ක් පමණි.

ඒ හේතුවෙන් සුපිරි ඕවරයෙන් ජයග්‍රාහකයන් තේරීමට සිදු විය. එම ඕවරයේ පළමුව පන්දුවට පහර දුන් කලම්බු ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස් කළ අතර, කැන්ඩි පිලට වාර්තා කළ හැකි වූයේ ලකුණු 12ක් පමණි.

කලම්බු පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් රැස් කළේ පන්දු 46ක් පමණක් වැය කරමිනි. හතරේ පහර 12කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කර ගත් ඔහු, ලෝරි එවන්ස් (64) සහ තික්ෂිල ද සිල්වා (67) සමඟ අර්ධ ශතක සබඳතා පිහිටු වීය. එවන්ස් සහ තික්ෂිල ලකුණු 22 බැගින් රැස් කළහ.

නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ඉනිම ලකුණු 2කට සීමා වූ අතර, ඇන්ඩ්‍රි රසල් පන්දු 13කින් ලකුණු 24ක් ඉනිමට එක් කළේය.

රසල් ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 52ක් අවශ්‍යව තිබූ අතර, ඉතිරිව තිබුණේ පන්දු 19ක් පමණි. ඉසුරු උදාන සහ කයිස් අහමඩ් එක්ව පන්දු 18කින් ලකුණු 48ක් රැස් කරමින් එම ඉලක්කය වෙත කණ්ඩායම රැගෙන ගියහ. කයිස් පන්දු 8කින් ලකුණු 15ක් රැස් කළ අතර, ඉසුරු උදාන හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 34ක් රැස් කළේය. ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 12ක් පමණි. කලම්බු කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඕවරය ක්‍රියාත්මක කළේ ද ඉසුරු උදානය. ඔහු පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ දස්කම් විශිෂ්ට බවත්, තම කණ්ඩායමට කළ හැකි දේ ඔහු විසින් පෙන්වා දුන් බවත් තරගයෙන් අනතුරුව නායක මැතිව්ස් කියා සිටියේය. චන්දිමාල්ගේ විශිෂ්ට ඉනිම සහ රසල්ගේ පිති හරඹය ද ඔහුගේ ඇගයීමට ලක් විය. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් සහ නවීන් උල් හක් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි ඉනිමට විශිෂ්ට ආරම්භයක් දීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස් සහ නායක කුසල් ජනිත් පෙරේරා සමත් වූහ. ඔවුන් දෙදෙනාම අර්ධ ශතක රැස් කළ අතර, පළමු කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 75කි. මේ තරගාවලියේ වේගවත් අර්ධ ශතකයට හිමිකම් කීමට 18 හැවිරිදි මේ යොවුන් ක්‍රීඩකයා සමත් වූයේ පන්දු 21ක් පමණක් වැය කරමිනි. පන්දු 22කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 53ක් රැස් කර සිටියදී ඔහුගේ ඉනිම නිමා විය. හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් පන්දු 52කට මුහුණ දුන් කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් (59) සහ අසේල ගුණරත්න (73) සමඟ ද එක්ව අර්ධ ශතක සබඳතා ගොඩනැඟීය. කුසල් මෙන්ඩිස් පන්දු 24කින් ලකුණු 30ක් රැස් කළ අතර, ගුණරත්න නොදැවී ලකුණු 33ක් රැස් කළේ හතරේ පහර 5ක් සමඟ පන්දු 20කිනි.

තරගයෙන් අනතුරුව නායක කුසල් පෙරේරා කියා සිටියේ මෙය විශිෂ්ට ක්‍රීඩාවක් බවත්, තණතිල්ල පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ට සහාය දැක්වූ බවත්ය.

මේ තරගාවලියේ නීතිරීති අනුව කණ්ඩායමකට තරගයකදී විදෙස් ක්‍රීඩකයන් සිවුදෙනකු එක්කර ගත හැකි වුවද කැන්ඩි පිලට එක්ව සිටියේ ක්‍රීඩකයන් තිදෙනෙක් පමණි.

රහ්මනුල්ලා ගුර්බාස්, ඉර්ෆාන් පතාන් සහ නවීන් උල් හක් කැන්ඩි පිල නියෝජනය කළ අතර, එම කණ්ඩායමේ ඩේල් ස්ටෙන්, මුනාෆ් පටෙල් සහ බ්‍රෙන්ඩන් ටේලර් නිරෝධායන කාලසීමාවක් ගත කරමින් සිටිති. සොහයිල් තන්වීර් කොරෝනා ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටී.

ඇන්ඩ්‍රි රසල්, මන්ප්‍රීත් ගෝනි, ලෝරී එවන්ස් සහ කයිස් අහමඩ් කලම්බු කණ්ඩායමට ක්‍රීඩා කළේය.

කලම්බු කණ්ඩායමේ මීළඟ තරග ගෝල් ග්ලැඩියේටර්ස් සමඟින් අද (28) පැවැත්වෙන අතර, කැන්ඩි කණ්ඩායම ද අද දඹුල්ල වයිකින් සමඟ තරග බිමට පිවිසෙයි.

නව අදහස දක්වන්න