බන්ධනාගාර සිද්ධියේ රැඳවූවන් 28ක් සහ නිලධාරියෙක් තවම රෝහලේ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක | දිනමිණ

බන්ධනාගාර සිද්ධියේ රැඳවූවන් 28ක් සහ නිලධාරියෙක් තවම රෝහලේ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

බුද්ධිකා ඉඹුලාන
රක්ෂණ ශ්‍රියන්ත

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවූවන් 28 දෙනකු සහ එක් බන්ධනාගාර නිලධාරියකු තවමත් රෝහල්ගතව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසීය.

මෙසේ රෝහල්වල ප්‍රතිකාර ලබන 28 දෙනා අතරින් රැඳවූවන් 27 දෙනකු රාගම රෝහලේ සහ එක් රැඳවූවකු කොළඹ ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබන අතර, බන්ධනාගාර එක් නිලධාරියකු බන්ධනාගාර රෝහලෙත් ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මහර බන්ධනාගාරයේ සිදුවූ සිද්ධියෙන් තුවාල ලැබූ මුළු රැඳවූවන් සංඛ්‍යාව 106ක් වන අතර, තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාද ඇතුළුව තුවාල ලැබූ සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 108ක් වන අතර, මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 11කි.

මිය ගිය අය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයද තවදුරටත් පැවැත්වීමට නියමිතව ඇත.

පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය තව දුරටත් මහර බන්ධනාගාරය අවට ආරක්ෂාව සපයන අතර, ඒ සම්බන්ධව අධීක්ෂණය කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

නව අදහස දක්වන්න