පස් අවුරුදු පාලන කාල සීමාව ප්‍රථම වරට නිරුපද්‍රිතව ගෙවා දැමීමට සමත් වූයේ 1965 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවයි. විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඇතුළු ශ්‍රීලනිපය සමඟ ලංකා සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ මන්ත්‍රීවරු එදා ප්‍රබල විපක්ෂයක් ලෙස ක්‍රියා කළහ. එනමුත් 1970 වන විට මෙරට ලියාපදිංචි රැකියා විරහිත තරුණ තරුණියන් සංඛ්‍යාව 7.50,000 ඉක්මවා තිබිණි.
1967 දී පමණ විපක්ෂයේ සිටි දැවැන්තයෝ 1970 පැවත්වෙන මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ අභිලාෂයෙන් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටියහ. ඒ අතරේ ශ්‍රීලනිප, සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ තුනේ මන්ත්‍රිවරු එකිනෙකා රහසිගතව හමුවෙමින් විවිධාකාර කුමන්ත්‍රණවලද නිරත වූහ.
වරක් අප්‍රේල් නිවාඩු සමයේදී ශ්‍රීලනිප සහ සමසමාජ පක්ෂ දෙකේ මන්ත්‍රීවරු නුවරඑළියේදී රහසිගතව හමු වූහ. ඒ අතරින් ඇතැමෙක් ‘හවුලක්’ ගැන කතා කළහ. සමහරු ඊට විරුද්ධත්වයක් දැක්වූහ. තවත් සමහරු ඒ පිළිබඳ තර්ක කළහ. එහිදී බණ්ඩාරනායක මැතිනියගේ අදහස වූයේ කොමියුනිස්ට් පක්ෂය ‘හවුලට’ ගාවා නොගත යුතු බවයි. එහෙත් පිලිප් ගුණවර්ධන හවුල් කර ගනිමු යැයි ටී.බී. ඉලංගරත්න කීය. බද්උද්දීන් මහමුද් කීවේ ෆීලික්ස් සහ විවියන් තල්ලු කර දැමිය යුතු බවයි. ඒ අවස්ථාවේ විවියන් ගුණවර්ධන මහත්මිය තදින්ම පැවැසුවේ සී.පීද සිල්වා, මෛත්‍රීපාල සේනානායක, පී.බී.ජී. කළුගල්ල, ඒ.පී.ජයසූරිය, මයිකල් සිරිවර්ධන යන අයද තල්ලු කර දමන්න ඕනෑ බවය.
සමසමාජ මන්ත්‍රී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මේ කෝලාහලයට කන් දුන්නා මිස කටක් ඇරියේ නැත. ඒ මීට පෙර වතාවක අගමැති බණ්ඩාරනායක පිළිබඳ කතාවකට මැතිනිය ඇන්.ඇම්. පෙරේරාට වාග් ප්‍රහාරයක් එල්ල කර තිබීමය. හවුලක් පිළිබඳ මතිමතාන්තර එසේ විමංසනයට බඳුන් වෙද්දී අගමැති ඩඩ්ලි සේනානායක ද දිනක් නුවරඑළියට පැමිණ ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වූයේය.
ඒ අවස්ථාවේ විපක්ෂයේ සිටි මැති ඇමැතිවරුන් පිරිසක් ඩඩ්ලිට එකතුවීමට යන්නේ යැයි කතාවක් පැතිර ගිය බැවින් ඒ ගැන සැකයෙන් පසුවූ පිරිසක් ඩඩ්ලිගේ ගමන් බිමන් හා ඔහු සමඟ කතාබස් කරන අය ගැන විමසිල්ලෙන් හසුවූහ. උත්තර මන්ත්‍රී චන්ද්‍රා ගුණසේකර මහතාට අවශ්‍ය වූයේ කාරක සභා උප සභාපති අයි.ඒ. කාදර් මහතා ඩඩ්ලි හමුවෙනවාදැයි සොයා බැලීමටය.
ස්ටැන්ලි තිලකරත්න, නීල් ද අල්විස්, චන්ද්‍රා ගුණසේකර, ඩොරික් ද සුසා මන්ත්‍රීවරුන් මහන්සි ගත්තේ කුමන ගැටලු තිබුණත් පිලිප් ඇතුළු කොමියුනිස්ට් පක්ෂය හවුලට බිලි බා ගැනීමටය. කෙසේ හෝ වේවා මේ මතවාද, සංවාද, කුමන්ත්‍රණ සැක සංකා, රහසිගත සොයා ගැනීම් අවසානය දුටුවේ 1968 ජුනි 5 වැනිදා ශ්‍රීලනිප, සමසමාජ හා ලංකා කොමියුනිස්ට් පක්ෂ තුන එකතුවී පොදු සම්මුතියකට අත්සන් තැබීමෙනි. ශ්‍රීලනිපය වෙනුවෙන් විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනියත්, සමසමාජ පක්ෂය වෙනුවෙන් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාත්, කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාත් එම සම්මුතියට අත්සන් තැබූහ. එය “පොදු පෙරමුණේ” උපත විය.1970 මාර්තු 25 වැනිදා හයවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි. එම මැයි 27 වැනිදාට මහ මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කෙරිණි. පිළිගත් දේශපාලන පක්ෂ 9ක්තරග බිමට පිවිස සිටියහ.
ශ්‍රීලනිපය (අත), එජාපය (අලියා), ලංකා සමසමාජ පක්ෂය (යතුර), ලංකා කොමියුනිස්ට් පක්ෂය (තරුව), ෆෙඩරල් පක්ෂය (ගෙය), ද්‍රවිඩ සංගමය (බයිසිකලය), ජාතික විමුක්ති පෙරමුණ (අහස් යානය), මහජන එක්සත් පෙරමුණ (රෝදය) සහ සිංහල මහජන පක්ෂයයි. පක්ෂ 9ක් මැතිවරණයට තරග වැදුණත් සටන තිබණේ සමඟි පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතරය.
1970 අලුත් අවුරැද්ද, වෙසක් පෝය සහ ලෝක කම්කරු දිනය එළැඹ තිබුණේද ඡන්ද ප්‍රචාරක කටයුතු සිදු කෙරෙන කාල සීමාවටය. සමඟි පෙරමුණටඑක්වූ පක්ෂ තුනේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සියලු දෙනාම පාහේ ප්‍රචාරක කටයුතුවලදී ජනතාවට වඩාත් සමීප වූහ. විශේෂයෙන්ම 1970 මැයි 01 වැනිදා කම්කරු දිනය ඉහළින්ම සැමරීමට මැතිනිය ප්‍රමුඛ සමඟි පෙරමුණ ජ්‍යෙෂ්ඨයෝ පෙළ ගැසුණහ. වමේ මැයි පෙළපාළි ඇරඹුණේ එදින පස්වරුවේ සුගතදාස ක්‍රීඩාංගණය අසලිනි. කොළඹින් පමණක් නොව ඒ අවට හා දුර බැහැරින්ද විශාල පිරිසක් වමේ මැයි පෙළපාළියට එක්ව සිටියහ.
එජාප පාක්ෂිකයන්, වමේ පෙළපාළියට මැර ප්‍රහාර එල්ල කරන බවට කට කතාවක් පතුරුවා හරින බවත්, ඊට බිය නොවන ලෙසත්, ඕනෑම තත්ත්වයක් යටතේ වාමාංශික පක්ෂවල මැයි පෙළපාළිය පවත්වන බවත් අලවි මවුලානා ප්‍රමුඛ වෘත්තීය සමිති හා කම්කරු නායකයන් ශබ්ද විකාශන මගින් පවසනු අසන්නට ලැබිණි.
එදින දහවල් 1.00ට සුගතදාස ක්‍රීඩාංගණය අසලින් ඇරඹුණු පෙළපාළිය කොළඹ නගර සභා ක්‍රීඩාංගණය දක්වා ගමන් කරවීමට කටයුතු යොදා තිබිණි. පෙළපාළියේ මුල් කොටස නගර සභා පිටියට පිවිසෙන විටත් එහි කෙළවර සුගතදාස ක්‍රීඩාංගණය අසලය. සහභාගි වූ පිරිස එතරම් විශාල විය.
මේ අතිවිශාල සෙනඟ දැකීමෙන්, පැවති එජාප ආණ්ඩුවේ බොහෝ ප්‍රබලයෝ කලබලයට පත්ව සිටියහ. බණ්ඩාරනායක මැතිනිය, කොල්වින් ආර්.ද සිල්වා, ඇන්.ඇම්.පෙරේරා, ටී.බී. ඉලංගරත්න, මෛත්‍රීපාල සේනානායක, ඒ.පී. ජයසූරිය මහත්වරුන් හා විවියන් ගුණවර්ධන මහත්මිය ඇතුළු පිරිසක්මැයි පෙළපාළිය ඉදිරියෙන්ම ගමන් කරමින් නගර සභා පිටියේ වේදිකාවට අවතීර්ණ වූයේ ජනඝෝෂා මධ්‍යයේය.
එදින මැයි රැලිය ඇමතූ ඉහත සියලු කථිකයන්ට ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ, පීටර් කෙනමන්, ඩී.ජී. විලියම්, එල්.ඩබ්. පණ්ඩිත වැනි වෘත්තීය සමිති නායකයන්ගේ චතුර කතා පසුදා අලුයම 01.00 පමණ වනතුරුම නගර සභා පිටියේ රැව් දුන්නේය.
මැයි 27 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේදී සමඟි පෙරමුණ විසින් නව ආණ්ඩුවක් පිහිටුවන බවට වාමාංශික දේශපාලන පක්ෂ නායකයන්ට පමණක් නොව අන් දේශපාලන පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට ද ඒත්තු ගැන්වුණේ එදාය.
1970 මැයි 27 දා මහ මැතිවරණය සාමකාමීව එහෙත් උද්‍යෝගිමත්ව පැවැත්විණි. එදින මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ශ්‍රීලනිප, සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ හවුල් වූ “සමඟි පෙරමුණට” විශාල ජයක් අත්පත් වෙමින් පැවතිණි.
පසුදින වන විට සමඟි පෙරමුණෙන් ශ්‍රීලනිපයට තරග කළ ආසන 106න් ආසන 90කටම මන්ත්‍රීවරුන් තේරී පත්ව සිටියහ. ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කළ ආසන 23න් 19ක්ම ජයගෙන තිබිණි. කොමියුනිස්ට් පක්ෂය තරග කළ ආසන 9න් 6ක්ම දිනාගෙන තිබිණි.
අත්තනගල්ල අසුනට තරග කළ සිරිමා ආර්. ඩී.බණ්ඩාරනායක මැතිනිය ඡන්ද 31612ක් ලබා ජයගෙන සිටි අතර ඇගේ ප්‍රතිවාදියා වූ එජාපයේ ජේ.ආර්.පී.සූරියප්පෙරුම මහතාට ලබා ගත හැකිව තිබුණේ ඡන්ද 9889 කි. ඇය ජයගෙන තිබුණේ වැඩි ඡන්ද21723 කිනි.
ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා දොම්පේ අසුන දිනා තිබුණේ වැඩි ඡන්ද 22373කිනි. ලංකා සමසමාජ පක්ෂයෙන් ඡන්දය ඉල්ලා ජයගත් මන්ත්‍රීවරුන් 19 දෙනා මෙසේය.
කුසලා අබේවර්ධන මිය (බොරැල්ල) , බර්නාඩ් සොයිසා (දකුණු කොළඹ), විල්ෆ්‍රඩ් සේනානායක (හෝමාගම), චින්ද්‍රා ගුණසේකර (කොට්ටාව), විමලසිරි ද මැල් (මොරටුව), විවියන් ගුණවර්ධන (දෙහිවල - ගල්කිස්ස), මංගල මුණසිංහ (බුලත්සිංහල), ලෙස්ලි ගුණවර්ධන (පානදුර) , චම්ලි ගුණවර්ධන (කළුතර), කොල්වින් ආර්. ද සිල්වා (අගලවත්ත), නීල් ද අල්විස් (බද්දේගම), එල්.සී.ද සිල්වා (අම්බලන්ගොඩ), වීරසිංහ ද සිල්වා (බලපිටිය), සුමනපාල දහනායක (දෙනියාය), ඩී.පී.ආර්.වීරසේකර (දෙහිඕවිට), අතාවුද සෙනෙවිරත්න (රුවන්වැල්ල), ඇන්.ඇම්.පෙරේරා (යටියන්තොට), වාසුදේව නානායක්කාර (කිරිඇල්ල) සහ ඕ.පී. විමලනාග (කොලොන්න)
සමඟි පෙරමුණට එක්වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ජය ගත් හය දෙනා මෙසේය. පීටර් කෙනමන් (මැද කොළඹ), එම්.ජී. මෙන්ඩිස් (රත්ගම), දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ (අකුරැස්ස), ඊලියන් නානායක්කාර (කඹුරුපිටිය), බී.වයි. තුඩාවේ (මාතර) සහ සරත් මුත්තෙට්ටුවේගම (කලවාන) යන මහත්වරු.
කතානායකව සිටි ෂර්ලි කොරයා, ෆෙඩරල් පක්ෂ නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් (වඩුක්කොඩෙයි), එම පක්ෂයේ ලේකම් ඊ.එම්.වී.නාගනාදන් (නල්ලූර්), ද්‍රවිඩ සංගමයේ නායක ජී.ජී. පොන්නම්බලම් (යාපනය), ආදීහු පරාජය වූ පක්ෂ නායකයන් අතර වූහ.
ඇදිගම අසුනින් තරග වැදුණු අගමැති ඩඩ්ලි සේනානායක මහතා පරාජයෙන් යාන්තමින් ගැලවුණේ වැඩි ඡන්ද 1067 කිනි. ආසන 90ක් දිනාගත් බැවින් වාමාංශික පක්ෂ නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රීලනිප ප්‍රබලයකු සමඟි පෙරමුණට යෝජනා කළත් බණ්ඩාරනායක මැතිනිය එම යෝජනාව ප්‍රතික්ෂේප කළාය.
1970 මැයි 29 වැනිදා සිරිමා බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය වශයෙන් (දෙවන වරට) අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. සමඟි පෙරමුණ ආණ්ඩුව බලයට පත්වීම නිමිත්තෙන් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණි. එම මැයි 31 වැනිදා අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියේ 21 දෙනකුගෙන් යුතු සමඟි පෙරමුණ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නේය. අගමැතිනිය, රාජ්‍යාරක්ෂක හා විදේශ කටයුතු පිළිබඳ ඇමැති සහ ක්‍රම සම්පාදන හා රැකිරක්ෂා ඇමැති වශයෙන් දිවුරුම් දුන්නාය. එදින දිවුරුම් දුන් කැබිනට් ඇමැතිවරුු මෙසේය.
වාරිමාර්ග, විදුලිබල හා මහාමාර්ග ඇමැති මෛත්‍රීපාල සේනානායක මහතා, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ස්වදේශ කටයුතු ඇමැති ෆීලික්ස් ආර්.ඩී.බණ්ඩාරනායක මහතා, විදේශ කටයුතු හා දේශීය වෙළෙඳ ඇමැති ටී.බී. ඉලංගරත්න මහතා, අධ්‍යාපන ඇමැති බද්උද්දින් මහමුද් මහතා, නැව් කටයුතු හා සංචාරක කටයුතු ඇමැති පී.බී.ජී. කලුගල්ල මහතා, මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා, අධිකරණ ඇමැති, සෙනෙට් මන්ත්‍රී ජේ.එම්.ජයමාන්න මහතා, කෘෂිකර්ම හා ඉඩම් ඇමැති හෙක්ටර් කොබ්බෑකඩුව මහතා, පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමැති කේ.බී. රත්නායක මහතා, කම්කරු ඇමැති එම්. පී. ද සොයිසා සිරිවර්ධන මහතා, කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැති ටී.බී.සුබසිංහ මහතා, ප්‍රවාහන ඇමැති ලෙස්ලි ගුණවර්ධන මහතා, ව්‍යවස්ථා සම්පාදන හා වැවිලි කටයුතු ඇමැති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා, නිවාස හා ගොඩනැඟිලි ඇමැති පීටර් කෙනමන් මහතා, සෞඛ්‍ය ඇමැති ඩබ්ලිව්.පී.ජී. ආරියදාස මහතා, සමාජ සේවා ඇමැති ටී.බී. තෙන්නකෝන් මහතා, තැපැල් හා විදුලි සංදේශ ඇමැති සෙනෙට් මන්ත්‍රී චෙල්ලයියා කුමාරසූරියර් මහතා, ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති ආර්.එස්.පෙරේරා මහතා, ධීවර ඇමැති ජෝර්ජ් රාජපක්ෂ මහතා සහ සංස්කෘතික ඇමැති එස්.ද එස්. කුලතිලක මහතා.
සමඟි පෙරමුණ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරුන් වශයෙන් 18 දෙනෙක්ද එදින දිවුරුම් දුන්හ. ලක්ෂ්මන් ජයකොඩි (රාජ්‍යාරක්ෂක හා විදේශ කටයුතු), රත්න දේශප්‍රිය සේනානායක (ක්‍රම සම්පාදන හා රැකීරක්ෂා), සෙනරත් සෝමරත්න (වාරිමාර්ග, විදුලිබල හා මහා මාර්ග), බී.වයි තුඩාවේ (අධ්‍යාපන), නීල් ද අල්විස් (රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ස්වදේශ කටයුතු), එස්.කේ.කේ. සූරියආරච්චි (කර්මාන්ත හා විද්‍යා කටයුතු), රත්නසිරි වික්‍රමනායක (අධිකරණ), ශිවා ඔබේසේකර (සෞඛ්‍ය), සෝමවීර චන්ද්‍රසිරි (සංස්කෘතික), ජී.ඩී.එච්. සිරිසේන (කම්කරු), පී.ආර්. රත්නායක (දේශීය හා විදේශීය වෙළෙඳ), ඩී.පී.වික්‍රමසිංහ (නැව් කටයුතු හා සංචාරක), ටී.බී.එම්. හේරත් (ප්‍රවාහන), ජී.ඩබ්ලිව්. සමරසිංහ (සමාජසේවා), වී.ටී.ජී. කරුණාරත්න (තැපැල් හා විදුලි සංදේශ), බී.එච්. බණ්ඩාර (නිවාස හා ගොඩනැගිලි), ඇල්බට් කාරියවසම් (වැවිලි කර්මාන්ත), ඒ.සී.ඒ. මජීඩ් (ප්‍රවෘත්ති හා ගුවන්විදුලි) යන මන්ත්‍රීවරු.
අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් හය දෙනකු පත් කළේය. සමඟි පෙරමුණ ආණ්ඩුවේ පළමු පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කෙරුණේ ජුනි 14 වැනිදාය. එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එදින සිට රජයේ සියලු රෝහල්වල නේවාසික රෝගීන්ට දෙවේලේටම නොමිලේ බත් සැපයිණි.
කෝට්ටේ අසුන ජයගත් ස්ටැන්ලි තිලකරත්න මහතා පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට තෝරා පත් කර ගැණිණි. නියෝජ්‍ය කනානායක ධුරයට පත් වූයේ බේරුවල මන්ත්‍රී අයි.ඒ. කාදර් මහතාය. අක්මීමන මන්ත්‍රී සේනපාල සමරසේකර මහතා කාරක සභා උප සභාපති ධුරයට පත් කර ගැණිණි.
සභානායක වූයේ මෛත්‍රීපාල සේනානායක මහතාය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කේ.බී. රත්නායක මහතා වූ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වූයේ ආර්. ප්‍රේමදාස මහතාය.
අගමැතිනියගේ ආරාධනයෙන් එම ජූලි 19 වැනිදා කොළඹ රාජකීය විදුහලේ නව රඟහලට පැමිණි මන්ත්‍රීවරු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කර ගැනීම සඳහා “සම්පාදක මණ්ඩලයක්” ලෙස රැස් වූහ. නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ඔවුහු එහිදී පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස සාකච්ඡා කළහ. සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට රටේ ස්වෛරීභාවය තහවුරු වන අයුරින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට සමඟි පෙරමුණ සිය මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කර තිබිණි. ෆෙඩරල් පක්ෂය කරුණු 6ක සැලසුමක් මෙම සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළද ඒවා සලකා බැලීම ප්‍රතික්ෂේප කළ බැවින් එම පක්ෂ නියෝජිතයෝ සභාවෙන් ඉවත්ව ගියහ.
ඉන් දෙවසරකට පමණ පසු 1972 දී චෙල්වනායගම් ප්‍රමුඛ ෆෙඩරල් පක්ෂය ත්‍රිකුණාමලයේදී රැස්වී තවත් ද්‍රවිඩ සංගම් සහ සංවිධාන සමඟ එක්වී ද්‍රවිඩ එක්සත් පෙරමුණ පිහිටුවා ගත්හ.
ඉන් සතියකට පසු 1972 මැයි 22 වැනිදා කොළඹ නව නගර ශාලාවේ නිල උත්සවයක් පැවැත්විණි. ඒ සමඟි පෙරමුණ ආණ්ඩුව මඟින් නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම නිමිත්තෙනි. ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමත් සමඟම එතෙක් ලංකාව නමින් හැඳින්වූ මෙරට, ශ්‍රී ලංකා ජනරජය බවට පත්වූ අතර බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන්වූ නිදහස්, ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට පත්විය.
එතෙක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙසින් හැඳින්වූ පාර්ලිමේන්තුව එදින සිට ජාතික රාජ්‍ය සභාව බවට පත්විය. සියවසකටත් වඩා වැඩි කාලයක් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ ‘පත් කළ මන්ත්‍රීවරුන්ට’ හිමි නියෝජනය ද මේ නව ව්‍යවස්ථාවෙන් ඉවත් කෙරිණි.
සෝල්බරි ව්‍යවස්ථාවට අනුව 1947 දී ඇරඹූ උත්තර මන්ත්‍රි මණ්ඩලය (සෙනෙට් සභාව) 1971 ඔක්තෝබර් 01 දා සිට අහෝසි කෙරිණි. සමඟි පෙරමුණ ආණ්ඩුවේ සුවිශේෂ ජයග්‍රහණයක් සටහන් කළ ජනරජ දිනය වෙනුවෙන්ද රජය සමරු මුද්දරයක් නිකුත් කළේය.
ජනරජ ව්‍යවස්ථාවට විරෝධය පළ කළ දෙමළ දේශපාලන පක්ෂ උතුරු සහ නැගෙනහිර පළාත්වල එදින කළු කොඩි එසැවූහ. ඉන් මාස කිහිපයකට පසු ෆෙඩරල් පක්ෂ නායක එස්.ජේ.වී.චෙල්වනායගම් මහතා ඔක්තෝබර් 02 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ගියේය. (එනමුත් මාස 17ක් යනතුරු ‘හදිසි නීතිය’ නිසා ඔහු නියෝජනය කළ කන්කසන්තුරේ අසුනට අතුරු මැතිවරණයක් පැවැත්වීමට නොහැකි විය. ඒ අසුනට අතුරු මැතිවරණයක් පැවැත්වූයේ 1975 පෙබරවාරි 06 වැනිදාය.)
සමඟි පෙරමුණ ආණ්ඩුව පිහිටුවා අවුරුද්දක් ගත වීමටත් පෙර මැතිනිය ප්‍රමුඛ රජයට බරපතළ අභියෝග රාශියකට මුහුණ දෙන්නට සිදු විය.
බන්ධුල ගුණරත්න
නව අදහස දක්වන්න