මහා සංඝරත්නය වෙනුවෙන් නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය | දිනමිණ

මහා සංඝරත්නය වෙනුවෙන් නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අනුපමේය සේවාවක් ඉටු කරන මහා සංඝරත්නය වෙනුවෙන් නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (08) පැවැත්විණි. නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙමින් අගමැතිවරයා මහා සංඝරත්නයට රක්ෂණ සහතික පත් පිළිගැන්වීය.

සංඝයා වහන්සේගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක රෝහල් ගතවීමක දී දිනකට රුපියල් 1000 බැගින් රුපියල් 15000ක උපරිමයක් සහ රෝහල්ගතව සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25000ක උපරිමයක් දක්වා ගෙවීම මේ රක්ෂණ ක්‍රමයට අයත් වෙයි.

රුපියල් 2000ක මුදලක් පමණක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර, එය පුණ්‍ය කටයුත්තක දී සැදැහැවතුන්ට පූජා කිරීමේ හැකියාව ද ඇත. මේ රක්ෂණ අවස්ථාව ඉදිරියේ දී අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී අනාවරණය විය.

සසුනට දරුවන් පූජාකළ, නිවෙසක් නැති මව්පියන් සඳහා නිවෙසක් ලබාදීමේ “ මිහිඳු නිවාස” යෝජනා ක්‍රමයට නිවාස ඇමැතිවරයා වශයෙන් අගමැතිවරයා මේ වනවිටත් මුදල් වෙන්කර ඇති බව ප්‍රකාශ කළ කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක දිවියාගහ යසස්සී නාහිමියෝ බුද්ධශාසනය වෙනුවෙන් ඉටුකරන මේ සේවාව පිළිබඳ අගමැතිවරයාට ප්‍රණාමය පුද කළහ.

ඉඩමක් හිමි එහෙත් නිවෙසක් ඉදි කර ගැනීමට නොහැකි සංඝයාවහන්සේගේ මවුපියන් වෙනුවෙන් එක් නිවෙසක් සඳහා රුපියල් ලක්ෂ 06 බැගින් නිවාස 2000 ඉදිකිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මේ වන විටත් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ.

කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක දිවියාගහ යසස්සී, නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද, බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන, කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත, විද්යෝදය මහා පරිවේණාධිපති බළන්ගොඩ සෝභිත, මහාචාර්ය ඉඳුරාගා‍ෙර් ධම්මරතන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට එක්වූහ.

 

රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක, අගමැති ලේකම් ගාමිණී සෙනරත්, අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරිප්පෙරුම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න