ෆින්ච්-ස්මිත් ඔස්ට්‍රේලියාවට ජය ගෙනෙති | දිනමිණ

ෆින්ච්-ස්මිත් ඔස්ට්‍රේලියාවට ජය ගෙනෙති

නායක ඇරොන් ෆින්ච් සහ ස්ටීව් ස්මිත් රැස් කළ විශිෂ්ට ශතක හේතුවෙන් සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩයාම සමඟ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 66ක ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයන්ට හැකි විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 374ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිලට කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 308ක් පමණි.

සිය එක්දින තරග දිවියේ හොඳම ඉනිම දියත් කළ හර්දික් පාන්ඩ්‍යා ලකුණු 90ක් රැස් කරමින් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා ද විය. වේගවත් ඉනිමක් දියත් කළ ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් එල්ල කළ අතර, වැය කළේ පන්දු 76ක් පමණි.

ඔහුට අනගි සහායක් දුන් ශිකර් ධවාන් පන්දු 86කින් ලකුණු 74ක් රැස් කළේ හතරේ පහර 10ක් සමඟිනි. නායක විරාට් කෝලිගේ ඉනිම ලකුණු 21කට සීමා විය.

පන්දු යැවීමේදී ජොස් හැස්ල්වුඩ් කඩුලු 3ක් සහ ඇඩම් සම්පා කඩුලු 4ක් බිඳ දැමූහ.

පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ඩේවිඩ් වෝනර් සහ ඇරොන් ෆින්ච් ලකුණු 156ක සබඳතාවක් ගොඩනැඟූහ. ලකුණු 69ක් රැස් කර සිටි වෝනර් දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර, අනතුරුව ෆින්ච් සමඟ එක් වූ ස්ටීව් ස්මිත් මුළු ලකුණු සංඛ්‍යාව 264 දක්වා ඉදිරියට ගෙන ගියේය.

ෆින්ච් ඊයේ සිය 17 වැනි එක්දින ශතකය ලෙස ලකුණු 114ක් වාර්තා කළ අතර, පන්දු 129කට මුහුණ දුන් ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් එල්ල කළේය.

වේගවත් ඉනිමක් දියත් කළ ස්මිත් ලකුණු 105ක් රැස් කළේ පන්දු 66ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය.

ඊයේ වාර්තා කළ ඉනිමත් සමඟින් එක්දින ලකුණු 5000 සීමාව පසු කිරීමට ද ෆින්ච් සමත් විය. ජාත්‍යන්තර එක්දින තරග 130ක් ක්‍රීඩා කර ඇති ඔහු මේ වන විට ශතක 17ක් සහ අර්ධ ශතක 27ක් සමඟින් ලකුණු 5097ක් රැස් කර තිබේ.

පන්දු යැවීමේදී මොහොමඩ් ශාමි කඩුලු 3ක් දවා ගත්තේය.

දෙපිල අතර, දෙවැනි එක්දින තරගය හෙට (29) සිඩ්නිහිදීම පැවැත්වෙයි.

නව අදහස දක්වන්න