ඉඩම් වංචා සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා - එහි නිර්දේශයන් අනුව පියවර ගන්නා බව ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන කියයි | දිනමිණ

ඉඩම් වංචා සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා - එහි නිර්දේශයන් අනුව පියවර ගන්නා බව ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන කියයි

සෙවණගල  සීනි කර්මාන්තය  පසුගිය ආණ්ඩුව විනාශ කළා

මන්ත්‍රී ජගත්  පුෂ්ප කුමාර

 

උපන් බිමක  ඉඩමක අයිතිය  සෑම පුරවැසියකුටම තිබෙන අයිතියක්

මන්ත්‍රී ගයන්ත කරුණාතිලක

 

කුඩා වතු හිමියන්ට සහන ණය  ලබාදෙන්න  කටයුතු කරමින් ඉන්නවා

ඇමැති වෛද්‍ය  රමේෂ් පතිරණ

 

වතු කම්කරුවන්ට රුපියල් 1000ක්  ලබාදීම ජනවාරි සිට ක්‍රියාත්මක කරනවා

රාජ්‍ය ඇමැති කනක හේරත්

මෙරට ඉඩම් සම්බන්ධයෙන් සිදුව ඇති වංචා සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කර ඇති බවත් ඔවුන් ලබා දෙන නිර්දේශයන්ට අනුව නීතිමය පියවර ගෙන එම ඉඩම් පවරා ගැනීමට කටයුතු කරන බවත් ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

2021 අයවැය විවාදයේ තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථාවේදී ඊයේ (27) දිනයේ ධීවර අමාත්‍යාංශය, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය, උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනිණ.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

කවුරුන් හෝ ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් අයිතිකරගෙන සිටින්නේ නම් එම ඉඩම් ද නීත්‍යානුකූලව පවරාගෙන සුදුසු දේ සඳහා යොදවනවා.

එමෙන්ම ඉඩම් ආඥා පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නවා.

මේ වන විට අධිකරණවල පවතින නඩුවලින් වැඩි සංඛ්‍යාවක් ඉඩම් නඩු . ඊට විසඳුමක් ලෙස සමථ මණ්ඩලයක් පත් කිරීමට පියවර ගන්නා බවත් කවුරුන් හෝ ඉහළ උසාවිවලට යන්නේ නම් සමථ මණ්ඩලයේ නිර්දේශයන් ගත යුතු බව කියා සිටියේය.

තරුණයන් සංවර්ධනයට දායක කර ගැනීමේ අරමුණින් ඉඩම් කට්ටි ලක්ෂයක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. මේ වන විට ඒ සඳහා ඉල්ලුම්පත් ලක්ෂ හයකට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා (සජබ)-

අපේ ආණ්ඩුවේ අවසන් වසර දෙකේ මම ඉඩම් ඇමැති ධුරය දැරුවා.මට කර ගන්න බැරි වුණ කරුණු කිහිපයක් වත්මන් ඇමැතිවරයාට ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තු වෙනවා. උපන් බිමක ඉඩමක අයිතිය සෑම පුරවැසියකුටම තිබෙන අයිතියක්. එහෙත් එහෙම දෙයක් දකින්න නැහැ.බොහෝ දෙනෙකුගේ ෆයිල් ඔවුන්ගේම අතේ දිය වී යනවා. සෑම ආණ්ඩුවක්ම මෙය විසඳන්න උත්සහ ගත්තත් එය සාර්ථක වෙලා නැහැ. මේකට හේතුව මෙහි තිබෙන නීති රීතිවල සංකීර්ණභාවයයි. ජාතික ඉඩම් හා ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරලා ඊට සංශෝධන ගෙන එන්න ඕනෑ. ඒ වගේම මේ නීති වෙනස් වෙන්න ඕනෑ. ඒ වුණාට අපිට ඉඩම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හෝ පරිහරන ප්‍රතිපත්තියක් නැහැ. හැමදේම වෙනස් කරන්න කලින් මෙම ප්‍රතිපත්ති සකස් කළ යුතු යැයි මම යෝජනා කරනවා.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා මුලසුනට පැමිණියේය.

මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා( සජබ)-

තේ කර්මාන්තයට වැඩි පිරිසක් ඇවිත් තිබෙන්නේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයගේ කාලයේ. මේ වන විට මෙම කර්මාන්තයට එන පිරිස අඩු වී තිබෙනවා. එම නිසා තේ වවන්නන්ට රුපියල් ලක්ෂ 10ක වත් ණය ලබා දිය යුතුයි. හෙක්ටයාර් එකට අඩු අයට මසකට රුපියල් විසිපන්දහසකවත් යැපුන් දීමනාවක් දිය යුතුයි.

වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා-

වැවිලි කර්මාන්තයෙන් අප යන ගමන සාර්ථක කර ගන්න සහය ලබාදෙන ජනාධිපතිවරයටත්, අගමැතිවරයටත් ස්තූතිය පුදකර සිටිනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශයට රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙක් පත්කර ශක්තියක් ලබාදීම ගැන ජනාධිපතිවරයාට ස්තූතිය පුදකර සිටිනවා. මෙරට ආර්ථිකය කඩා වැටෙද්දීත් පසුගිය කාර්තු තුනේම වැවිලි ක්‌ෙෂ්ත්‍රයෙන් ඉහළට එන්න අපට හැකිව තිබෙනවා. ඒ සඳහා දායකත්වය ලබාදුන්න සියලු දෙනාට ස්තූතිය පුදකරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ගයන්ත මන්ත්‍රීවරයා කිව්ව පරිදි පසුගිය අවුරුදු 10දී තේ කර්මාන්තය සීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබුණා. එය එකම තලයකමයි පැවැතුනේ. මේ තත්ත්වය වළක්වා ගන්න මේ වසරේදී පැළ මිලියන 50 ක් ලබා දෙන්න උත්සහ ගනිමින් ඉන්නවා. කුඩා වතු හිමියන්ට සහන ණය ලබාදෙන්න කටයුතු කරමින් ඉන්නවා. තේ වෙන්දේසිය ඔන් ලයින් හරහා සිදුකරමින් ජාත්‍යන්තරය පවා ජයගන්න පුළුවන්කම ලැබුණා. අපිට ප්‍රමාණාත්මකව කෙන්යාව, ඉන්දියාව එක්ක තරග කරන්න බැරි වුණාට අපේ උපරිමයෙන් ලබාදෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම තේ නාමය විනාශ කරන්න කටයුතු කරන සියලු දෙනාටම එරෙහිව නීතිමය පියවර ගන්න අපට හැකියාව ලැබුණා. එවැනි අයගේ බලපත්‍ර අහෝසි කළා. කසළ තේ කියන වචනය ශබ්ද කෝෂයෙන් පවා ඉවත් කරන්න අප ඉදිරියේදී කටයුතු කරනවා. නිසි ප්‍රමිතියකින් තොරව ප්‍රති සැපයුම් ආයතන දෙසිය පනහක මේ වන විට බලපත්‍ර අහෝසි කර තිබෙනවා. අපේ උත්සහය හැකි තරම් නිෂ්පාදනය හා ගුණාත්මකභාවය වැඩි කර ගැනීමයි. තේ වගේම රබර් කර්මාන්තය ගැනත් කතා කළ යුතුයි. පසුගිය කාලයේ රබර් කර්මාන්තය විනාශ වෙමින් ගියා. අප බලයට ඇවිත් කෙටි කාලයකින් රබර් අපනයනය සඳහා සීමා ගෙන එමින් එම කර්මාන්තය ආරක්ෂා කර ගන්න කටයුතු කළා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජාජබ)-

අපේ රට වගේ අට ගුණයකින් සාගර කලාපය අයිතියක් තිබෙනවා. වෙනත් රටවල් ධීවර කර්මාන්තයෙන් තමයි දියුණු වෙලා තිබෙන්නේ. අපිට මේ තරම් වපසරියක් තිබිලත්, මිරිදිය සම්පත් තිබිලත් ඒ තුළින් දියුණු වෙන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා තරුණ පිරිස් මෙම කර්මාන්තයෙන් දුරස් වෙලා ඉන්නවා. පරම්පරාවේ උරුමයක් විදියට පිරිසක් මෙහි නියැළුණත් බහුතරයක් මේ රැකියාවට යොමු වෙන්න මැළි වෙනවා. රටක් විදියට අසමත් වෙලා තිබෙනවා ප්‍රධාන නිෂ්පාදනයක් විදියට ධීවර කර්මාන්තය පත් කරගන්න. කෘෂි කර්මාන්තය නම් පාසල් අධ්‍යාපනයේදී උගන්වනවා. ඒත් ධීවර කර්මාන්තය ගැන එහෙම අධ්‍යාපනයක් සිදුවෙන්නේ නැහැ. මම යෝජනා කරනවා ධීවර කර්මාන්තය පාසල් විෂයට ඇතුළත් කරලා දරුවන්ට ඒ ගැන උගන්වන්න කියලා.

ඉඩම් ඇමැති එස්.එම් චන්ද්‍රසේන මහතා( පෙජපෙ)-

මෙම ඇමැති ධූරය මට ලබාදීම ගැන ජනාධිපතිවරයාට ස්තූතිය පුදකර සිටිනවා. අපේ රටේ ඉඩම් ලක්ෂ එකසිය හැට දෙකක් පමණ තිබෙනවා. සෑම කෙනෙකුටම ඉඩමක් තිබෙන්න ඕනෑ කියන තැන ආණ්ඩුවක් ලෙස අප ඉන්නවා. මේ ඉඩම් නිසි කළමනාකරණය කරන්න, ඒ තුළින් රජයට ආදායමක් ලබාගන්න හැකි පරිදි එය පවත්වාගෙන යන්න අපට හැකියාව තිබෙනවා. ඉඩම් අඥා පනත යල් පැනලා තිබෙන්නේ. කැබිනට් එකට කඩිනමින් ඉදිරිපත් කර ඉඩම් සංවර්ධන අඥා පනත සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. පුද්ගලයෙකුට ඉඩමක හිමිකමක් ගන්න බොහෝ තැනක රස්තියාදු වෙන්න වෙනවා. මරණයට පත් වෙනකම් ඉඩමේ අයිතිය ගන්න බැරුව සමහරු රස්තියාදු වෙලා තිබෙනවා. එ් වගේම කෘෂිකර්මාන්තයට ඉඩම් ලබා දෙන්න ඕනෑ. මොකද මේ වන විට පිටරටින් ගෙන ආව ආහාර වර්ග 16ක් නිෂ්පාදනය කරන්න කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ඉඩම් ලබාදිය යුතුයි. තරුණයන් සංවර්ධනයට දායක කර ගන්න ඉඩම් කට්ටි ලක්ෂයක් ලබා දෙන්න තීරණය කර තිබෙනවා. ඉඩම් සම්බන්ධව සිදු වෙලා තිබෙන වංචාවන් සොයන්න විමර්ෂණ කමිටුවක් පත් කරලා තිබෙනවා. එයින් ලැබෙන නිර්දේශ අනුව නීතිය ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා.

රෝහිණී කුමාරි මහත්මිය මුලසුනට පැමිණියාය.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා (සජබ)

ආර්ථිකය උත්පාදනය කරන ප්‍රධාන කර්මාන්තයක් ලෙස ධීවර කර්මාන්තය හැඳින්විය හැකියි. මේ ජාතික සම්පත රැක ගත යුතුයි. ධීවර ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම් සම්බන්ධයෙන් මම සතුටට පත් වෙනවා. අපේ කාලයේ සිටි මහින්ද අමරවීර මහතා වගේ නොවෙයි ඔවුන්ට ධීවර කර්මාන්තය ගැන අත්දැකීම් තිබෙනවා. ඒ නිසා ඔවුන්ට මේ කර්මාන්තය ඉතා හොඳින් කර ගෙන යෑමට පුළුවන්. මිරිදිය කර්මාන්තය නඟා සිටුවීම යහපාලන ආණ්ඩුව යටතේ සිදු කළා. මයිලඩි වරායේ වසර 30 ක් පැවති ප්‍රශ්නය විසඳා උතුරට යහපතක් උදා කළා. උතුරු පළාතේ කැඩුණු බෝට්ටු ප්‍රතිසංස්කරණය කළා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න(සජබ)-

ඉඩමක් සංවර්ධනය වන්නේ නම් රටක් සංවර්ධනය වෙනවා. සුද්දගේ කාලයේ තමයි ඉඩම් ඔප්පු ලබාදීම ආරම්භ කළේ. සිවිල් නඩුවලින් සියයට 65ක් තිබෙන්නේ ඉඩම් නඩු. ඉඩම් සහතිකය ගෙනාවොත් මේ ඉඩම් නඩු සියයට 4 දක්වා අඩු කර ගත හැකියි. ලෝක බැංකුවත් සමඟ කතා කරලා මේ දේ පටන් ගන්න කියලා මම රොෂාන් රණසිංහ මහතාට කිව්වා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මුලසුනට පැමිණියේය.

රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා-

ඉඩම් සම්බන්ධ හා ඊට අනුශාංගික නඩු ඇති වීමට එක් හේතුවක් වී ඇත්තේ ඒ හා සම්බන්ධව පවතින නීති අලුත් නොවීමයි. නඩු කල් යෑම වළක්වා ගැනීමට නීති යාවත්කාලීන කළ යුතුයි. අපරාධ නඩුවලදී පසුගිය කාලයේ හැසිරුණු ආකාරය දකින්න අපට ලැබුණා. පසුගිය කාලයේ මහාධිකාරණයේ නඩුව තීන්දු කරනවා අභියාචනාධිකරණයෙන් එය නිදහස් වෙනවා. හරියට සාක්ෂි නොවිමසා කන් නොදීම නිසා එහෙම වෙනවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා (සජබ)-

මත්ස්‍ය බෙදා හැරීමේ ජාලය තුළින් කොවිඩ් විශාල වශයෙන් පැතිර ගියා. එම නිසා ධීවර කර්මාන්තයේ කඩා වැටීමක් සිදුව තිබෙනවා. තෙල් මිල අඩු කර ධීවර ජනතාවට සහනයක් ලබා දෙන ලෙස වත්මන් රජයෙන් ඉල්ලීමක් කළත් එය ලැබුණේ නැහැ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා (සජබ)

පොල්, කිතුල්, තල් ප්‍රවර්ධනය හා නිෂ්පාදනය පවතින රාජ්‍ය අමාත්‍යාංශය ගැන මම කරුණු ඉදිරිපත් කරනවා. වැලිගම පොල්කොළ මැලවීමේ රෝගය නිසා දකුණු පළාතේ පොල් වගාකරුවන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා. පොල් ගස් ලක්ෂ ගණනක් කපා දැමීම සිදු කරනවා. මේවාට විසඳුම් ලබා දිය යුතුයි. නැනෝ තාක්ෂණය භාවිතා කරමින් විසඳුම් ලබා ගත හැකියි.

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා-

සෑම කර්මාන්තයක්ම කොවිඩ් යටතේ කඩා වැටී ඇති තත්ත්වයකදී වැවිලි අමාත්‍යාංශයේ තේ කර්මාන්තය ශක්තිමත්ව තිබෙනවා. මෙරටට විදේශ විනිමය ලැබෙන අමෙරිකානු ඩොලර් මිලියන 11 කින් මිලියන 2කට වඩා වැඩි මුදලක් ලබා ගන්නේ වැවිලි කර්මාන්තයෙන්. ජනාධිපති කාර්ය සාධක බළකායේ බැසිල් රාජපක්ෂ මහතා සහ රමේෂ් පතිරණ ඇමැතිතුමා මැදිහත්ව ඔන්ලයින් වෙන්දේසි ක්‍රමයට තේ ඇතුළු නිෂ්පාදන අලෙවි කිරීමට ආරම්භ කළා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි අපේ ආණ්ඩුව යටතේ එවැනි දෙයක් කළේ. වතු කම්කරුවන්ට රුපියල් 1000 ක් ලබාදීම ජනවාරි සිට ක්‍රියාත්මක කරනවා. තේ කර්මාන්තයේ ඉලක්කය වන්නේ නිෂ්පාදනය වැඩි කිරීමයි. පසුගිය අවුරුදු පහ තුළදී තේ කර්මාන්තයේ නිෂ්පාදනය අඩාළ වුණා. 2015 වසරේදී තේ කිලෝ ග්රෑම් 328,000 ක් නිෂ්පාදනය කළා. එ්ක 2019 වන විට කිලෝ ග්රෑම් 300,000 දක්වා අඩු වී තිබෙනවා. පැළ සිටුවීමේ වැඩසටහන අඩාළව පැවැති නිසා නිෂ්පාදනය අඩු වී තිබෙනවා. කුඩා තේ වතු හිමියන්ට ලබා දෙන ණය සහනාධාර රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට අපි අපේක්ෂා කරනවා. කම්කරුවාගේ සිට කළමනාකාරීත්වය දක්වා ක්‍රියාත්මක වන ප්‍රායෝගික පුහුණු වැඩමාලාවක් ලබන වසරේ සිට ක්‍රියාවට නංවනවා. තේ පර්යේෂණ ආයතනය විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා රජයෙන් මුදල් වෙන් කර තිබෙනවා. සමාගම් ප්‍රතිසංස්කරණය ගැන විපක්ෂය සඳහන් කළා. තේ නිෂ්පාදනයෙන් සියයට 75 ක් කරන්නේ කුඩා තේ වතු හිමියන්. සමාගම් සමාලෝචනය කිරීමේ වැඩසටහනක් අපි ආරම්භ කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළදී සමාගම්වලින් කොතරම් වගා කර තිබේ ද කියලා භූමිය පරීක්ෂා කර නැහැ. ආතර් සී. ක්ලාක් ආයතනය සමඟ සම්බන්ධ වී ඉදිරියේදි තේ, පොල්, රබර් වගා භූමි ගැන තොරතුරු ලබා ගැනීම් සිදු කර අදාළ ගැටලුවලට විසඳුම් ලබාදීමක් සිදු කරනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලු කුමාර් මහතා (සජබ)-

ජනතා වතු මණ්ඩලයෙන් පර්චස් 10 ක් ලබාදීම නීත්‍යානුකූලව දුන්නා. තරුණ තරුණියන්ට ස්වයං රැකියා ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා වගේම වතු ආශ්‍රිත තරුණ තරුණියන්ටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස මම ඉල්ලනවා. රුපියල් 1000 ක දීමනාව වතු කම්කරුවන්ට ලබාදීම ගැන අපි සතුටු වෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා (සජබ)-

ජනතාවගේ පරම හිමිකමක් ලෙස ඉඩම සඳහන් කරන්න පුළුවන්. ඉඩම් නිසියාකාරව නිදහස් කර ජනතාවට ලබාදීමට කටයුතු කළ යුතුයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එන පිරිසගෙන් වැඩි පිරිසක් පැමිණෙන්නේ ඉඩම් ප්‍රශ්න විසඳා ගැනීමට. මෙරට ග්‍රාමීය ජනතාවගේ විශාල ප්‍රශ්නයක් බවට ඉඩම් ගැටලුව පත්ව තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණී කුමාරි මහත්මිය (සජබ)-

තල්, පොල්, කිතුල් ගැන කතා කළ යුතුයි. කිතුල් ගහ මදින්න නීත්‍ය­ානුකූලව අවසර දී තිබුණත් පොලිසිය හා ඇති වන ගැටුම්වලට විසඳුමක් ලබා දිය යුතුයි. වතුකරයේ ජනතාව ගැන මම කියන ප්‍රශ්න පටුවට හිතන්න එපා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ මහතා මුලසුනට පැමිණියේය.

මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් පුෂ්ප කුමාර මහතා (පොජපෙ)

සීනි නිෂ්පාදනය කරන හිඟුරාන, කන්තලේ, සෙවණගල, පැල්වත්ත සීනි කම්හල් ගැන කතා කළ යුතුයි. හිඟුරාන, කන්තලේ සීනි කර්මාන්ත සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. සෙවණගල සීනි කර්මාන්තය පසුගිය ආණ්ඩුව විනාශ කළා. සෙවණගල සීනි කර්මාන්තයේ නිෂ්පාදය අපි මේ වන විට ඉහළ නංවා තිබෙනවා. එහි නිෂ්පාදනය ලීටර් 6000 සිට ලීටර් 16000 ට අධික ප්‍රමාණයක් දක්වා නිෂ්පාදනය ඉහළ නැංවීමට අපි පියවර ගෙන තිබෙනවා. එවැනි නිෂ්පාදනයක් කළ හැකිව තිබියදී එදා මේ කර්මාන්ත පෞද්ගලීකරණය කළේ මත්පැන් නිෂ්පාදනයට. පොල් පැළ නිෂ්පාදනය සඳහා අපි විශාල කාර්යභාරයක් කළා.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා(සජබ)-

ජනතාවගේ ඉඩම්වලට අවශ්‍ය අයිතිය, ඔප්පු ටික ලබා දෙන්න. එ් වගේම අපේ පළාත්වල වුණත් එක් එක් ඉඩමේ වෙළෙඳ වටිනාකම වෙනස්. ව්‍යාපාරයක් සිදු කරන ඉඩමක වෙළෙඳ වටිනකම වැඩියි.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීර‍සිංහ මහතා (පොජපෙ)-

වැවිලි කර්මාන්තය දිවයින පුරා ව්‍යාප්ත වූවක්. තේ කර්මාන්තය ප්‍රදේශ කිහිපයක් තුළ ව්‍යාප්ත වුණත් තේ, පොල්, රබර් රට වටාම ව්‍යාප්ත වී තිබෙනවා. වතු සේවකයන් වෙනුවෙන් රුපියල් දහස දක්වා වැටුප් වැඩිකිරීමට අපගේ ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

ගන්දර , දෙවුන්දර වැනි ධීවර වරායන් සංවර්ධනයට පියවර ගැනීම අගය කළ යුතුයි. එ් වගේම මෙම අමාත්‍යාංශ ටික ජනාධිපතිවරයා බෙදා දී තිබෙන්නේ සුදුසුම පුද්ගලයින්ට බවයි මගේ හැඟීම.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා(සජබ)-

වැවිලි කර්මාන්තය කියන්නෙ මෙි රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දෙන විෂයයක්. රජය සතු වතු සමාගම් ආදර්ශයක් ලබාදිය යුතුයි. වැවිලි සමාගම්වලට බල කරන්න දෙයක් නැහැ . රජයේ වතු සමාගම්වලින් වතු සේවකයන්ගේ දෛනික වැටුප් රුපියල් දහස දක්වා වැඩිකිරීම ලබාදුන්නොත් අනෙකුත් වතු සමාගම් ද එය ක්‍රියාත්මක කරාවි.

ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපොළ සංවර්ධන රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා-

ඉඩම් රාජ්‍ය ඇමැතිවරයා ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් රාජ්‍ය ඉඩම්, ඌණ උපයෝජිත ඉඩම් වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම මා වෙත පැවරී තිබෙනවා. ඒ ව ගේම ජනතාවගේ ඉඩම් අයිතිය නිරවුල් කිරීම වෙනුුවෙන් ඉඩම් නිරවුල් කිරිමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක් මා වෙත පවරා තිබෙනවා. අපගේ අමාත්‍යාංශය හා ප්‍රධාන අමාත්‍යාංශය අතර මනා සම්බන්ධීකරණයක් අපි පවත්වාගෙන යනවා. මොකද අපි කළ යුත්තේ ජනතා ගැටලු විසඳීමයි.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (සජබ)

මාධ්‍යයට මොන චෝදනා එල්ල කළත් විමලවීර දිසානායක මහතාටත් බුද්ධිමත් ලෙස කටයුතු කරන්නට තිබුණා.

විමලවීර දිසානායක මහතා-

ඔබතුමා නොදන්න දෙයක් ගැන කතා කරන්න එපා. කිසිම තීන්දුවක් ගෙන නැති දේකට විරුද්ධ වෙන්නෙ මොකටද?

චමින්ද විජේසිරි මහතා-

අපේ පළාතේ වතුවල තිබෙන ප්‍රශ්න ගොඩක් තිබෙනවා.ඒ වතුවල දරුවෝ අඩු වයසින් කසාද බඳිනවා. ඉතාමත්ම අඩු වයසින් විවාහ වෙන්නේ. මේ හේතුවෙන් අඩු උපත් දරුවන්, මන්ද පෝෂණය ඇති දරුවන් උපදිනවා.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා-

ඔක්සිජන් එපා කියලා කියපූ ඇමැතිවරයෙක් සිටින බව චමින්ද විජේසිරි මහතා කිව්වා. එහෙම කියපු ඇමැතිවරයෙක් නැහැ. මේ සිද්ධියට මම සම්බන්ධ වුණා . එතන සිටි ධීවරයෙක් කියපු කරුණක් වෙනුවෙන් අදාළ සිදුවීම සමථයකට පත් කිරීමටයි මම මැදිහත් වුණේ.

උක්, බඩ ඉරිඟු,කජු,ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා-

කන්තලේ සීනි සමාගම කියන්නේ බණ්ඩාරනායක මැතිනියට තෑගි ලැබුණ දෙයක්. මේකේ යකඩ ටික විකුණන්නත් පසුගිය ආණ්ඩු කාලේ උත් සාහ කළා. ඒ වගේම ලබන වසර වනවිට කන්තලේ සීනි කම්හල විවෘත කරනවා. මෙයට අයිති අක්කර 21000 ක් අපි පළාතේ ගොවීන්ට බෙදා දුන්නා අක්කර පහ බැගින්. කන්නයක් විතරක් වගාකිරීම සඳහා. වගා කිරීමට කැමති පිරිස්වලට විතරයි එ් ඉඩම් ලබා දුන්නේ. කිසිම විදේශයකට දුන්නේ නැහැ.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා(සජබ)-

ලුණුවිල පොල් පර්යේෂණායතනය ලුණුවිලින් කොළඹට ගේන්න උත්සාහයක් තිබෙනවා. එය කරන්නට එපා. ගමේ දේ ගමේ තියන්න. මුහුද වටේ ඉන්න ධීවරයා මුලින්ම කරන්නේ රට ආරක්ෂා කරන එක. ධීවරයින්ට හොරෙන් කාටවත් මුහුදින් එන්න බැහැ.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරිම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා-

කාල වෙිලාව ප්‍රමාණවත් නිසා යොමුකරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලිඛිතව දෙනවා. දික්ඕවිට වරායේ කප්පම් ගන්න කතාවක් හෙක්ටර් අප්පුහාමි මහතා කිව්වා. ධීවර කර්මාන්තයට අපි සහන ලබා දී තිබෙනවා. ධීවර කර්මාන්තය ට පනවා තිබූ බදු අපි ඉවත් කළා. දික්ඕවිට වරාය ගැන එතුමා කියපු කතාව ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටිිනවා. එ් වගේම අපේ ධීවර වරායවල කිසිම තැනක කප්පම් ගන්නේ නැහැ. මේ විෂය මට ලබාදීම ගැන මම සතුටු වෙනවා.

වැය ශීර්ෂ සම්මත විය.

පාර්ලිමේන්තුව අද (28) පෙරවරු 9.30 ට යළි රැස්වේ.

 

ස්වර්ණා විජේකෝන්,

නුවන් ‍ෙකාඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න