ඊ.ටී.අයි හිටපු අධ්‍යක්ෂවරු 15 තෙක් රිමාන්ඩ් | දිනමිණ

ඊ.ටී.අයි හිටපු අධ්‍යක්ෂවරු 15 තෙක් රිමාන්ඩ්

සිරන්ජනි කුමාරි

මහ බැංකුවට හෙළිනොකළ ගිණුම් පවත්වාගෙන යමින් සිය පෞද්ගලික පරිහරණය සඳහා මුදල් බිලියන 6.7ක් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඊ.ටී.අයි සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් තවදුරටත් මේ මස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඊයේ (12) නියෝග කළේය.

පැය හතරකට අධික කාලයක් පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිප්‍රියා ජයසුන්දර මහත්මිය හා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥයන් විසින් සිදු කරන ලද දේශන සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප ලබා දීම එදිනට සලකා බලන බව දන්වමින් එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සැකකරුවන් නිරෝධායනය සඳහා යොමු කර ඇති බැවින් ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවට බන්ධනාගාර අධිකාරිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කරනු ලැබුවේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙට්මන්ට් සමාගම විසින් සිදු කරනු ලැබූ අයථා අක්‍රමිකතා විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් මාස හතක් තිස්සේ විමර්ශනයක් සිදු කළ බවත් සාක්කි 57ක් හා ලේඛන 421 ඇතුළු සංයුක්ත තැටියක් ඔස්සේ විමර්ශන සිදු කර වාර්තාවක් මගින් 2020/1/9 වන දින එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙට්මන්ට් සමාගමේ අධ්‍යක්ෂකවරු වංචාවක් සිදු කර ඇති බවට කරුණු නීතිපතිවරයා වෙත දන්වා ඇති බවය.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා විසින් රහස් පොලිසිය වෙත උපදෙස් ලබා දීම අනුව සැකකරුවන් ඉකුත් 9 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.

තවද එදිරිසිංහ ෆිනැන්ස් ට්‍රස්ට් ආයතනයට අමතරව එවකට සිටි සභාපතිනි සෝමා එදිරිසිංහට එරෙහිව මුදල් වංචා කිරීම ,සාවද්‍ය පරිහරණය,සාපරාධි විශ්වාසය කඩ කිරීම හා මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වැරදි ඇතුළු චෝදනා අනාවරණය වන බවට ජනාධිපති කොමිෂන් සභාව කරුණු වාර්තා කර තිබෙන බවට සොලිසිටර්ජනරාල්වරිය අධිකරණය හමුවේ පැවසුවාය.

 

නව අදහස දක්වන්න