මිලියනයෙන් එකෙක් වෙමු | දිනමිණ

මිලියනයෙන් එකෙක් වෙමු

මිලියනයකින් එක් අයෙකු වන්නට, ඔබටත් හැකිද? ජීවිතය තරගයකැයි ඔබ කෙදිනක හෝ සිතා තිබේද? සැබැවින් ම ජීවිතය ද එක්තරා ආකාරයක තරගයකැ'යි මම ඔබටt පවසමි. විටෙක එකී තරගයෙන් අපි ජය ගන්නෙමු. විටෙක පරාජය වන්නෙමු. ජයග්‍රහණය කළ විට එකී අමා රසයෙන් අප අමන්දානන්දයට පත් වන අතරම පරාජයට පත් වූ විට එකී පරාජයන්ගේ කටුක අත්දැකීම් කැටි කරගෙන කලක් ශෝකී වාගාලාප දොඩමින් සිටින්නෙමු. ජීවිතය අභියස, විටෙක අන් අය සමගත් තවත් විටෙක තමන් සමගත් තරග කරන්නට අපට සිදු වෙයි.

ඔබට ජීවිතයේ ජයග්‍රාහී හිනිපෙත්තටම ළගා වීමට අවැසි වන්නේ නම් ඔබ පළමුව කළ යුත්තේ ඔබත් සමඟ තරග කිරීමයි... ඒ තුළින් ඔබ තුළ නිදා සිටින යෝධයා අවදි කිරීමයි. අලසකම් පුරවන සතුරා පලවා හැරීමයි. එවිට ඔබේ චින්තන මාත්‍රයෙහි අධිෂ්ඨානයේ හා කැපවීමේ උදාරත්වය පමණක් ශේෂ කරගත හැකිවනු ඇත. ඔබ දන්නවා ද පරාජය සහ ප්‍රතික්ෂේප වීම යනු කෙනෙකු ලබන බලවත් ම අභිප්‍රේරණයන් බව. බොහෝ විට මිනිසුන් ලැබූ පරාජයන්ගේ අඳුරු සෙවණැලි කාලයත් සමඟ වර්ණිත වී ඔවුන් ව රතු පලස් මත හිඳුවා ඇත. ඒ ඔවුන් තම තරගකාරීත්වය අත් නොහැරි නිසාවෙනි.

ජපන් පෙළපොතට ගිය ලංකාවේ මැරතන් කරූ පිළිබඳව ඔබ අසා ඇතුවාට සැකයක් නැත. එදා රණතුංග කරුණානන්ද මීටර් 10,000 ධාවන ඉසව්ව අවසන් කළේ ජයග්‍රාහකයෙකු ලෙස නොවන බව සැබෑවකි. නමුත් ඔහු අපරාජිත පරාජිතයෙකි. සියලු දෙනාම එක් ඉසව්වක් අවසන් කර තිබිය දී ධාවන පථය මත තනිව දිව යන්නට කෙතරම් ශක්තියක් අවැසි වන්නේද.? ඔබට එය කළ හැකි යැයි ඔබ සිතනවාද? සියලු දෙනාගේ සිනා හඬවල්, උසුළු විසුළු කිරීම් මැද දිව යන්නට තිබිය යුත්තේ අනෙකා පරයා නැගී සිටිමින් තරග කිරීමේ හැකියාව නොව තමාගේ පසුගාමී සිතිවිලි සමඟ තරග කිරීමේ ශක්තිය යි. පාපැදියක් පිළිබඳව මොහොතක් සිතා බලන්න. කෙනෙකුගේ ශක්තියේ ඵලයක් ලෙස එය ක්‍රමයෙන් ඉදිරියට ඇදී යයි. නමුත් එකී චාලක ශක්තිය නැවතී ගිය විටෙක පාපැදියට එක් තැන්ව සිටීමට වාරු නැත. එනිසාම එය පොළොව සිපගෙන නතර වෙයි.

ජීවිතයට ද තරගකාරීත්වයේ ශක්තිය නිතැතින් ම අවැසි වන්නේ ය. එකී තරගකාරී භාවයෙන් මිදී ගිය පුද්ගලයාගේ ජීවිතය තුළ විශාල හිඩැසක් ශේෂ වනු නොවනුමානය. ඉදින් ජීවිතය යනු තරගකාරීත්වයේ අග්‍ර ඵලයකි. එකී තරගකාරීත්වය අනෙකා බිද දමා, අනෙකා පරයා යමින් නැගී සිටීමේ ආත්මාර්ථයේ පටු අර්ථය නම් නොවන්නේ ම ය. තමා අභිමුවට පැමිණෙන සියළු බාධක පසෙකලා ජයග්‍රාහී මාවත උදා කර ගැනීමට හැකි නම් ඔබ ඔබේ තරගයේ ජයග්‍රාහකයෙකි. ඉදින් ජීවිතය ද සුන්දර තරගයකි. විටෙක දිනන. තවත් විටෙක පරදින. අවැසි වන්නේ පරාජය අභියස ලබා ගන්නා ශක්තියයි.

එකී පරාජයෙන් ලබා ගන්නා අභිප්‍රේරණය යි. ලෝකය දිනූවෝ උපතේ පටන් ජය ගත්තෝ නොවෙති. ඔබට අවැසි වන්නේ දැඩි කැපවීම හා අධිෂ්ඨානය යි. මිලියනයකින් එක් අයෙකුට පමණක් ඇතැයි සැලකෙන එකී දැඩි කැපවීම හා අධිෂ්ඨානය ඔබටත් ළගා කර ගත හැකි නම්, ඔබේ සාර්ථකත්වයේ ද්වාරය එතැන් සිට විවර වනු ඇත. ඔව්! එකී මිලියනයෙන් එක් අයෙක් වූ සාර්ථක පුද්ගලයා ඔබ ම විය හැකියි.

 

 දේශානි ආරච්චිගේ

 

නව අදහස දක්වන්න