ගෙනා ආයුෂ අවසාන නම් පිරිත් කියලා වැඩක් නෑ | දිනමිණ

ගෙනා ආයුෂ අවසාන නම් පිරිත් කියලා වැඩක් නෑ

ශාස්ත්‍රපති හොරණ ජිනානන්ද හිමි හොරණ ධම්මරතන  මූලික පිරිවෙනෙහි  පරිවේණාධිපති, හොරණ රාජ මහා විහාර භාරකාර

අප, වෙදකම වගේම හෙදකම කෙරෙහි ද විශ්වාසය තබනවා. අපට සිරිත් විරිත් වගේම වත් පිළිවෙත් තිබෙනවා.  වසංගත රෝගයක් හැදුණම කළ යුතු, නොකළ යුතු දේ තිබෙනවා.  අද අප එයට කියන්නේ ‘නිරෝධායනය’  කියලයි.

මුළු ලෝකයේම ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මරණයට පත් කරමින්, තවත් මිලියන ගණනක් රෝගී භාවයට පත් කරමින්, කොවිඩ් 19 වයිරසය මේ වන විට වසංගතයක් බවට පත්ව ඇත. එවන් තත්ත්වයක් තුළ, වැළකී සිටීමේ සහ ආරක්ෂා වී සිටීමේ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ, හොරණ ධම්මරතන මූලික පිරිවෙනෙහි පරිවේණාධිපති, හොරණ රාජ මහා විහාර භාරකාර, ආචාර්ය හොරණ වජිරඥාන බෞද්ධ මධ්‍යස්ථානාධිපති, හොරණ ජිනානන්ද හිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ.

l වසංගත තත්ත්වයකදී අප කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ආගමානුකූලව පැහැදිලි කළොත්?

වර්තමානය වන විට මුළු ලෝකයම එකම රෝහලක්, එකම සුසාන භූමියක් බවට පත් වෙලා. ඒ, කොවිඩ් වසංගතය නිසයි. මේ වයිරසය මානව නිෂ්පාදනයක් ද? නැතිනම් ස්වභාවිකව හටගත්තක් ද? යන්න පිළිබඳ විවිධාකාරයේ කතාබස් අහන්න, දකින්න ලැබෙනවා. මෙවැනි අවස්ථාවක, මේ තත්ත්වය පාලනය කිරීම සඳහා බෞද්ධයන්ට තිබෙන එකම පිහිට, සරණ, තුනුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනය කිරීම විතරයි.

 

l එහිදී, එම පිහිට ලැබිය හැක්කේ කෙසේ ද?

බෞද්ධයන්ගේ පිහිටට එන වැදගත්ම සූත්‍ර දේශනාවක් විදිහට අපට රතන සූත්‍ර දේශනාව දක්වන්න පුළුවන්. අප හැම විටෙකම සලකන්නේ, “නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ මේ සරණං වරං“ (ධම්මෝ මේ සරණං වරං, සංඝෝ මේ සරණං වරං) යනුවෙනුයි. එහි අදහස වෙන්නේ, “බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණ හැර අන් සරණක් නැහැ“ කියන එකයි. එහෙම කටයුතු කරන්න හේතු වුණේ, ශ්‍රද්ධාව මත පදනම් වූ විශ්වාසයයි. අපගේ දුකේදි, සැපේදි, අවමඟුලකදි, මංගල කටයුත්තකදි ආදී සෑම අවස්ථාවකදීම අප පුරුදු වෙලා තිබෙන්නේ, පිරිත් දේශනා කරලා ආශිර්වාද ලබා ගැනීමටයි. ඒ ඒ අවස්ථාවලට ගැළපෙන ආකාරයට සූත්‍ර ධර්ම දේශනා කර ගන්න පුරුදු වෙලා තිබෙනවා. කරදරයක්, බියක් දැනුණුවිට ඉබේටම වගේ ඉතිපිසෝ ගාථාව කියැවෙන්නේ නිතැතින්මයි. ඒ වගේම, බියක් දැනුණු විට “සබ්බ පාපස්ස අකරණං “ ගාථාව කීමට අප පුරුදුව සිටිනවා. එම ගාථා කියමින්, අදාළ පුද්ගලයාගේ හිස අතගෑමට කටයුතු කරනවා. මේ වගේ දේ, ජන හදවත්වලට කාවැදිලයි තිබෙන්නේ. කවුරුන් හෝ බියට පත් වූ විට, පන්සලට කැඳවාගෙන ගොස් බෝධි පූජාවක් තබලා, පිරිත් දේශනා කරලා, පිරිත් නූලක් ගැටගසා ආශිර්වාද කර ගැනීම, අපේ ජන සමාජය තුළ සිදුවන දෙයක්. මේ වගේ කටයුතුවල නිරත වීම, ගැමි ජන හදවත්වලට කා වැදිලා තිබෙන්නේ. මේ ආකාරයට ආශිර්වාද කරවා ගැනීම බෞද්ධ, අබෞද්ධ භේදයක් නැතිව සිදුවන්නක්.

 

l වසංගත තත්ත්වයකදී, රතන සූත්‍ර දේශනාවේ පිහිට ලැබිය හැක්කේ කෙසේ ද?

බුද්ධ කාලයේ විශාලා මහනුවර ඇති වූ අහිවාත නමැති රෝගය දුරු කරවා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ උපදෙස් ඇතිව, ආනන්ද හාමුදුරුවන් වහන්සේ විසින් පිරිත් පැන් ඉසිමින්, වසංගත තත්ත්වය දුරු වීම සඳහා පිරිත් පැන් ඉස ආශිර්වාද කළ බව, අප කවුරුත් දන්නා කරුණක්. ‘පිරිත‘ කියන්නේ ආරක්ෂාවයි. එය, සත්ත්වයාට පැමිණෙන උවදුරු, අනතුරු වළක්වාලන, සියලු ආකාරයේ ආරක්ෂාව සලස්වන දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්. බුද්ධ කාලයේ ඉඳන්ම බෞද්ධයාගේ ආරක්ෂාව පිණිස පිරිත් දේශනා කර තිබෙනවා. පිරිත මඟින්, කායික වගේම මානසික රෝග සුව කර ගන්න පුළුවන්.

 

l මුල් වරට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් පැතිර ගිය අවස්ථාවේ දී සමහරු කිව්වේ, රතන සූත්‍රය සජ්ඣායනා කරලා ලෙඩ හොඳ කරන්න පුළුවන් නම්, වෛද්‍යවරු ඕනෑ නෑ වගේ අදහස්. ඒ වගේම සමහරු කිව්වෙ, රතන සූත්‍රයේ පිහිට තිබෙනවා නම්, රෝගීන් මිය යන්නේ නැති බවයි. මෙබඳු අදහස් පළ කළේ අන්‍යාගමිකයො නෙවෙයි, බෞද්ධයො. මේ වගේ වැරැදි මතවල සිටින අය, ඔබ වහන්සේ නිවැරැදි කරන්නෙ කොහොම ද?

ආයුෂ අවසන් වුණාට පස්සේ, පිරිත මඟින් ආයුෂ දීර්ඝ කර ගැනීමට හැකියාවක් නැහැ. වසංගත තත්ත්වයකදී, කරදර විපත්තියකදී පිරිත් දේශනා කරන්න කියලා කිව්වහම, පිරිතට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ද? කියලා සමහරු කල්පනා කරනවා. පිරිත් කියලා ලෙඩ සුව කරන්න පුළුවන් නම්, බෙහෙත් කරන්න ඕනෑ නැහැ කියලා වැරැදි කෝණයකින් බලන, විවේචන එල්ල කරන අයත් ඉන්නවා. ඒ වගේ අයට කියන්න තියෙන්නේ, පිරිත මඟින් ආයුෂ දීර්ඝ කරන්න බැරි වුණාට, කායික හා මානසික රෝග දෙක සුව කර ගන්න හැකි බවයි. කොවිඩ් කියන්නෙත් කායික රෝගයක්. එය වැලඳුණහම මානසික වශයෙනුත් අප රෝගි වෙනවා. ඒ නිසා, මේ වගේ වසංගත තත්ත්වයකදි අපට, රතන සූත්‍රයේ පිහිට ලබන්න පුළුවන්.

අප, වෙදකම වගේම හෙදකම කෙරෙහි විශ්වාසය තබනවා. අපට, සිරිත් විරිත් වගේම වත් පිළිවෙත් තිබෙනවා. වසංගත රෝගයක් හැදුණහම කළ යුතු, නොකළ යුතු දේ තිබෙනවා. අද අප එයට කියන්නේ ‘නිරෝධායනය‘ කියලයි. අතීතයේදී, නිරෝධායනය යන වචනය භාවිත නොවුණට, බෝවන රෝග පීඩා ඇති වුණහම, ඉන් වැළකීම සඳහා තමන් කළ යුතු සහ නොකළයුතු දේ, එනම් චාරිත්‍ර වාරිත්‍ර තිබුණා. වැළකිය යුතු දේවලින් මිදිලා, ආගමානුකූලව කළ යුතු දේ කරන කොට, නොකළ යුතු දේ අත් හරින කොට, අපට කායික, මානසික සුවතාවක් ලබා ගන්න පුළුවන්. පුද්ගලයාට මානසික සුවතාව ඇති වුණේ නැත්නම්, කායික සුවතාව ලබන්න බැරි වෙනවා. අපගේ ප්‍රතිශක්තිකරණය ගැන සැලකිලිමත් වෙන කොට, කායික වගේම මානසික ප්‍රතිශක්තිකරණය ලැබෙනවා. සුදුසු ආහාර ගැනීම මඟින් කායික ප්‍රතිශක්තිකරණය ලැබෙනවා වගේම, මානසික ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම සඳහා හෙදකම, නැත්නම් ආගම දහමට අනුව කරන වත්පිළිවෙත් වැදගත්. ඒ නිසා, බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයේ ඇතිවූ අහිවාතක රෝගය සමනයට රතන සූත්‍රය පිහිට කර ගත්තා වගේ, අද අපට මේ වසංගත තත්ත්වයේදී රතන සූත්‍රයේ පිහිට ලබන්න පුළුවන්.

 

l මිනිසුන් මේ වගේ විවිධ කතා කියන්නේ, බෞද්ධ සූත්‍ර දේශනාවල වටිනාකම නොදන්නා නිසා නේද?

අප ඉපැදුණු දා ඉඳන්ම ආගමේ පිහිට, සරණ ලබන්න පුරුදුවෙලා සිටින්නෙ. නිවෙස් ඉදිරිපිට‘මේ නිවෙසට බුදු සරණයි‘ කියා සඳහන් වූ ප්‍රකාශ සටහන් කර තිබෙනවා. දරුවෙක් ලැබෙන්න සිටිද්දි, අසනීප වුණහම, මරණාසන්නව සිටිද්දි පිරිත් දේශනා කර ගන්නවා. හඳහන බලලා ගිහින් බෝධි පූජා පවත්වනවා. වෙනත් විවිධ දේ සඳහා බාරහාර වෙන්නේ, බුදුන්ට දෙවියන්ට. එහෙම කරන ගමන්, සමාජයේ ඉලිප්පිලා පේන්න ඕන වුණහම, මේ වගේ දේ වැඩක් නෑ කියනවා. සමාජ මාධ්‍ය හරහා ඒවා පළ කරනවා. කියන්නන් වාලේ රතන සූත්‍රය කියවාගෙන ගියාට, නිවෙසේ මහ හයියෙන් පිරිත් දාලා තිබුණට, ඒ මඟින් නිසි ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. රතන සූත්‍රයට කියන්නේ, ‘රුවන් සූත්‍රය‘ කියලයි. මෙහි තිබෙන්නේ දෙවි කෙනකුගේ හෝ වෙනත් නොපෙනෙන බලවේගයක හෝ ගුණයක් නෙවෙයි. බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවනේ සත්‍යයි. එහි අවසානයට කියැවෙන්නේ, “ඒතේන සච්චේන සුවත්ථි හෝතු“ මේ සත්‍ය බලයෙන් යහපතක්ම වේවා කියලයි. රතන සූත්‍රය දිනපතාම වගේ බොහෝ දෙනා සජ්ඣායනා කරනවා. නිතර දකින කුකුළගේ කරමලේ සුදුයි කියනවා වගේ, රතන සූත්‍රය දිනපතාම ඇහෙන නිසා, ඒකෙ වටිනාකමක් දැනෙන්නේ නෑ. මිනිසුන් උවදුරක දී සෙත් කවි කියනවා වගේ, බෞද්ධයන්ට තිබෙන වටිනාම සෙත් කවිය‘රතන සූත්‍රයයි‘.

 

l විද්යුත් මාධ්‍යය මඟින් ප්‍රචාරය වන පිරිත් දේශනා ශ්‍රවණය මඟින්, එම සූත්‍ර දේශනාවලින් නිසි පල ලබන්න පුළුවන් ද?

විද්‍යුත් මාධ්‍ය මඟින් රතන සූත්‍රය ප්‍රචාරය වෙන්න හැරලා, තමන් නිශ්ශබ්දව සිටියට, ඒ මඟින් නිසි පල ලැබෙන්නෙ නෑ. පොතක් බලාගෙන සූත්‍ර දේශනාව කියනවා වගේ, මාධ්‍යයෙන් ප්‍රචාරය වෙද්දි අපත් ඒ සූත්‍රය කීම අවශ්‍යයි. ගුවන් විදුලියේ ධර්මදේශනයක් දාලා, වෙන වැඩක යෙදී සිටියොත්, බණ ඇහෙන්නේ නෑ. ඒ වගේ, පිරිත් දාලා, තමන්ගේ සිත, කය ඒ වෙත අවතීර්ණ නොකළොත්, ඒ කෙරෙහි සිත ඒකාත්මික කර නොගත්තොත්, කොපමණ පිරිත් දාලා තිබුණත් පලක් ලැබෙන්නේ නැහැ.

 

l රතන සූත්‍රයෙන් නිසි පිහිට ලබන්න නම්, එය සජ්ඣායනා කළ යුත්තේ කුමන ආකාරයට ද?

රතන සූත්‍රයෙන් ලෙඩ සුව වෙනවා කියලා, උදේ සවස සූත්‍ර දේශනාව කියවගෙන ගියාට එහි පිහිට නිසි පරිදි ලබන්න බැහැ. එමඟින් නිසි පල ලබන්න නම්, ශීලයේ පිහිටලා, මිථ්‍යා ආජීවයෙන් වැළකිලා, සම්මා ආජීවයෙන් යුක්තව, ධර්මානුකූලව කටයුතු කළ යුතුයි. ඒ සඳහා, පළමුව පංචශීලය සමාදන් වෙලා, පවුලේ සියල්ලන් සමඟ එක්ව, උදේ - සවස තුනුරුවන් වන්දනා කර, දෙවියන්ට, මියගිය අයට පින් අනුමෝදන් කර, තමන්ට නිවැරැදිව සූත්‍ර දේශනාව මතක නැතිනම් පොතක් බලාගෙන හෝ රතන සහ කරණීය මෙත්ත යන සූත්‍ර දේශනා ප්‍රධාන කරගෙන පිරිත් සජ්ඣායනා කිරීම අවශ්‍යයි. ඒ අතර, හැකි වේලාවට රතන සූත්‍රය ප්‍රධාන මහාකස්සපත්ථේර බොජ්ඣංග පිරිත, කන්ධ පිරිත, මෝර පිරිත, අංගුලිමාල පිරිත ආදී පිරිත් වරින්වර සජ්ඣායනය වැදගත්. අනතුරුව සුළු මොහොතක් භාවනාවේ යෙදෙන්න ඕනැ. පසුව, තමන් කළ කුසල කර්ම පිළිබඳ “සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා“ලෙස, තමන්ටත්, අසල්වාසීන් වෙනුවෙන් රෝගය සමනය වෙන්න යැයි සත්‍ය ක්‍රියා කළ යුතුයි.

 

l මේ කාලයේදී විශේෂයෙන්ම ධාර්මික දිවි පෙවෙත වැදගත් වන්නෙ කොහොම ද?

මේ කාලෙ බොහෝ රටවලින් පවුල් ආරවුල් වාර්තා වෙනවා. බෞද්ධයන්ට බුදු දහම මඟින් ආරවුල් විසඳා ගත හැකියි. අපේ රටේ බොහෝ බෞද්ධයො, මේ විවේක කාලය භාවනා කටයුතු, බෞද්ධ පොතපත පරිශීලනය, මාධ්‍යයෙන් විකාශය වන ධර්මදේශනාවලට සවන් යොමු කරනවා. නිවෙසේ සාමාජිකයන් සමඟ ගැටුම් ඇතිකර ගන්නේ නැතිව, සාමකාමීව දිවි ගෙවීමට ධර්මය උපකාර කර ගෙන තිබෙනවා. අපට තිබෙන්නේ, බෞද්ධ පරිසරය, ධාර්මික දිවි පෙවෙත, සොබා දහම සමඟ යන ගමනක්. ඒ නිසා අපට, රෝගවලින් මිදීමේ හැකියාව තිබෙනවා. වැරැදි හැසිරීම් තිබුණොත්, විෂමාචාර ගති ඇත්නම්, අප විසින්ම රෝග වාහකයන් ළංකර ගැනීමක් සිදු වෙනවා. පන්සිල් ආරක්ෂා නොකරනවා කියන්නෙම, අධාර්මික, විෂමාචාර දිවිපෙවෙතක් ගෙවනවා කියන එකයි. තමන් සීලවන්ත වෙනකොට, ධාර්මික වෙනකොට, ඉබේම වගේ මේ වගේ වසංගතවලින් මිදෙන්න පුළුවන්. දුස්ශීල, අධාර්මික, නපුරු වෙනකොට, මිනිසාගේ මනස අපිරිසුදු වෙනවා. ඒ නිසා පැතිරෙන්නෙ නරක සිතිවිලිමයි. සොබාදහමට නිකුත් වෙන්නෙ නරක සිතිවිලි. යහපත් වුණොත් නිකුත් වෙන්නෙ කුසල් සිතිවිලි. “සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා“ කියන්නෙ ඒකයි. එවිට ආශිර්වාද කරන්න අපට තිබෙන්නෙ කුසල සිතිවිලිමයි. අප කුරිරු වුණොත්, වෙනත් කෙනකුට ආශිර්වාද කරන්නෙ කොහොම ද? මෙත්තානිසංස සූත්‍රයේ හත්වැනි ආනිසංශය විදිහට සඳහන් වෙන්නේ, මෛත්‍රීවිහරණ ඇති පුද්ගලයාගේ ශරීරයේ ගිනි, වස විෂ හෝ ආයුධවලින් හෝ විපත්ති නොවන බවයි. වර්තමානයේ ඇතිව තිබෙන මේ විෂ නසන්න නම්, මෛත්‍රීවිහාරීව කටයුතු කිරීම වැදගත්. මේ කාලයේදී අප තව තවත් වෛරයෙන්, ක්‍රෝධයෙන් යුතුව, අධාර්මිකව කටයුතු කළොත්, සොබාදහම සමඟ කටයුතු කරන්න ගියොත්, මේ රෝගය දෙගුණ තෙගුණ වෙලා අප ළඟට එන්න පුළුවන්.

 

l වසංගත තත්ත්වයකදී, අතීත අත්දැකීම් වැදගත් වෙන්නෙ මොන විදිහට ද?

මේ වසංගතය පැතිරෙනවත් එක්කම අප, ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීමට අතීතයට ගියා. පසුගිය කාලෙ අපගේ අධිවේගී බව නිසා, නවීනරණය වූ දේ පසුපස වේගයෙන් හඹා ගියා. ඒත් මේ මොහොතේදී අපට මීට වසර දෙදහස් ගණනකට පෙර නිතර දෙවේලේ භාවිතයට ගත්, තම නිවෙසේ නිතර දැකිය හැකි දේ කෙරෙහි යොමු වෙන්න සිදු වුණා. බටහිර බෙහෙත් ගත්තහම අතුරු ආබාධ වැඩියි. ඒත් කොත්තමල්ලි ටිකක් පානය කිරීමෙන්, වාෂ්ප ඇල්ලීමෙන් වයිරසයෙන් මිදීමට ප්‍රතිශක්තිය වගේම, පෙනහලු ආශ්‍රිත රෝගාබාධ පවා දුරු කර ගැනීමට හැකි වුණා. ඒ වගේම, මීට වසර දෙදහස් පන්සියයකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මවල පිහිට, අද වනවිට මිනිසුන්ගේ මානසික සුවය කෙරෙහි බෙහෙවින් ප්‍රයෝජනවත් වෙමින් පවතිනවා.

ඉරෝෂීණී දීපිකා

නව අදහස දක්වන්න