නාලන්දා ගෙඩිගෙයි ප්‍රතිමා ගෘහයේ ජල කාන්දුවක් | දිනමිණ

නාලන්දා ගෙඩිගෙයි ප්‍රතිමා ගෘහයේ ජල කාන්දුවක්

වර්ෂාව අලුත්වැඩියාවට බාධාවක්

පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ

ඓතිහාසික වැදගත්කමක් පවතින ලංකාවේ මධ්‍ය ලක්ෂයේ පිහිටා ඇති නාලන්දා ගෙඩිගෙයි ප්‍රතිමා ගෘහයේ ජල කාන්දුවක් හටගෙන තිබේ. කලක් තිස්සේ පවතින වැසි සහිත කාලගුණය හමුවේ ප්‍රතිමා ගෘහය ඉදි කර ඇති ගල් කුට්ටි අතරින් මේ දිනවල ජලය අභ්‍යන්තරයට කාන්දු වෙමින් පවතී. පල්ලව රජ සම්ප්‍රදායට අයත් ලංකාවේ එකම පුරාවිද්‍යාත්මක ස්ථානය වන නාලන්දා ගෙඩි ගෙය බෝවතැන්න ජලාශය හේතුවෙන් පැවති ස්ථානයේම යළි ගොඩනඟන ලද්දකි. අටවන සියවසේදී ඉදි කරන ලද නාලන්දා ගෙඩිගෙය 1985 වසරේ එවකට කථානායකව සිටි ඊ. ඇල්. සේනානායක මහතා විසින් විවෘත කර තිබේ.

ඉතිහාසගත කරුණුවලට අනුව බෝවතැන්න ජලාශය ඉදිවීමත් සමඟ නාලන්දා ගෙඩිගෙය ජලයෙන් යටවීම වැළැක්වීම පිණිස ගෙඩිගෙය පවතින ස්ථානයේම පාදම උස් කර ඒ මත ගෙඩිගෙය යළි ඉදි කර ඇත. පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජයතිස්ස බණ්ඩාර දිසානායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජල කාන්දුව සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බවයි.

ප්‍රතිමා ගෘහය ඉදිකිරීමේදී ගල් සම්බන්ධ කිරීම සඳහා යොදාගෙන ඇති බදාම විශේෂයේ දුර්වලතාවක් හේතුවෙන් මේ ජල කාන්දුව ඇති වී ඇති බවත් පවත්නා වර්ෂා තත්ත්වය හමුවේ අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

වර්ෂා තත්ත්වය හමුවේ වුවද නාලන්දා ගෙඩිගේ අලුත්වැඩියා කටයුතු ක්‍රමානුකූලව මේ වන විට සිදු කිරීම ආරම්භ කර ඇති බව කියා සිටි දිසානායක මහතා අවධාරණය කර සිටියේ ඉතා කඩිනමින් ජල කාන්දුවට විසඳුම් දෙන බවටයි.

 

නාඋල සමූහ

 

නව අදහස දක්වන්න