ළමයි අසමත් ද? | දිනමිණ

ළමයි අසමත් ද?

අධ්‍යාපනයේ නවෝත්පාදන පිළිබඳ කථා කළ එක් විද්වතකු පවසනුයේ අන් කවර ක්ෂේත්‍රයකටම වඩා නවෝත්පාදන සඳහා අසීරුම ක්ෂේත්‍රය පාසල් ක්‍රියාවලිය බව ය. ඒ පවතින ක්‍රමය වෙනස් කිරීමේදී ගුරුවරු ඇතුළු මව්පියන් මුලින්ම ඊට විරුද්ධ වන හෙයිනි. වෙනත් ක්ෂේත්‍රවලදී නම් නව සොයා ගැනීම්, නවෝත්පාදනයන් ඉදිරිපත් වු විට ඒවා ඉක්මනින්ම අත්හදා බැලීමට ක්ෂේත්‍රවල විශේෂඥයෝ කැමති වෙති. උදාහරණ ලෙස කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ නව පොහොර වර්ගයක්, නව කෘමිනාෂක වර්ගයක් සොයා ගත් විට ඉක්මනින් අත්හදා බලා, එය සමාජගත කිරීමට පියවර ගැනීම පෙන්වා දීමට පුළුවන.

වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ පවතින්නේ සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේදයකි. කොවිඩ් - 19 වසංගතය හමුවේ එම සම්ප්‍රදායික අධ්‍යාපනයෙන් බැහැර වූ නවීන තාක්ෂණික ක්‍රමවේදයකට අනුගත වීමට සිදු විය. එහෙත් ශ්‍රී ලංකාවේ තවමත් ප්‍රමාණවත් පරිදි ගුරුවරුන්, සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් නොමැති පාසල් දක්නට ලැබේ. එවැනි පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ට මෙම වසංගත තත්ත්වය හමුවේ තාක්ෂණය භාවිතයෙන් අධ්‍යාපන අරමුණු කරා ළඟා වීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත. මේ නිසා ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් දරුවන්ට ඒ හා සමාන පහසුකම් ලබා දී නිසි විකල්ප අධ්‍යාපන ක්‍රමවේදයන් හඳුන්වා දීම නුවණට හුරු කාරණාවක් වී ඇත.

මෑත ඉතිහාසයේ අප කිසිවකු අත්විඳ නොමැති නව අභියෝගයකට සමස්ත ලෝකයම මුහුණ දී සිටී. ඉතිහාසයේ පළමුවරට ලෝකයේ රටවල් 123 කට වඩා වැඩි ප්‍රමාණයකට කොවිඩ්- 19 ව්‍යාප්ත වී අර්බුදකාරි තත්ත්වයට පත් වී තිබේ . සැබෑ ගෝලීයකරණය සිදුවෙමින් පවතිනුයේ වර්තමානයේ ය. මෙම වයිරසයට සීමා මායිම් නැත. මහද්වීපයකින් මහද්වීපයකට, රටකින් රටකට, පවුලකින් පවුලකට, පුද්ගලයකුගෙන් පුද්ගලයකුට මෙම වයිරසය පැතිරී ගොස් ඇත. තව ද සෑම රටකම අනන්‍ය වු ජීවන රටාව අඩපණ කර බිඳ හෙළා ඇත. සමස්ත ලෝකයටම යළි නැගීටීමට අවශ්‍යව පවතී.

පාසල් ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක්

මෙම තත්ත්වය හමුවේ සමස්ත ජන ජීවිතයේ සෑම සංස්ථාවක්ම සෑම සංකල්පයක්ම උඩුයටිකුරු වී ඇත.අධ්‍යාපන ක්ෂේත්‍රයට ද එම අභියෝගයට මුහුණ දීමට සිදුව ඇත. කියුබානු අගමැතිව සිටි පි‍ෙදල් කැස්ත්‍රෝ වරෙක ප්‍රකාශ කළේ ඔබට අධ්‍යාපනයේ වෙනසක් කිරීමට අවශ්‍ය නම් විප්ලවයක් කරන්න කියා ය. එම අභියෝගාත්මක ප්‍රකාශයෙහි තේරුම කුමක් ද? යන්න අප අවබෝධ කර ගත යුතු ය. පිදෙල් කැස්ත්‍රෝට අනුව අප විසින් “ආයතනගත“ කළ පාසල්, ඉගෙනීමේ එකම මඟ යන ආකල්පය දරුවන්ට , ජනතාවට දී ඇති බව ය. මේ නිසා සම්මත කර ගත් සම්ප්‍රදායික ආයතනීගත ව්‍යුහගත පාසල්වල ඉගැන්වීම ඒ නිසාම යාන්ත්‍රීකරණය වී ඇත. දෙන ලද පාඩම් මාලාව වන පොත් මූලික කරගෙන අසන ප්‍රශ්නවලට පිළිතුරු ලිවිය යුතු ය. මෙම ක්‍රමවේදයෙන් සිදු වනුයේ ශිෂ්‍යන්ගේ නිර්මාපකත්වයට සහ ස්වාධීනත්වයට දඬුවම් කරන තැනක් බවට පාසල පත්වීම බව එඩ්ගා ප්‍රිඩන්බර්ග් ප්‍රකාශ කර තිබේ. ගුරුවරයා කියවන දෙය නිශ්ක්‍රීයව අසා සිටීමට දිගින් දිගටම හුරු වීම නිසා ළමයින් තුෂ්නිම්භූත සංස්කෘතියකට ( culture of Silence ) හුරුවෙති. පාසලට පැමිණෙන ළමයාගේ අවශ්‍යතා මොට කර දැමීමක් පාසල තුළින් සිදු කරන බවට චෝදනා නැඟී ඇත. වරෙක ඉතාලියේ අධ්‍යාපනඥයන් මෙම පාසල් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා ඇත්තේ කුතුහලය හා අඥානබව ඇතිව පාසල් ආ දරුවන්ගේ කුතුහලය නැති කර අඥානබව ඉතිරි කර ඔවුන් පිටමං කරන ආයතනය පාසල බවයි. පැවතුණු සම්ප්‍රදායික පාසල් ක්‍රමය හා එහි අඩුපාඩුකම් පිළිබඳව බොහෝ චෝදනා විවේචන ඉදිරිපත් වුවත් එහි නවෝත්පාදන ‍ෙබහෙවින් අඩු බව අධ්‍යාපනඥයන් දක්වා තිබේ. එයට හේතුව කිසියම් සම්ප්‍රදායක් සැකසුණු පසු එය වෙනස් කිරීම අසීරු වීම ය.

Innovations in Education නම් කෘතියෙහි අධ්‍යාපනයේ නවෝත්පාදන පිළිබඳ කථා කරන හ්‍යුබර්මන් පවසනුයේ අන් කවර ක්ෂේත්‍රයකටම වඩා නවෝත්පාදන සඳහා අසීරුම ක්ෂේත්‍රය පාසල් ක්‍රියාවලිය බව ය. ඒ පවතින ක්‍රමය වෙනස් කිරීමේදී ගුරුවරු ඇතුළු මව්පියන් මුලින්ම ඊට විරුද්ධ වන හෙයිනි. වෙනත් ක්ෂේත්‍රවලදී නම් නව සොයා ගැනීම්, නවෝත්පාදනයන් ඉදිරිපත් වු විට ඒවා ඉක්මනින්ම අත්හදා බැලීමට ක්ෂේත්‍රවල විශේෂඥයින් කැමති වෙති. උදාහරණ ලෙස කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ නව පොහොර වර්ගයක්, නව කෘමිනාෂක වර්ගයක් සොයා ගත් විට එය ඉක්මනින් අත්හදා බලා , එය සමාජගත කිරීමට පියවර ගැනීම පෙන්වා දීමට පුළුවන.

එහෙත් නවෝත්පාදනයට අසීරු ක්ෂේත්‍රය වන්නේ පාසල් අධ්‍යාපනයයි. මේ අධ්‍යාපන ක්‍රමවේදයේ අඩුපාඩු විචේචනය කරමින් ජෝන් හෝල්ට්ගේ How children fail (ළමයින් අසමත් වන්නේ කෙසේ ද?) , එවරට් රයිමර්ගේ The School is dead (පාසල මියගිය ආයතනයකි), අයිවන් ඉලිච්ගේ Deschooling Society ( පාසල් රහිත සමාජයක් ) ආදී ග්‍රන්ථවල පවතින පාසල් ක්‍රමය දැඩි විවේචනයට ලක් කර තිබුණි.

කොවිඩ් 19 ව්‍යසනයත් සමඟ පාසල් ක්‍රියාවලිය, ඉගැනුම්- ඉගැන්වීම් ක්‍රියාවලීන් නව වෙනසට භාජනය කිරීමට සිදුව ඇත. මේ වෙනස්කම 21 වන ශත වර්ෂයේ අභියෝගවලට මුහුණ දීමට යෝග්‍ය නව මිනිසකු බිහි කර ගැනීමට භාවිතා කළ හැක්කේ කෙසේ ද? යන්නට සොයා බැලීමට ද භාවිත කළ හැකි ය. 1980 දශකයේ පාසල් රහිත සමාජයක් පිළිබඳව අයිවන ඉලිච් ඉදිරිපත් කළ කරුණු ඒ දිනවල මනංකල්පිතයක් ලෙස අධ්‍යාපනඥයන් විසින් හැඳින්වුවත් එම අදහස් වර්තමානයේ යළි ඉදිරිපත් වෙමින් පවතී. ඔහු සඳහන් කළේ පාසල් යාම යන සංකල්පය තවදුරටත් වලංගු නොමැති බවයි. පෙරදී දැනුම ලබා දුන් එකම පුද්ගලයා ගුරුවරයා වුවත් වර්තමානයේදී ද දැනුම ලබා ගත හැකි ක්‍රියාමාර්ග රැසක් ඇති බව ඔහු පෙන්වා දුනි. ඔහු ඒ සඳහා විකල්ප ක්‍රම 04 ක් යෝජනා කෙරිණි. පාසලින් බාහිරව ඉගෙනීම සඳහා ඉගෙන ගැනීමේ අවස්ථා පාදා දෙමින් ඉගෙනීම් ජාලයක් සකස් කළ යුතු වීම ( Education on web ), අධ්‍යාපන ද්‍රව්‍ය ආශ්‍රිත සේවාවන්, දක්ෂතා හුවමාරුව, සමාන පහසුකම් සපයා දීම , වෘත්තීය අධ්‍යාපනඥයන්ගේ සේවය බහුතරයට ලබාදීම යන්නයි. මෙම යෝජනා කොවිඩ් 19 හමුවේ අප මුහුණ දෙන අභියෝගවලට යෝග්‍ය ප්‍රමාණවත් විසඳුමක් ලෙස ගෙන සාකච්ජා කළ හැකි ය.

නව සොයා ගැනීම්වලට වැඩි අවස්ථාවක්

learning : The treasure within (ඉගෙනුම : ඇතුළත නිධානයන්) නමින් 1998 දී යුනෙස්කෝව විසින් ඉදිරිපත් කළ 21 වන සියවස සඳහා වන අධ්‍යාපන වාර්තාවේ ඉගෙනීමට ඉගෙනීම, කිරීමට ඉගෙනීම, එක්ව ජීවත්වීමට ඉගෙනීම, දිවි පැවැත්මට ඉගෙනීම යනුවෙන් අරමුණු හරතක් දක්වා තිබේ. දැනුම සොයා ගත හැකි අධ්‍යාපන මුලාශ්‍ර සපයා දුන් කල්හි හා ඒ දැනුම සොයා ගත හැකි ආකාරය හඳුන්වා දීමෙන් සිසුන්ට තමන්ට අවශ්‍ය දැනුම අවශ්‍ය අවස්ථාවලදී සොයා ගත හැකි ය. පාසල්වල උගන්වන විෂය මාලාව විවේචනයට ලක් කළ අධ්‍යාපනඥයින් පවසනුයේ වර්තමානයේදී ළමයින් ඉගෙන ගන්නේ යල්පැනගිය දැනුම බවයි. මේ නිසා ගුරුවරුන් විසින් ළමයින්ට උගන්වන දෙයට වඩා ළමයා ඉගෙන ගැනීමට ආශා කරන දෑ ඉගැන්වීම වඩාත් වැදගත් ය. මේ ගැන කරුණු පැහැදිලි කරන පෝල් ගුඩ්මන් විද්වතා පවසනුයේ ශිෂ්‍යයන්ට අවුරුදු 12 වන තෙක් සූදානම් කළ විෂය මාලාවක් අනුව විදිමත් විෂයයන් ඉගැන්වීම අවශ්‍ය නොවන බවයි. මුලික අට අවුරුදු පාඨමාලාවේ ප්‍රයෝජන වේනම් එය අවුරුදු 12 හැවිරිදි සිසුවකුට මාස 04 කින් පමණ ඉගෙන ගත හැකි බවය. මේ නිසා ළමයින්ට අවශ්‍ය මූලික කරුණු ඉගැන්වීමටත් පසු කලෙක අවශ්‍ය කවර හෝ කරුණු ඉගෙනීමට අවශ්‍ය මූලික කුසලතා ලබා දීම අවශ්‍යතාවයකට වඩා එලදායී වේ. කොවිඩ් 19 හමුවේදී අප උත්සාහ කළ යුත්තේ දැනුම සුලභ කිරීම ය. තමාගේ විෂයට අදාළ කරුණු , නව දැනුම පහසුවෙන් ලබා ගත හැකි ක්‍රමවේද සොයා ගැනීමට දරුවන්ට කියා දිය යුතු ය. ඊට අමතරව අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානවල සේවය පුළුල් කිරීම ද වඩාත් වැදගත් වේ.

සෑම දරුවකුටම සමාන පහසුකම්

දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ දක්ෂතා, නව සොයා ගැනීම් හුවමාරු කිරීමට, සමාජයට ගෙන ඒම සඳහා ප්‍රදර්ශනාගාර අවස්ථා බහුල කළ යුතු ය. කොවිඩ් ගැටලුව හමුවේ ලංකාවේ පාසල් සිසුන්ගේ නව නිර්මාණ රැසක්ම අපට දැක ගත හැකි විය. එවැනි අවස්ථා තවදුරටත් සංවිධානාත්මකව පුළුල් කළ යුතු ය. දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ එම නිර්මාණ සකස් කිරීමට අවශ්‍ය උපකරණ හා පහසුකම් සපයා දීම, ගැටලු පැමිණි විට ඒවා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම,නව ප්‍රදර්ශනාගාර ඉදි කිරීම හා ඒවා වැඩිදියුණු කිරීමට උදව් කිරීම ද අධ්‍යාපන ක්‍රියාවලිය සංවර්ධනය කර ගැනීම සඳහා සිදු කළ හැකි ය. මහාචාර්ය ගාඩ්නර් ඉදිරිපත් කළ “බහුවිධ බුද්ධි න්‍යාය“ වැනි සංකල්පය ප්‍රයෝජනයට ගනිමින් සිසුන්ට තම තමන්ගේ දක්ෂතා ඔස්සේ ඉදිරියට යාමට ඇති බාධක ඉවත් කිරීම කළ හැකි මෙන්ම ඉවත් කළ යුතුව පවතී. 

ඈත ගම්මාන ආශ්‍රිතව ජීවත්වන සිසුන්ට ද වෘත්තීය අධ්‍යාපනඥයින්ගෙන් ඉගෙනීමට ක්‍රම ශිල්ප සකස් කළ යුතු ය. විශේෂඥ වෘත්තීය අධ්‍යාපනඥයන්ගේ දැනුම හා කුසලතා ප්‍රමිතිගත කළ ඉගෙනුම් මාධ්‍ය ( රූපවාහිනී, අන්තර්ජාල පහසුකම් ) සෑම පාසලකටම , සෑම ප්‍රදේශයකම තිබෙන අධ්‍යාපන මධ්‍යස්ථානයකට ලබා දීමට කටයුතු සැලැස්විය යුතු ය. ලංකාවේ සෑම කුඩා පාසලකටම නවීන අධ්‍යාපන උපකරණ ලබා දීම වර්තමානයේ එතරම් අසීරු නැත. ඈත දුෂ්කර පළාත්වල පාසල්වලට විද්‍යුත් උපකරණ කීපයක් හා නව ඉගෙනුම් මෙවලම් කීපයක් ලබා දී ඒ සඳහා ගුරුවරයකුගේ පුහුණුව ලබා දීමෙන් විශේෂඥ වෘත්තීය අධ්‍යාපනඥයන්ගේ සේවය ලබා දීමට පුළුවන. මෙවැනි දෑ මනංකල්පිත දෑ නොවේ. ශ්‍රී ලංකාව තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් ලබා දීම ද අසීරු නැත. ලංකාවේ සෑම පාසලකටම සමාන පහසුකම් ලබා දීම ද කළ යුතු ය. තව ද කොවිඩ් - 19 හමුවේ ජීවත්වීමේදී දරුවන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කරලීමට පෞරුෂ වර්ධන වැඩසටහන් පැවැත්වීම කළ යුතු ය. ධනාත්මක චින්තනයෙන් යුතුව සුබවාදීව ලෝකයට මුහුණ දිය හැකි , අභියෝග හමුවේ නොසැළී සිටින දරුවන් නිර්මාණය කිරීමට මව්පියන් සහ ගුරුවරුන් ඇතුළු සමස්ත වැඩිහිටි ප්‍රජාවම අවධානය යොමු කළ යුතු ය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය විදේශ රටවල අධ්‍යාපන ක්‍රමවේද අාකාරයෙන්ම වෙනස් කිරීම අසීරු වුව ද , දුෂ්කර ග්‍රාමීය පාසල්වල දරුවන්ට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් හෝ ලබා දීමට පියවර ගැනීම රජයේ වගකීමකි. කොවිඩ් වසංගතය හෝ වෙනයම් තත්ත්වයකදී වුව ද තාක්ෂණය භාවිත කරමින් පාසල් නොගොස් නිවෙසේ සිට අධ්‍යාපන කටයුතු කිරීමට කොළඹ නාගරික, ඇති හැකි දරුවන්ට හැකියාව ලැබේ. එහෙත් ග්‍රාමීය දුප්පත් දරුවන්ට ඉගෙන ගැනීමට දක්ෂතාවය තිබුණ ද පවතින සම්ප්‍රදායෙන් තොරව තාක්ෂණය තුළින් අධ්‍යාපන කටයුතුවල යෙදීම අසීරු කාර්යයක් වී ඇත. ඒ හේතුවෙන් සම්ප්‍රදායෙන් බැහැරව තාක්ෂණය යොදා ගනිමින් සෑම දරුවකුටම එක හා සමානව ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දීම පිළිබඳව රජයේ සියලු බලධාරීන්ගේ අවධානය යොමු වීම වඩාත් වැදගත් වේ.

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න