ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් 23 දා චීන වරායේදී | දිනමිණ

ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් 23 දා චීන වරායේදී

ඩයලොග් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ නියෝජ්‍ය සභාපති නවීන් පීරිස් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති එයාර් කොමදෝරු ප්‍රසන්න රණසිංහ මහතාට තරගාවලියේ අනුග්‍රාහකත්වය පිරිනැමූ අයුරු.-ඡායාරූපය - ගයාන් පුෂ්පික

මෙරට ගොල්ෆ් ක්‍රීඩාවට නව ජීවයක් එක් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන අටවැනි ගුවන්හමුදාපති කුසලාන (Commander's cup) කාන්තා හා පිරිමි ගොල්ෆ් තරගාවලිය මේ මස 23 වැනි දින ත්‍රිකුණාමලය වරායට යාබද චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටියේදී පැවැත්වේ. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සංවිධාන කෙරෙන තරගාවලිය මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ගොල්ෆ් තරගාවලියයි.

දැඩි සෞඛ්‍ය නීතිරෙගුලාසිවලට අනුව සෞඛ්‍ය අංශයේ අනුමැතිය යටතේ පැවැත්වෙන ගුවන් හමුදාපති කුසලාන කාන්තා හා පිරිමි ගොල්ෆ් තරගාවලිය කොවිඩ් වයිරසයේ අවදානම හේතුවෙන් මෙවර විදෙස් තරගකරුවන්ට සහභාගි වීමේ අවස්ථාව අහිමි වූවත්, මෙරට දක්ෂතම ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවද දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදෙස් තරගකරුවන්ට සහභාගී වීමේ අවස්ථාව ලැබී තිබේ.

මෙරට මුහුදු සීමාවට ආසන්නයේ පිහිටි එකම ගොල්ෆ් පිටිය වන ගුවන් හමුදාවට අයත් චීන වරාය ඊගල්ස් ගොල්ෆ් පිටිය සෙසු ක්‍රීඩාංගණවලට වඩා සුවිශේෂ එකකි. කිලෝමීටර් 7ක් දිගට විහිදුණු මනරම් පරිසරයක පිහිටි මේ ගොල්ෆ් ක්‍රීඩා පිටිය ස්වාභාවික පරිසරයට අවහිරයක් නොවන පරිදි සකස් කර ඇති අතර, මුහුදට ආසන්නයේ පිහිටීම නිසා දැඩි සුළං සහිත වීමත්, වැලි කඳු පිහිටා තිබීමත් හේතුවෙන් තරගකරුවන්ට දැඩි අභියෝගාත්මක ගොල්ෆ් පිටියක් ලෙස දෙස් විදෙස් තරගකරුවන් අතර වැඩි ජනප්‍රියත්වයට පත් වී තිබේ.

කාන්තා හා පිරිමි තරගවලට අමතරව තරගකාරීත්වය ඉහළ මට්ටමක රඳවා ගැනීමේ අරමුණින් දිගම පහර තෝරා ගැනීම ද මෙහි දී සිදු කෙරේ. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් මෙරට ගොල්ෆ් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරනු ලබන ගුවන් හමුදා ගොල්ෆ් තරගාවලියට මෙවර තරගකාරිත්වය මෙන්ම සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කරමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. ඩයලොග් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේදී ගුවන් හමුදාව සමඟ එක් වෙමින් සත්කාරක දායකත්වය දීමට මෙවර අනිලානා හෝටල් සමූහයත් එක්වී සිටී. තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම හෙටින් (15) නිමාවට පත් වේ.

වසර 2013දී පළමුවරට ආරම්භ වූ ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය මේ වන විට මෙරට ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනකු සහභාගි වන තරගාවලියකි. මේ තරගාවලියේ පසුගිය වසරේ දී ශූරතාව දිනාගනු ලැබුවේ සුරේන් ප්‍රේමතිලක විසිනි.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුව පසුගියදා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති එයාර් කොමදෝරු ප්‍රසන්න රණසිංහ, එම කමිටුවේ ලේකම් ස්කොඩ්රන් ලීඩර් රදික රණවීර, ඩයලොග් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ නියෝජ්‍ය සභාපති නවීන් පීරිස් සමඟ එම ආයතනයේ සාමාන්‍යධිකාරි රොෂාන් සිල්වා මහත්වරු ඊට එක් වූහ.

 

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න