එල්පීඑල් පිට්ටනිය | දිනමිණ

එල්පීඑල් පිට්ටනිය

අද

මහනුවර - දඹුල්ල

(ප.ව. 3.30)

ගාල්ල - කොළඹ

(රාත්‍රී 7.30)

හෙට විවේක දිනයකි

ජනපති හා අගමැතිගෙන්  සුබපැතුම්

කොරෝනා වසංගතයේ බාධා මැද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීම සඳහා ආරම්භ වූ මේ තරගාවලියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සුබපැතුම් එක් කරති.

මේ අසීරු කාලයේදී තරගාවලිය සාර්ථකව සංවිධාන කිරීමට සමත් වූ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ට්විටර් සටහන් මඟින් සුබපැතුම් එක් කර තිබූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සියලු කණ්ඩායම්වලට මෙන්ම රසිකයන්ට ද සාර්ථක, විනෝදාත්මක සහ ආරක්ෂාකාරී තරගාවලියක් ප්‍රාර්ථනා කරන බව ද සටහන් කර තිබිණි.

මිලියන 100ක්  පළමු තරගය නරඹයි

විචිත්‍රවත් සමාරම්භක උලෙළකින් පසු මේ තරගාවලිය ආරම්භ කරමින් පෙරේදා පැවැති මංගල තරගය නැරඹීම සඳහා ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මිලියන 100කට අධික සංඛ්‍යාවක් එක්ව ඇතැයි වාර්තා වේ.

අමෙරිකානු චන්ද්‍රිකා තාක්ෂණ දත්තවලට අනුව මෙලෙස ක්‍රීඩා ලෝලීන් මිලියන සියය ඉක්මවා තරගය නරඹා තිබෙන බව සඳහන් වෙයි.

 

හැනිබල්ටත් වරදී

කැන්ඩි ටස්කර්ස් පිල පන්දුවට පහරදෙමින් සිටියදී ඉසුරු උදානගේ පන්දුවකට රහ්මනුල්ලා ගුරුබාස් ‘ස්ට්‍රේට් ඩ්‍රයිව්’ පහරක් එල්ල කළ අතර, එය පන්දු යැවූ උදානගේ අතේ වැදී කඩුල්ල බිඳී ගියේය. එවිට පන්දු යවන්නාගේ අන්තයේ සිටි කුසල් ජනිත් දැවී ගියේ යැයි ඉසුරු උදාන ඉල්ලීමක් කළ අතර, වහාම ක්‍රියාත්මක වූ ප්‍රධාන විනිසුරු ලින්ඩල් හැනිබල් මහතා ඇඟිල්ල ඔසවා එය දැවී යෑමක් බවට තීරණය කළේය.

එහෙත් තෙවැනි විනිසුරු රුචිර පල්ලියගුරු මහතා රූපවාහිනී පුනරූපන ඔස්සේ එය දැවී යෑමක් නොවන බවට තීරණය කළේය. හැනිබල් විනිසුරුට අඩි හතරක් පහක් තුළ සිදු වූ දුවද්දී දැවී යෑම හරි හැටි නොදැකීම පිළිබඳ බොහෝ දෙනා කතා කළහ. මේ තරගයේදී ලකුණු 87ක් රැස් කළ කුසල්ගේ ඉනිම රූපවාහිනී පුනරූපන නොතිබෙන්නට ලකුණු 21කට නිමාවන්නට ඉඩ තිබිණි.

 

පතාන්ගේ ආබාධය

කලම්බු කණ්ඩායම සමඟ තරගයේදී කැන්ඩි ක්‍රීඩක ඉර්ෆාන් පතාන් පාදයේ ආබාධයකට ලක් විය. පන්දු යවමින් සිටියදී ඇති වූ මේ ආබාධය හේතුවෙන් ඔහුට ක්‍රියාත්මක කළ හැකි වූයේ ඕවර 1 පන්දු 5ක් පමණි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කැන්ඩි කණ්ඩායමේ කළමනාකාර ෆර්විස් මහරුෆ් පවසන්නේ ඉදිරි දින කිහිපයේදි ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් නිරීක්ෂණය කරන බවයි. පතාන්ගේ ආබාධය හේතුවෙන් කළමනාකාරිත්වය සමඟ කතා කර එය විසඳා ගත යුතු බව නායක කුසල් පෙරේරා පවසා තිබිණි.

 

ප්‍රියන්ජන්ගේ උඩ පන්දුව

පළමු තරගයේදී පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු අතර, පන්දු යවන්නන්ට සහ පන්දු රකින්නන්ට එතරම් දස්කම් දැක්වීමට අවස්ථාව හිමි නොවිණි.

කෙසේ වෙතත් කැන්ඩි කණ්ඩායමේ නායක කුසල් පෙරේරා දවා ගැනීමට කලම්බු කණ්ඩායමේ අශාන් ප්‍රියන්ජන්ගේ විශිෂ්ට ගණයේ උඩ පන්දුව රැකීම කැපී පෙනෙන සිදු වීමක් විය.

 

නැඟෙනහිරින්  කණ්ඩායමක්

මේ තරගාවලිය සඳහා ඉදිරියේදි නැගෙනහිර පළාත නියෝජනය වන පරිදි කණ්ඩායමක් එක් කිරීමට අපේක්ෂා කරන බව තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

මෙවර තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පිහිටි නගර කේන්ද්‍ර කර ගනිමින් කණ්ඩායම් නම් කළ බවත්, ලබන වසරේ හෝ තෙවැනි අදියරේදී හෝ තරගාවලියට තවත් කණ්ඩායම් කිහිපයක් එක් කරන බවත් ඔහු පවසා තිබේ.

 

නව අදහස දක්වන්න