කොවිඩ් ඔසුව! | දිනමිණ

කොවිඩ් ඔසුව!

කොවිඩ් වයිරසය මර්දනය සඳහා නිපදවා ඇති හෙළ ඔසුව පිළිබඳ පර්යේෂණ සිදු කිරීමටත්, එහි ඉදිරි කටයුතු මෙහෙයවීමටත් රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපතිවරයා කියා තිබේ. ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ විද්වත් කමිටුවක් වෙත ඉහත වගකීම පවරා ඇත. මෙය වැදගත් තීරණයකි. මෙතෙක් රාජ්‍ය පාලකයන් දේශීය වෛද්‍ය ක්‍රමය කෙරෙහි ඒ හැටි විශ්වාසයකින් කටයුතු කර නැත. එයින් දේශීය වෛද්‍ය ශාස්ත්‍රය හා ශාරීරික විද්‍යාව පිළිබඳ අවධානය ‍දුර්මුඛ විය. ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල් බටහිර වෛද්‍ය ක්‍රමයට අනුගත වී ඇතත්, දේශීය වෛද්‍ය ශාස්ත්‍ර ඉවත ලා නැත. එම රටවල් නූතන තාක්ෂණය සමඟ පාරම්පරික වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කිරීමට උත්සුක වෙයි. ඒ අනුව නිරන්තර පර්යේෂණ සිදු වෙයි.

ඈත අතීතයේ පටන් පැවත එන සාර්ථක වෛද්‍ය ශාස්ත්‍රයක් අපට තිබිණි. කෙනකුගේ මතයට අනුව එය රාවණා රජ සමයේ පටන් පැවත එන විස්මිත වෛද්‍ය ශාස්ත්‍රයකි. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව බුද්ධදාස රජතුමා අති දක්ෂ වෛද්‍යවරයෙකි. මහාවංශය ගාථා හැත්තෑ හතරකින් රජුගේ සේවය විවරණය කර තිබේ. රජු විසින් කරන ලද විස්මිත ප්‍රතිකාර හතක් ගැන සටහන් ද මූලාශ්‍රවල ඇත. පුත්තනාග විහාරය අසල සිටි රෝගී නාගයාට කළ සැත්කම, දුගී මනුෂ්‍යයකුගේ මොළයට සිදු කළ සැත්කම, රෝගී භික්ෂුවකට සිදු කළ චිකිත්සාව එම විස්මිත ප්‍රතිකාර අතර පවතී. බුද්ධදාස රජු යනෙන තැන්වල ඖෂධ මංජුසාව හා සැත්කම් ආම්පන්න සහිත ලෝගුව රැගෙන ගිය බව ද සඳහන්ය.

අතීත ශ්‍රී ලංකාවේ දක්ෂ වෛද්‍යවරුන් සිටි බව ද ඔවුන් සතුව වටිනා වෛද්‍ය ශාස්ත්‍රයක් පැවැති බව ද පැහැදිලි කාරණයකි. ඒ හැරෙන්නට සාමාන්‍ය ජනතාවට පවා සෞඛ්‍ය පිළිබඳ මනා වැටහීමක් තිබූ බව පෙනී යයි. ජනයා අතර පැවැති උපහැරණ කතාවලින් ද ඒ බව සත්‍ය වෙයි. පය බරවායට පිටි කර බෙහෙත් බඳින්නා සේ යැයි එක කතාවක් තිබේ. විෂ බාන කල දෂ්ට කළ සර්පයා ලවාම උරවා ගන්නා සේ යැයි තව කතාවක් තිබේ. මේ කතා දෙකම වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධය. දෙවන කතාවෙන් පැහැදිලි වන්නේ සර්ප විෂට ප්‍රතිකාර කිරීමේදී දෂ්ට කළ සර්පයාම ‍යොදා ගන්නා ක්‍රමවේදයකි. එය මෙතෙක් කිසිදු වෛද්‍ය ශාස්ත්‍රයක දක්නට නොලැබෙන ප්‍රතිකාර ක්‍රමයකි.

අතීත ශ්‍රී ලාංකිකයා වසංගත රෝගවලට මුහුණ දුන්නේය. සර්ප විෂට මුහුණ දුන්නේය. බෝ නොවන නිධන්ගත රෝගවලට මුහුණ දුන්නේය. මේ සෑම රෝගයකටම ප්‍රතිකාරයන් ද හෙළ වෙදකමෙහි තිබිණි. දියුණු ඖෂධ නිෂ්පාදනයත්, විද්‍යාත්මක චිකිත්සක ක්‍රමයත් හෙළ වෙදකම තුළ තිබේ. සැත්කම් සඳහා අතීත වෛද්‍යවරුන් භාවිත කළ මෙවලම් ඇතැම් කැණීම්වලදී හමු වී ඇත. ශ්‍රී ලාංකිකයා නිරෝගී ශක්තිමත් මනුෂ්‍යයකු ලෙස දෛනික කටයුතුවල යෙදී ඇත. මහා වැව් ඉදිකිරීම, මහා දාගැබ් තැනීම සිදු වූයේ එම ශක්තිමත් මිනිසුන් අතින්ය. රට ආරක්ෂා කළේ ද පර සතුරන් පරාජය කළේ ද ඒ මිනිසාය. ඒ පමණක් නොව රට ස්වයංපෝෂිත කළේ ද ඒ මිනිසාය. ඉතිහාසය දෙස බලන විට ශ්‍රී ලාංකිකයා ඉතා ශක්තිමත් නිරෝගී මිනිසෙකි.

විදේශ ආක්‍රමණ සමඟ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය පිරිහීමට ලක් විය. ඊට අදාළ මූලාශ්‍ර විනාශ වූ අතර, වෛද්‍ය ශාස්ත්‍රයට යොමු වූ පිරිස අඩු වූහ. යුරෝපීය ජාතිකයන් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමෙන් පසු තත්ත්වය වඩාත් නරක අතට හැරිණි. බටහිර වෛද්‍ය ක්‍රම සේම බටහිර ඖෂධ රට තුළ ව්‍යාප්ත කැරිණි. නිදහසින් පසු බලයට පත් වූ නායකයන් ද දේශිය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීමට නිසි පියවර ගෙන නැත. එහෙත් පාරම්පරිකව පැවැත එන ස්වල්ප දෙනකු අපේ වෛද්‍ය ශාස්ත්‍රය ආරක්ෂා කර ගැනීම අගය කළ යුත්තකි. අදත් ඉඳ හිට දේශීය වෛද්‍ය ක්‍රම‍යේ හාස්කම් වාර්තා වෙයි. කොවිඩ් වයිරසය මර්දනය සඳහා නිපදවා ඇති ඖෂධය ද එබඳු හාස්කමක් සේ සැලකිය හැකිය. මෙතෙක් කරන ලද නිරීක්ෂණවලින් පෙනී යන්නේ එය සාර්ථක ඖෂධයක් බවය.

අමෙරිකාව, ජර්මනිය, රුසියාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල් කොවිඩ් 19 වයිරසය මර්දනය සඳහා විවිධ එන්නත් හා ඖෂධ අත්හදා බලමින් සිටී. එහි තරගයක් ද තිබේ. ඖෂධ වෙළෙඳාම අතිශය ලාභදායි දැවැන්ත කර්මාන්තයක් නිසා මේ තරගය උග්‍රවන බව පෙනෙයි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය තවම කිසිදු එන්නතකට අනුමැතිය ලබා දී නැත. එම ආයතනයේ මතය වන්නේ නියමිත එන්නතක් හෝ ඖෂධයක් හෝ සොයා ගැනීමට තවත් වසර එකහමාරක් පමණ ගත විය හැකි බවය. මේ කාර්යයෙහි ඇති බරපතළ ස්වභාවය එයින් පැහැදිලි වෙයි. වයිරසයට එරෙහි එන්නත් හා ඖෂධ දීර්ඝ වශයෙන් පර්යේෂණවලට ලක් විය යුතුය.

ශ්‍රී ලංකාවේ දේශීය කොවිඩ් ඖෂධය මුළුමනින්ම පාහේ ස්වභාවධර්මයට එකඟව නිෂ්පාදනය කරන ලද්දක් බව සඳහන්ය. ඊට ඇතුළත් වන්නේ දේශීය ඖෂධ බවද සඳහන්ය. එයින් සනාථ වන තව කරුණක් වන්නේ මේ ඖෂධය අතුරු ආබාධ හා අතුරු බලපෑම් ඇති කිරීම අතින් අඩු නම්‍යතාවක් දක්වන ඖෂධයක් බවය. මෙවැනි ඖෂධයක් සාර්ථක වුවහොත් ඒ සඳහා ඇති ලෝක ඉල්ලුම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වනු ඇත. එය ලෝකයට කරන මානුෂික සේවාවක් වන්නා සේම ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට ලබා දෙන විශාල ශක්තියක් ද වෙයි. මේ ඖෂධයට අදාළ පර්යේෂණ කඩිනම් කළ යුතුව තිබේ. ඖෂධ නිෂ්පාදනයට සම්බන්ධ වෛද්‍ය කණ්ඩායමට අවශ්‍ය පහසුකම් ද නො අඩුව සැපයිය යුතුව තිබේ.

මෙබඳු ඖෂධයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ රජයේ නව පරිපාලන විධික්‍රමය නිසාය. දේශීය වෙදකමට හා දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට රජය මුල්තැනක් ලබා දෙයි.

නව අදහස දක්වන්න