යුක්රේන සංචාරකයන් නොගෙන්වීමට තවම තීරණය කර නෑ ඇමැති ප්‍රසන්න රණතුංග | දිනමිණ

යුක්රේන සංචාරකයන් නොගෙන්වීමට තවම තීරණය කර නෑ ඇමැති ප්‍රසන්න රණතුංග

නව මාර්ගෝපදේශන මාලාවක් අනුව සංචාරකයන් ගෙන්වනවා

 

යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රජය අවධාරණය කළේය.

යුක්රේනය පූර්ණ ලෙස ලොක්ඩවුන් කර නොමැති බවත්, ඒ නිසා යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් බවත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

මෙරට කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් එවැනි තීරණයක් ගෙන ඇත්තේ එංගලන්තය සම්බන්ධයෙන් පමණක් බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පෙරේදා (09) පැවැති ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

යුක්රේනය මේ වන විට පූර්ණ ලොක්ඩවුන් කිරීමක් කර නොමැති අතර, නවතම රොයිටර් වාර්තාව අනුව යුක්රේනයේ වසා තිබෙන්නේ පාසල්, ආපනශාලා, විශාල පිරිසක් සම්බන්ධ වන රැස්වීම් වැනි දේ බව පෙන්වා දුන් ඇමැතිවරයා, මිලියන 41ක් වෙසෙන යුක්රේනයේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව මිලියනයක් ඉක්මවා ඇති බවට විදෙස් වාර්තා පවසන්නේ යැයි ද කියා සිටියේය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

"අප අලුත් මාර්ගෝපදේශන මාලාවක් හදලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානය විසින් සංචාරකයන් සඳහා නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්වයි ඒවා සාදා තිබෙන්නේ. අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් මේ සියල්ල ඉතාම දැඩි ලෙස අධ්‍යයනය කරලයි සංචාරකයන් සඳහා වන මේ මාර්ගෝපදේශන මාලාව හැදුවේ. ඒ මාර්ගෝපදේශන මාලාව අනුව ඕනෑම කෙනෙකුට සංචාරකයන් ගෙන්වන්න පුළුවන්. මේ රටට එන හැම සංචාරකයකුම රටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි. එය අප ඉතා පැහැදිලිව අදාළ සංචාරක සංවිධානය කරන්නන් වෙත දැනුම් දී තිබෙනවා. සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ අප දැඩි අධීක්ෂණයකට ලක් කරනවා.”

මේ අනුව ලබන 21 වැනිදා සිට නිල වශයෙන් ගුවන් තොටුපොළ හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවෝ දැනුවත් කෙරේ. ඒ අනුව අද (11) සංචාරක ක්ෂේත්‍රයේ නියුතු විවිධ ක්ෂේත්‍රවලට අයත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංවිධාන කොළඹට කැඳවා තිබේ.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න