පේන් සමාව ඉල්ලයි | දිනමිණ

පේන් සමාව ඉල්ලයි

ඉන්දීය පිල සමඟ සිඩ්නිහිදී නිමා වූ තරගයේදී සිය හැසිරීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව ඔස්ට්‍රේලියානු නායක ටිම් පේන් පවසයි.

එම තරගයේ ඉන්දීය දෙවැනි ඉනිමේදී පන්දු රකිමින් සිටියදී ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් වෙනත් නමකින් හැඳින්වීමෙන් තමා ‘මෝඩයකු’ ලෙස පෙනී සිටි බව පවසා ඇති පේන් පිටියේදී තම දුර්වල හැසිරීම ගැන මෙලෙස ප්‍රසිද්ධියේ සමාව ඇයදීමට කටයුතු කළ අතර, ඔහුගේ දුර්වල ක්‍රීඩා කළ විලාසය හේතුවෙන් තරගය ජය ගැනීමට නොහැකි වූ බව ද පිළිගෙන තිබේ.

එම තරගයේ අවසන් දිනයේ පේනේ අතින් උඩ පන්දු 3ක් ගිලිහී යෑම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට තරගය ජය ගැනීමට තිබූ අවස්ථාවක් ඇහිරී ගියේය. ඉන්දීය පිල බේරාගත් අශ්වින් සහ හනුමා විහාරි 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගූ අතර, ඊට පන්දු 259ක් වැය විය. පේන් අතින් ගිලිහුණු උඩ පන්දු අතර, විහාරි සහ අශ්වින් දුන් උඩ පන්දු ද විය.

“ඊයේ රාත්‍රියේ මට ටෙස්ට් තරගය ගැන නැවත සිතා බැලීමට අවස්ථාවක් ලැබුණා. මම ඊයේ කළ දේවල් ගැන සමාව අයැදීමට අවශ්‍යයි. මම මේ කණ්ඩායමට නායකත්වය දෙන ආකාරය ගැන ආඩම්බර වන කෙනෙක් වන අතර ඊයේ එය දුර්වල ලෙස පිළිබිඹු වුණා.” තරගයට පසුදින පැවසූ පේන්, “මගේ නායකත්වය ප්‍රමාණවත් නොවුණා. මම ක්‍රීඩාවේ පීඩනය මා වෙතට ඒමට ඉඩ දුන්නා, එය මගේ මානසිකත්වයට බලපෑ අතර එතැන් සිට මගේ ක්‍රියාකාරිත්වයට එය බලපෑවා.” යැයි ද පැවසීය.

මේ අතර, පේන්ට එරෙහිව විනය කඩ කිරීමේ චෝදනාවක් මත තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් සහ දඬුවම් ලකුණක් දීමට ද ජගත් ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ඉන්දීය පිල සමග සිඩ්නිහිදී පැවැති තෙවැනි තරගයේදී විනිසුරු තීරණයකට අප්‍රසාදය පළ කිරීම හේතුවෙන් මෙලෙස දඩ සමඟ ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණ ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

පේන් මේ වරද සමඟ දඬුවම් ලකුණ පිළිගැනීම නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවනු ඇත.

නව අදහස දක්වන්න