ශ්‍රී පාද වන්දනාව ඇරඹෙයි - සෞඛ්‍ය උපදෙස් මත සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිරිපා වන්දනාව ඇරඹෙයි | දිනමිණ

ශ්‍රී පාද වන්දනාව ඇරඹෙයි - සෞඛ්‍ය උපදෙස් මත සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිරිපා වන්දනාව ඇරඹෙයි

මෙවර සිරිපා වන්දනා වාරය ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව බැතිමතුන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (29) ආරම්භ කෙරුණි.

ශ්‍රී පාද පද්මය සුබ නැකතට අනුව සුවඳ පැණින් දෝවනය කිරීමෙන් පසු පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවෙල්ල හැටන් මාර්ගය ඔස්සේත් බළන්ගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත් රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේත් වැඩම කළ සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කිරීම බැතිමතුන්ගේ සාධු නද මධ්‍යයේ සිදුකරනු ලැබීය

ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වු දිනයේ දේශීය වෙදකම ප්‍රවර්ධන, ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නිතිඥ සිසිර ජයකොඩි මහතා විසින් ආයුර්වේද ඖෂධ වර්ග 108 කින් සමන්විත ඖෂධ වට්ටොරුවක්ද ශ්‍රි පාද උඩ මළුවට පුජා කරනු ලැබීය.

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරමින් පුද පුජා පැවත්වුවත් පවතින වතාවරණය අනුව රජයෙන් ලබා දි ඇති උපදෙස් සියලු දෙනාම පිලිපැදිය යුතු බව ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ ප්‍රකාශ කළහ.

වසංගත තත්ත්වය උත්සන්න වූ නිසා පසුගිය සිරිපා වන්දනා වාරයේදී බැතිමතුන්ට සිරිපා කරුණා කිරීමට නොහැකි බවත් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව මෙවර සිරිපා වන්දනා කිරීමට බැතිමතුන්ට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.

නල්ලතන්නිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන නමුත් එවැන්නක් වාර්තා වී නොමැති බවත් සාවද්‍ය පුවත් සමාජගත නොකරන ලෙස තමන් වහන්සේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ධම්මදින්න නාහමියෝ පැවසූහ.

රාජ්‍ය නායකයා ජනතාව පැත්තෙන් බලා තීන්දු තීරණ ගන්නා බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවද උන්වහන්සේ කීහ.

වන්දනාවේ පැමිණෙන අය තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී පැමිණිය යුතු බවට තීරණයක් ගනු ලැබුවේ සියලු දෙනාගේ යහපත පිණිස බවත් එමඟින් යම් අසනීප තත්ත්වයක් පවතින අයගේ පැමිණීම වැලකෙන බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ප්‍රකාශ කළහ.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න