තිසර - ධනංජය පිතිහරඹයෙන් යාපනය ඉහළ යයි | දිනමිණ

තිසර - ධනංජය පිතිහරඹයෙන් යාපනය ඉහළ යයි

පස්වැනි කඩුල්ලට පන්දු 47ක් ඇතුළත ලකුණු 118ක වේගවත් සම්බන්ධතාවක් ගොඩ නැඟූ නායක තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා දැක්වූ පිතිහරඹ දස්කම් මතින් ඉනිම ගොඩ නැඟූ ජැෆ්නා ස්ටැලියන්ස් පිල පෙරේදා රාත්‍රී පැවැති එල්පීඑල් තරගයෙන් කැන්ඩි ටස්කර්ස් පිල ලකුණු 54කින් පරදවා සිය අපරාජිතභාවය රැකගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා පිලේ පළමු කඩුලු 4ම ලකුණු 49කට දවාලීමට කැන්ඩි පිල සමත්වූ අතර, ඊට දුවද්දී දැවීයෑම් දෙකක් ද ඇතුළත් විය. නමුත් ධනංජය ද සිල්වා සමග එක්වූ නායක තිසර පෙරේරා නැවත වරක් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබීමෙන් නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ජැෆ්නා පිල රැස් කළ ලකුණු 185 හඹා ගිය කැන්ඩි ටස්කර්ස් පිල ඕවර 17කුත්, එක් පන්දුවකදී ලකුණු 131කට දැවී ගියේය.

ජැෆ්නා පිලේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 3කට සහ සොහේබ් මලික් ලකුණු 9කට දුවද්දී දැවී ගිය අතර, මිනෝද් භානුක ලකුණු 15කටත්, ටොම් මුවර්ස් ලකුණු 4කටත් දැවී ගියේ අසේල ගුණරත්නගේ පන්දු හමුවේය.

අනතුරුව ධනංජය සහ තිසර එක්ව ජැෆ්නා පිලේ බලාපොරොත්තු ඉහළ දැමුවේ කැන්ඩි පිලේ පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් බවට පත්වෙමිනි.

පන්දු 38කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 61ක් රැස් කිරීමට ධනංජය සමත් වෙද්දී තිසරගේ ලකුණු 68ක ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය. ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 28ක් පමණි.

කැන්ඩි පිලේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු යුගලය රහ්මනුල්ලා ගුර්බාස් සහ නායක කුසල් ජනිත් ලකුණු 24ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට උස්මාන් ශින්වාරි සමත් වූ අතර, කුසල් මෙන්ඩිස්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 20ක් පමණි. කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 9කට සීමා කිරීමට තිසර සමත්වීමෙන් පසු බ්‍රෙන්ඩන් ටේලර් සහ අසේල ගුණරත්න එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 90 දක්වා ඉහළ දැමුවත් සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට ඉඩක් නොලැබිණි.

පන්දු 32කට මුහුණ දුන් ටේලර් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 46 ක් රැස් කළ අතර, අසේලගේ ඉනිමට ලකුණු 31ක් එක්වූයේ පන්දු 24කිනි. ඊට හතරේ පහර 4ක් ඇතුළත් විය.

කැන්ඩි ටස්කර්ස් පිලේ අවසන් කඩුලු 6ම බිඳ වැටුණේ ලකුණු 41ක් ඇතුළතදීය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ උස්මාන් ශින්වාරි ලකුණු 17කට කඩුලු 3ක් දවාලීය. තරගයේ වීරයා සම්මානය ජැෆ්නා පිලේ නායක තිසර පෙරේරාට හිමිවිය.

නව අදහස දක්වන්න