සංචාරකයන් ගෙන්වීම නවතා රජය කොවිඩ් එන්නත ගෙන ආ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස | දිනමිණ

සංචාරකයන් ගෙන්වීම නවතා රජය කොවිඩ් එන්නත ගෙන ආ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රජයක වගකීම පුරවැසියන් අනතුරේ හෙළීම නොවෙයි

මේ මොහොතේ රජය කළ යුත්තේ යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නොව, ගුණාත්මක බවින් ඉහළ කොවිඩ් එන්නතක් හැකි ඉක්මනින් රටට ගෙනැවිත් ජනතාවට ලබා දීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, වගකිව යුතු රජයක වගකීම පුරවැසියන් අනතුරට පත් කිරීම නොව, ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීම වුවත් රජය කරන්නේ ඉන් බැහැරව යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වමින් ජනතාව අනතුරට පත්කිරීම බව ද ඒ මහතා කීය.

මල්වතු - අස්ගිරි උභය මහා විහාරයීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම පෙරේදා (09) බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය. කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම ඉහළ යෑමත් සමඟ රට වසා දැමීමට යුක්රේන රජය පියවර ගෙන තිබියදී වත්මන් ආණ්ඩුව එම රටේ සංචාරකයන් නිසි නිරෝධායන ක්‍රියාවලියකින් බැහැරව රටට ගෙන ඒම ඉතා භයානක තත්ත්වයක් බව ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ විපක්ෂ නායකවරයා මෙසේද පැවසුවේය.

"කොවැක්ස් ක්‍රමයට අපේ රටේ ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමට ක්‍රියාකරන බව රජය ප්‍රකාශ කරනවා. මොකක්ද මේ කොවැක්ස් ක්‍රමය කියන්නේ? ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රබල රටවල්වලින් මුදල් පරිත්‍යාග කළාට පස්සේ ඒ ලැබෙන මුදල්වලින් ඔවුන් එන්නත් ලබා ගන්නවා. එයින් සියයට 20ක් අපේ රටට දෙනවා. මේ ක්‍රමවේදයේ සැබෑ තත්ත්වය පිළිබඳව කවුරුවත් අපේ රටේ ජනතාවට කරුණු පැහැදිළි කරන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයට ධනවත් රටවල් ලබා දෙන මුදල් ප්‍රමාණය අනුව තීරණය වන කොවැක්ස් ක්‍රමයට අපේ රටට එන්නත් ලබා ගැනීම දුර්වල රාජ්‍ය ක්‍රියාදාමයක්. ඇත්තටම සිදුවිය යුත්තේ සියයට 20කට නොව, රටේ සමස්ත ජනතාවටම ගුණාත්මක තත්ත්වයෙන් යුතු එන්නත ලබා දීමයි.

"රටේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරනවා කියමින් යුක්රේනයෙන් සංචාරකයන් ගෙන ඒම ඔස්සේ රට අනතුරට පත් කරන්න එපා කියලා මම රජයට කියනවා. මේක අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් කියලා රජයේ ප්‍රබලයෙක් පසුගියදා ප්‍රකාශ කළා. අපට ඇත්තටම තේරෙන්නේ නැහැ මොකක්ද මේ ව්‍යාපෘතිය කියලා.

"ජනවාරියේ සිට අප කියූ සෑම දෙයක්ම සැබෑවක් බවට පත් වුණා. දැන්වත් අප කියන දේට ඇහුම්කන් දෙන්න කියලා මම රජයට කියනවා. අප යොමු කරන කාරණා විද්වත් මණ්ඩලයකට යොමු කරලා ඒ ඔස්සේ රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්න. මේ රටේ දරු පරපුර ඇතුළු ජනතාවගේ ප්‍රශ්න කතා කරන විට අපහාස කරමින් කෑකෝ ගැසීමට පාර්ලිමේන්තුවේ වෙනම ආසන පේළි දෙකක් තිබෙනවා. අප ප්‍රශ්න මතු කළාම ඒ අය කරන්නේ අපහාස කරමින් බාධා කරන එකයි. පාසල් ආරම්භ කරන්න ආණ්ඩුව සැරසුනත් නියමාකාරයට පාසල් විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබෙනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. පාසල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරන්න මුදල් වෙන් කළ බව අධ්‍යාපන ඇමැතිවරයා පැවසුවත් ඒ මුදල් තාම අධ්‍යාපන කොට්ඨාසවලට ලැබී නැහැ. තාමත් ලක්ෂ 44ක් වන මේ රටේ පාසැල් දරුවන්ට නිල ඇඳුම් දීලා නැහැ. අපේ රටේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන්න වත්මන් අධ්‍යාපන ඇමැතිවරයාට වැඩපිළිවෙළක් නොමැති බව පැහැදිළිව පේනවා. එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සියලුම පාසල් දරුවන්ට නොමිලේ පෙළපොත් ලබා දුන්නා. දැන් පෙළපොත් ලබා දෙන්නේ සීමා කරලයි. ඉතුරු ටික මවුපියන් මුදලට ගන්න ඕනෑ. මේ වගේ අකාර්යක්ෂම අධ්‍යාපන ඇමැතිවරයෙක් තමයි දැන් ඉන්නේ. මේ වගේ අධ්‍යාපන ඇමැතිවරයෙක් යටතේ දරු පරපුරට සාධාරණයක් වෙන්නේ නැහැ.

"මේ රටේ ලක්ෂ 69ක ජනතාව ජනාධිපතිවරණයේදීත් ලක්ෂ 68ක ජනතාව මහ මැතිවරණයේදීත් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඡන්දය දුන්නේ ස්වභාවික සම්පත් රැක ගනිමින් පරිසරය ආරක්ෂා කරන්නයි. වන ගහණය වර්ධනය කරනවා වෙනුවට මේ අය කරන්නේ ඒවා විනාශ කරන එකයි. පරිසර සංවේදී කලාපවලට හානි කරනවා."

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න