වැටුණු තැනින් නැඟිටින්න ශ්‍රී ලංකා පිල අද ගාලු සටනට | දිනමිණ

වැටුණු තැනින් නැඟිටින්න ශ්‍රී ලංකා පිල අද ගාලු සටනට

අසාර්ථක දකුණු අප්‍රිකානු සංචාරයේදී සිදු වූ වැරදි හා අඩුපාඩු මඟ හරවා ගනිමින් එංගලන්ත කණ්ඩායම සමඟ අද (14) ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට ශක්තිමත්ව මුහුණ දීමට තම කණ්ඩායම සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය.

අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ ගාල්ලේ සිට ඊයේ දහවල් මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා කියා සිටියේ ශ්‍රී ලංකා භූමියේදී පැවැත්වෙන බැවින් මේ ටෙස්ට් තරගමාලාවේ වැඩි වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වී ඇති බවය. එමෙන්ම දකුණු අප්‍රිකානු සංචාරයට එක් නොවූ ප්‍රවීණ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙකු යළි කණ්ඩායමට එක්වීමත් සමඟ කණ්ඩායම ශක්තිමත් වී ඇතැයි ඔහු කීවේය.

“අපේ කණ්ඩායම හොඳ තත්ත්වයක ඉන්නවා. දැනට සිටින සංචිතයේ සියලු දෙනා මනා ශාරිරික යෝග්‍යතාවෙන් යුතුවයි සිටින්නේ. අපිට තියෙන ගැටලුව වේගපන්දු අංශයේ ප්‍රවීණ ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ සහභාගිත්වය තවම තහවුරු වී නැති බව පමණයි. නමුත් ඔහුට තරගයට එක්වීමේ අවස්ථාව නොලැබුවත් අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු හා දුෂ්මන්ත චමීර වැනි වේගපන්දු යවන්නන් අපට ඉන්නවා.” දිමුත් පැවැසීය.

දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග 2ම පරාජයට පත් වූ ශ්‍රී ලංකා පිල අද තරගයට මුහුණ දෙන්නේ ගිලිහී ගිය අභිමානය යළි ඉහළට ඔසවා තැබීමේ බලාපොරොත්තුව සමඟිනි. කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි සෞඛ්‍ය නීතිරෙගුලාසි අනුව ජෛව බුබුළු ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ පැවැත්වෙන මේ ටෙස්ට් තරගමාලාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ශූරතාවලියට ද ඇතුළත් වේ.

“ගාල්ල තණතීරුව දඟපන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක්. මේ තණතීරුවේ පළමු පැය කිහිපය ඇතුළත වේගපන්දු යවන්නන් දස්කම් දැක්වූවත් ඉතිරි කාලසීමාවේදී තරගයේ පාලනය පවතින්නේ දඟපන්දු යවන්නන් මත. මේ තණතීරුව ගැන අපි හොඳින්ම දන්නවා. ඒ නිසා අපේ දඟපන්දු යවන්නන්ට මේ තරගයේදී විශාල කාර්යභාරයක් සිදු කරන්න අවස්ථාව ලැබෙනවා.” දිමුත් වැඩි දුරටත් සඳහන් කළේය.

දකුණු අප්‍රිකානු සංචාරයේදී ලකුණු අතර නොසිටි අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් එහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී සහ දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම් 2දීම ලකුණු නොලබා දැවී ගියේය. එමෙන්ම ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට සාපේක්ෂව පිතිකරුවන්ගේ දුර්වලතා කැපී පෙනිණි.

“අද තරගයේදී අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීම කුසල් මෙන්ඩිස්ට හෝ ළහිරු තිරිමාන්නට පැවැරේවි. අප තවම අවසන් තීරණය ගෙන නෑ. කොහොම වුණත් ළහිරු තරමක් සාර්ථක වුණු නිසා ඔහුට අවස්ථාව ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි. කොහොමත් මේ දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයකුට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා. ඊළඟට නිරෝෂන් දික්වැල්ල ඉන්නවා.” ඔහු පැවසීය.

“අපි එංගලන්ත පිල අවතක්සේරු කරන්නේ නෑ. ඔවුන් මේ දිනවල පුහුණුවීමේ නිරතව සිටි අයුරු අපි දැක්කා. ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම මේ සංචාරයට නෑ. ඒ වගේම මුයීන් අලිත් අද තරගයට නෑ. ඒත් එංගලන්ත පිලට නවක ක්‍රීඩකයන් පිරිසක් ඉන්න නිසා අද තරගයේදී අපිට වාසියක් ලබාගත හැකි වේවි කියලා විශ්වාසයක් තියෙනවා.” දිමුත් කීවේය.

ප්‍රබල පිතිකරු බෙන් ස්ටොක්ස් සහ වේගපන්දු තුරුම්පුව ජොෆ්රා ආචර් විවේක ගන්වා ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත පිලට මුයින් අලිගේ දායකත්වයත් අහිමි වී ගියේ ඔහුට කොරෝනා ආසාදනය වීම හේතුවෙනි. එසේ වුවත් දඟපන්දුවට උචිත ගාලු තණතීරුවේදී සිය දඟපන්දු යවන්නන් කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව අද තරගයට එක්වීම එංගලන්ත පිලේ නායක ජෝ රූට්ගේ බලාපොරොත්තුව වී තිබේ. එංගලන්ත පිලේ ඉන්දීය සංචාරය ඉලක්ක කරමින් ස්ටෝක්ස් සහ ආචර් විවේක ගන්වා ඇති අතර, පෞද්ගලික හේතු මත ජෝ බර්න්ස් ද කණ්ඩායමෙන් ඉවත් වී සිටී.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් එංගලන්ත පිල මේ ටෙස්ට් තරග 2ම ජයගත යුතුව ඇත. රූට්ගේ අරමුණ මේ අභියෝගය ජයගැනීමටය.

ඒ අනුව අද ඇරඹෙන ටෙස්ට් තරගයේදී ඔවුන්ගේ වැඩි වගකීම පැවරෙනු ඇත්තේ ඩොම් බෙස් සහ ජැක් ලීච් දඟපන්දු යවන්නන්ටය. තවත් නවක දඟපන්දු යවන්නන් කිහිපදෙනකුම එංගලන්ත සංචිතයේ සිටිති. ජැක් ලීච් යනු වසර 2018දී ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගමාලාව 3-0කින් ජය ගත් එංගලන්ත පිලට එම ජයග්‍රහණයට වැඩි දායකත්වයක් දුන් දඟපන්දු යවන්නෙකි.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, ඕෂධ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, අසිත ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්.

 

 

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න