අකුරැස්ස හිටපු සභාපති සාරුවා සුනිල්ගේ ඇප ඉල්ලීම ඉවතට | දිනමිණ

අකුරැස්ස හිටපු සභාපති සාරුවා සුනිල්ගේ ඇප ඉල්ලීම ඉවතට

කුමුදු හෙට්ටිආරච්චි

බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් විඳින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කළ ඇප අයදුම කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා පෙරේදා (06) ප්‍රතික්ෂේප කළේය.

චෝදනාවන්ට වරදකරු වූ විත්තිකාර සාරුව ලියනගේ සුනිල් හට පසුගිය වසරේ ජනවාරි 17 වැනිදා බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවමක් හා දූෂණයට ලක්වූ දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

එම සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බැවින් එහි නියෝගයක් ලැබෙන තෙක් විත්තිකරු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිකරු හට ඇප දීමට තරම් ප්‍රමාණවත් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන බව විවෘත අධිකරණයේදී පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරුගේ ඇප අයදුම එසේ ප්‍රතික්ෂේප කළේය.

තමන් යටතේ සේවය කළ අඹු සැමි යුවළකගේ 14 හැවිරිදි බාලවයස්කාර දැරිය තමන්ට අයත් හෝටලයකට රැගෙන ගොස් දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා නඟා තිබුණි.

නව අදහස දක්වන්න