අද බොහෝ දෙනාට විවේචන දරා ගන්න බෑ - ඇමැති ඩලස් අලහප්පෙරුම | දිනමිණ

අද බොහෝ දෙනාට විවේචන දරා ගන්න බෑ - ඇමැති ඩලස් අලහප්පෙරුම

ජනතාව ක්‍රීඩාවට යොමු කර ජය, පරාජය, ඉවසීම පුරුදු කළ යුතුයි

 

ක්‍රීඩාවට යොමු නොවීම හේතුවෙන් මේ වන විට බොහෝ දෙනකු තුළ ඉවසීම, ජය පරාජය විඳ ගැනීමේ හැකියාව, සාමූහික වගකීම යන මූලික කාරණාවත් නොපවතින බවත්, පාර්ලිමේන්තුව තුළ පවා විවේචන ඉවසා ගත නොහැකි බොහෝ දෙනෙක් සිටින බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පසුගියදා මාලිම්බඩ, හොරගොඩ, භාග්‍යගම දිවා - රාත්‍රී ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

"අපේ පාර්ලිමේන්තුවේ විවේචන ඉවසන්න බැරි කී දෙනෙක් ඉන්නවද? විවේචනයක් කරද්දි බූරුවා, බල්ලා, කබරයා, වඳුරා කියලා සෑම සතකුගේම නම් කියමින් බනිනවා. කියන්නේ නැත්තේ සිංහයාගේ නම විතරයි. ඒ කියන අයගේ ළමා කාලය බැලුවම අපට පැහැදිළියි ඔවුන් කිසිම දවසක ක්‍රීඩාවකට සහභාගී වී, ක්‍රීඩා කණ්ඩායමක සාමූහිකත්වයෙන් වැඩ කරලා නැති අය කියන එක. ඒ නිසා ඔවුන් ඉවසීම දන්නේ නැහැ. ත‍රගකාරීත්වය, විනය ගැන තේරෙන්නේ නැහැ. ජය පරාජය බෙදා ගන්න දන්නේ නැහැ. මේක අපේ රටේ දේශපාලනයේ දකින්න තිබෙන භයානක රෝගයක්. ක්‍රීඩාව ඇතුළෙ තමයි සාමූහිකත්වය, ඉවසීම, විනය හැදෙන්නේ. ඒ නිසා අප විශ්වාස කරනවා වසර කිහිපයක් යන විට ක්‍රීඩාව තුළින් ඉවසන්න හැකියාවක් තිබෙන, තරගකාරීත්වය, විනය, සාමූහික හැඟීම ඇති පරපුරක් බිහි කරන්නට අපට හැකි වේවි කියලා.

"ජයග්‍රාහකයා හෝ පරාජිතයා ලෙස නම් කිරීම ක්‍රීඩාව පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ගණිතය පිළිබඳ ප්‍රශ්නයක්. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයේ දී ක්‍රීඩා ආර්ථිකයක්, නීරෝගීමත් ජාතියක් පිළිබඳව සඳහන් කළා. ශ්‍රී ලංකේය ජාතියේ ශ්‍රේෂ්ඨත්වය නැවත මතු කරන්න අවශ්‍ය බව කිව්වා. රටක, ජාතියක ශ්‍රේෂ්ඨත්වය මතු කිරීමේ පළමු කොන්දේසිය තමයි ඒ ජාතිය නිරෝගිමත්, සාමකාමී මෙන්ම විනයක් සහිත ජාතියක් වීම. ලෝකයේ දියුණුයි කියන සෑම රටකම, දියුණුව ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, ක්‍රීඩාවෙනුත් දියුණු බවට පත් වෙලා තිබෙනවා. රටේ සෑම පාරක්ම කාපට් කළත් අධිවේගී මාර්ග රට වටේටම හැදුවත් රටේ පුරවැසියෝ සමඟි නැත්නම්, නිරෝගී නැත්නම්, ඔවුන්ට විනයක් නැත්නම් මේ කියන දියුණු තත්ත්වයට අපට ළඟා වෙන්න බැහැ. ඒ නිසයි මේ ආකාරයෙන් ක්‍රීඩාංගණ ඉදි කරන්නේ.

"වර්තමානයේ දී අප රටේ පාසල් පද්ධතියෙන් ක්‍රීඩාව ක්‍රමක්‍රමයෙන් ඈත් වෙමින් පවතිනවා. නාමල් රාජපක්ෂ ඇමැතිවරයා පාසල් දරුවන්ගේ විවේක කාලය විනාඩි 15කින් වැඩි කිරීමට කළ යෝජනාව ඒ වෙනුවෙන් වූ ධනාත්මක යෝජනාවක්. ඒ සම්බන්ධයෙන් එතුමාට ස්තූතිවන්ත විය යුතුයි. මම අධ්‍යාපන ඇමැතිවරයාව සිටි අවධියේ දී වසරකට දරුවන්ට වාර විභාග දෙකක් පමණක් ප්‍රමාණවත් බව පැවසුවේ, පළමු වාරය තුළ පාසල්වල නිවාසාන්තර තරග, අධ්‍යාපන චාරිකා, බිග් මැච් ආදිය පැවැත්වෙන බැවින් දරුවන් ඒ වෙනුවෙන් නිදහසේ සහභාගී කර විය යුතු නිසායි. නොයෙක් හේතූන් නිසා මේ වන විට පැහැරගෙන ඇති දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට නැවතත් ලබා දීම වෙනුවෙන්, නිරෝගී ජාතියක් ගොඩනැඟීමේ මූලිකත්වය ක්‍රීඩාවට දිය යුතු බවට ජනාධිපතිතුමන් තීරණය කර තිබෙනවා."

නව අදහස දක්වන්න