සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අන්තර්ජාතික මට්ටමට ගෙන යනවා | දිනමිණ

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අන්තර්ජාතික මට්ටමට ගෙන යනවා

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති,  මහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි

ශ්‍රී ලාංකේය සමාරම්භක විශ්වවිද්‍යාලයීය ප්‍රකාශන මන්දිරය වන VAPA PUBLISHERS ලේඛක - පාඨක ප්‍රජාව වෙනුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය විසින් තිළිණ කෙරිණි. කොවිඩ් වසංගතය හමුවේ විශේෂයෙන් දෘශ්‍ය හා ප්‍රාසංගික කලා අධ්‍යාපනය ඉදිරියට ගෙන යමින් ඇත්තේ කෙසේද යන්න ගැනත්, සමස්තයක් ලෙස මේ ක්ෂේත්‍රය හමුවේ ඇති අභියෝගත්, ඒවා ජය ගැනීම හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙනුත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි සමඟ කළ සංවාදයකි.

ආයතන නාමය නිවැරදි කරන්න කටයුතු කරනවා

සබරගමුවේ උපකුලපති අත්දැකීම මට ශක්තියක්

හඳුනාගත් ගොඩනැඟිලි සහ භූමි අපට රජයෙන් ලැබුණොත් ලොකු දෙයක් කළ හැකියි

 

 

l සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයට කොවිඩ් - 19 වසංගත තත්ත්වය මොන වගේ බලපෑමක් ද ඇති කරලා තියෙන්නේ?

කොවිඩ් - 19 නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අධ්‍යාපනය දීම සිදු වෙන්නෙත් මාර්ගගත ක්‍රමයට (Online). සමහර විෂයයන්ට මේ ක්‍රමය පහසුවක් වුණත් නැටුම්, සංගීතය, චිත්‍ර, මූර්ති වගේ විෂයයන් ඉගැන්වීමේදී මුලදී මෙය ටිකක් අසීරු වුණා. මේ වන විට අපි මෙය කරගෙන යනවා. ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකුගේ සහායත් අපට මෙහිදී ලැබුණා. එම විශ්වවිද්‍යාලයේ දෘශ‍ය කලා විෂයයන් උගන්වන ආකාරය ගැන අපේ ආචාර්යවරුන්ට මාර්ගගත ක්‍රමය හරහාම පුහුණුවක් ලබා දුන්නා.

මෙතැනදී මතුවුණ ප්‍රශ්නය ඉගැන්වීම නෙවෙයි. ශිෂ්‍යයන්ට අන්තර්ජාලයට පිවිසීමට 'සිග්නල්' නැතිකම තමයි ප්‍රශ්නය. අවම වශයෙන් 3G තියෙන්න ඕනෑ. ඈත පළාත්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ ප්‍රශ්නය බලපානවා. කොළඹ අවට වුණත් මේ 'සිග්නල්' දුර්වල තැන් තියෙනවා. ‍'ඩේටා' සඳහා වැය වන මුදල තවත් ප්‍රශ්නයක්. ඒ අසීරුතාව තේරෙන්නෙ එවැනි ආර්ථික මට්ටමක සිටින අයට.

මෙවැනි හේතූන් නිසා දේශන පටිගත කරලා සී.ඩී. වශයෙන් ශිෂ්‍යයන්ට ලබාදෙන වැඩපිළිවෙළක අපි ඉන්නවා. ඊට බලපා ඇති යම් යම් ප්‍රශ්න විසඳාගෙන යමින් සිටින්නෙ. නැටුම්, සංගීතය වගේ විෂයයන් ප්‍රායෝගිකව ඉගැන්වීම අවශ්‍ය වුණත් මේ පසුබිම යටතේ ශිෂ්‍යයන් ගෙන්වීමට හැකියාවක් නෑ. ඒ නිසා මාර්ගගත ක්‍රමය යටතේ, යම් යම් අඩු-පාඩු තිබුණත් අපි මේ ඉගැන්වීම් කරගෙන යනවා.

මේ තත්ත්වය කවදා අවසන් වේදැයි නිශ්චිතව තීරණය කරන්න අපහසු නිසා යම්තාක් දුරකට අපට මේ ක්‍රමයටම යන්න වෙනවා. ඒ නිසා අන්තර්ජාල පහසුකම් වැඩිදියුණු කිරීම ගැන ප්‍රමුඛත්වයක් දී කටයුතු කිරීම අදාළ අංශවලට පැවරෙනවා. රජයටත් මෙහිදී කාර්යභාරයක් තියෙනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වැඩිදෙනකුට ලැප්ටොප් පරිගණක තියෙනවා. නැති අයත් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනවා. පරිගණකයක් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුව මඟින් ණය පහසුකම් සලස්වා තියෙනවා.

 

l ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වී තිබියදී ඊට ගත හැකි යම් ක්‍රියාමාර්ග තියෙනවා ද?

ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කොහොමටත් හැකියාවක් නෑ. අවසන් වසර සිසුන් සඳහා පමණක් පුනරීක්ෂණ පැවැත්වීමට කටයුතු කර තියෙනවා. මොකද, ඒ අය උපාධිය සම්පූර්ණ කළ යුතුයි. එම පරීක්ෂණවලට ඉදිරිපත් ‍ෙවන්නෙ සීමිත පිරිසක්. ඔවුන් 'රැපිඩ් ඇන්ටිජන්' පරීක්ෂණයක් හෝ PCR පරීක්ෂණයක් පැය 48කට පෙර සිදුකර එම සහතික සමඟ ඒවාට සහභාගි විය යුතු වෙනවා. උපාධි ප්‍රදානෝත්සව පැවැත්වීමේ හැකියාවකුත් නෑ. ඒත්, ඔන්ලයින් ක්‍රමයටම එයත් සිදුකිරීමේ අදහසක් අපට නෑ. ජීවිතයේ වරක් පමණක් ලැබෙන මේ අවස්ථාව වෙනුවෙන් හැකි දිනෙක කණ්ඩායම් කිහිපයක් හෝ කොටස් වශයෙන් ගෙන්වා උපාධි ප්‍රදානෝත්සවය සිදුකිරීමයි අපේ අපේක්ෂාව.

 

l ඔබ උපකුලපති වශයෙන් පත්වීමෙන් පසු ‍ගතවූ කෙටි කාලසීමාව තුළ සෞන්දර්ය කලා අධ්‍යාපනයට අදාළව හඳුනාගත් ගැටලු හා කොවිඩ් 19 නිසා ඇතිවී ඇති බලපෑම් කළමනාකරණය කරන්නේ කෙසේද?

සෞන්දර්ය අධ්‍යාපනයට අදාළව ශිෂ්‍යයන්ට මෙන්ම ආචාර්යවරුන්ටත් ඇති ගැටලු වෙනම සාකච්ඡා කළ යුතු තරම් පුළුල් කාරණයක්. මෙහිදී ලෝක බැංකුව මගින් තරඟකාරී ක්‍රමයට ව්‍යාපෘති සඳහා ලබාදෙන මුදල් ගැනීමට නොහැකි වී තිබෙනවා. හේතුව, එවැනි ව්‍යාපෘති යෝජනා ලිවීමට හැකි පිරිස සීමිත වීමයි. කොහොම නමුත් සාකච්ඡා කිරීමෙන් පසු ඊට අඩු මුදලක් අපට ලැබෙනවා. මේ ඔස්සේ ශිෂ්‍යයන්ට රැකියා සඳහා ඇති වෘත්තීමයභාවය වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යම් යම් නවීන ඉගැන්වීමේ ක්‍රමවේද හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙනවා.

ලංකාවේ එකම දෘශ‍ය හා ප්‍රාසාංගික කලා විශ්වවිද්‍යාලය මෙයයි. එසේ වුවත්, මේ විශ්වවිද්‍යාලය පිළිබඳ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සිටින ආචාර්යවරු පවා දන්නා ප්‍රමාණය අඩුයි. සමස්තයක් ලෙස රටේ දන්නා ප්‍රමාණයත් අඩුයි. මේ ගැනත් අපේ අවධානය යොමුවෙනවා.

මේ ශිෂ්‍යයන්ගේ හැකියාවන් සහ අප උගන්වන පාඨමාලා පිළිබඳව රැකියා වෙළෙඳපොළේ දන්නා ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි මේ විශ්වවිද්‍යාලය බ්‍රෑන්ඩ් කිරීමට ගැන (Branding and Positioning) දැන් කටයුතු කරගෙන යනවා.

 

l ඒ යටතේ මොන විදියේ වෙනස්කම් සිදුවෙනවාද?

මෙහි භෞතික ව්‍යුහය වෙනස් කිරීම එකක්. මේ විශ්වවිද්‍යාලයේ තමයි ලංකාවේ සිටින විශිෂ්ටතම වෘත්තීයවේදී කලාකරුවෝ (Profesional Artists) සිටින්නෙ. ඔවුන් සංගීත, නැටුම්, චිත්‍ර, මුර්ති, නාට්‍ය ආදී ඒ ඒ ක්ෂේත්‍රවල සිටින මහා ප්‍රවීණයන්. මේ ප්‍රවීණයො නම් වශයෙන් රට, සමාජය දැන සිටියත් විශ්වවිද්‍යාලයත් සමඟ බද්ධව එලෙස දැනුම්වත් නැති බවක් පෙනෙනවා.

අන්තර්ජාතික තලයට යෑමටත් අපි දැන් කටයුතු කරගෙන යනවා. ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයත් සමඟ එක්වී අපේ විශ්වවිද්‍යාලය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහනක් කරනවා. රුසියානු විද්‍යාර්ථින්ට මෙහි පැමිණ ආචාර්ය උපාධි හැදෑරීමට අවස්ථා සලසාදීමත් කටයුතු කරනවා. මීට අමතරව තුර්කිය, එංගලන්තය, මැලේසියාව වගේ රටවල් සමඟත් අපි සම්බන්ධතා පවත්වනවා. මේවාට කොවිඩ්-19 නිසා යම් බලපෑමක් ඇතිවෙලා තිබුණත් අපි මේ කටයුතු ක්‍රියාත්මක කරනවා.

විශ්වවිද්‍යාලය මගින් සමාජයට විශාල සේවයක් සිදු කිරීම යටතේ මේ වසර තුළ ව්‍යාපෘති 2ක් දියත් කෙරෙනවා. එකක් තමයි VAPA පබ්ලිෂර්ස් යනුවෙන් ප්‍රකාශන ආයතනයක් ආරම්භ කිරීම. මේක හරියට OXFORD UNIVERSITY PRESS වගේ එකක්. මේ ආයතනය ජනවාරි 13 වැනිදා ආරම්භ කළා. මේ ආයතනය මඟින් ප්‍රකාශයට පත්කිරීම සඳහා ලංකාවේ ප්‍රධාන ලේඛකයන්ගෙන් අපට දැනටමත් පොත් 25ක් ලැබිල තියෙනවා.

මේ මඟින් සෞන්දර්ය කලා, සාහිත්‍ය, නිර්මාණ හා සංස්කෘතියට අදාළ වගේම විද්‍යාව හා කළමනාකරණය වැනි විෂයයන්ට අදාළ පොතපතින් ප්‍රසිද්ධියට පත්කිරීමට අපි සූදානම්. මුද්‍රණයෙන් එළිදැක්වීම වගේම ඉ-පොත් (e-books) වශයෙනුත් මේවා පළකිරීමට පුළුවන්. CD, DVD ආදියත් එළිදක්වනවා. කතුවරුන්ට වැඩි කර්තෘ භාගයක් ලබාදීමටත් අපි කටයුතු කරනවා. එය ඔවුන්ටත් ශක්තියක්. මේ ව්‍යාපෘතිය මඟින් අපේ විශ්වවිද්‍යාලයෙ නම ඉදිරියට ගෙන යෑමටත් හැකිවෙනවා.

VAPA TV නාලිකා සඳහා අපට සම්පත් තියෙනවා. නිෂ්පාදනය කළ වැඩසටහන් රාශියක්ම තියෙනවා. විකාශ කටයුතු කරන්නෙ අප විසින්ම නොවන නිසා මේ සඳහා යන වියදම අඩුයි. ඒ සඳහා දැනටමත් PEO TV වැනි මාධ්‍ය තියෙනවා. උදේ වරුව තුළ අපි සැලසුම් කරල තියෙන්නෙ ප්‍රාසංගික හා දෘශ‍ය කලා පිළිබඳ පාසල්, විශ්වවිද්‍යාල හා වෙනත් මට්ටම් සඳහා අධ්‍යාපනික වැඩසටහන් විකාශය කිරීමටයි. සවස්වරුව වෙන් වෙන්නෙ ජනතාව තුළ ඉතා ඉහළ රසඥතාවක් ඇතිවන අන්දමේ සංගීත, නාට්‍ය, චිත්‍ර, මූර්ති වැනි විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමටයි.

මේ මඟින් අපේ විශ්වවිද්‍යාලය ඔස්සේ යම් සමාජ මෙහෙවරක් කිරීම අපේ අපේක්ෂාවයි. එය මේ විශ්වවිද්‍යාලය ජනතාව අතරට රැගෙන යෑමකුත් වෙනවා.

ඔන්ලයින් මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කිරීමේදී ඇතිවන අපහසුතාවලටත් මේ මඟින් යම් විකල්ප පිළියමක් යෙදෙනවා. උදේ වරුව තුළ විකාශනය වන අධ්‍යාපන වැඩසටහන් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වගේම වෙනත් අයටත් හැදෑරීමට පුළුවන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වගේම සාමාන්‍ය පෙළ, උසස් පෙළ හදාරන ශිෂ්‍යයන්ට අවශ්‍ය අධ්‍යාපනික CD ආදිය ලබාගැනීමේදී ඒවායේ ගුණාත්මකභාවය ගැන ගැටලු තියෙනවා. අපේ ආචාර්යවරු ලවා ඒවා සම්පාදනය කරවීම මඟින් නිසි ගුණාත්මක බවකින් යුතුව ශිෂ්‍යයන්ට මේවා ලබාදීමට අපට හැකියාව තියෙනවා. මේ පරිශ්‍රයේ පොත්හලක් විවෘත කරලා ඒවා පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව ලබාදීමටත් අපි කටයුතු කරගෙන යනවා.

විශ්වවිද්‍යාලය අන්තර්ජාතික මට්ටමට ගෙන යෑම අපේ බලාපොරොත්තුවක්. අපේ දෘශ‍ය කලා පීඨයේ ආචාර්යවරු වෙහෙස මහන්සි වෙලා අපේ වෙබ් අඩවිය ජනවාරි 1 වැනිදා සිට ජාත්‍යන්තර මට්ටමින් නව මුහුණුවරකින් එළිදැක්වූවා. ඉදිරියේදී එය තවත් වැඩිදියුණු කෙරෙනවා.

අපි මේ කටයුතු කරගෙන යන්නෙ සැලැස්මක් යටතේ. අපේ බලාපොරොත්තුව මේ විශ්වවිද්‍යාලය වසර 2030 වන විට ආසියාවේ හොඳම ප්‍රාසංගික හා දෘශ‍ය කලා විශ්වවිද්‍යාලය බවට පත්කිරීම තමයි අපේ ඉලක්කය.

 

l සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් ලෙස පිටවන පිරිසගේ වෘත්තීය අනාගතය පිළිබඳ මොන විදිහටද බලන්න පුළුවන් වෙන්නෙ?

අපි බලාපොරොත්තු වෙන්නේ මේ උපාධිධාරීන් ලංකාවේ රැකියා සඳහා යොමුවීම පමණක් නෙවෙයි, විදේශීය වශයෙන් වුණත් ඒ අවස්ථා සඳහා යොමු වීමයි. ඒ සඳහා පසුබිමක් සැකසීමට විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට පෙරදීම සති 2-3ක නේවාසික අධ්‍යාපනික වැඩසටහනක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් දෘශ්‍ය හා ප්‍රාසංගික කලා පිළිබඳ ඉගැන්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

ඉන්දියාවෙ, යුරෝපයෙ වගේ රටවල කලාකරුවෝ ධනවත්. හේතුව ඔවුන්ට උගන්වන්නේ කලාව පමණක් නෙවෙයි, කලාවෙන් මුදල් ඉපැයීමේ කලාවත් ඉගැන්වීමයි. කලාව කලාව සඳහා පමණක්ය කීවෙ ඉස්සර. දැන් කලාව කලාව සඳහා වගේම ආර්ථිකය සඳහාත් බව පිළිගන්නවා. ඉන්දියාව, චිත්‍රපට, සංගීතය, නර්තනය ආදී අංශවලින් විශාල විදේශ විනිමයක් උපයනවා. අපි තවමත් කරන්නේ ඇතැම් ශිල්පීන් විදේශ රටක ප්‍රසංගයක් පැවැත්වීම වගේ දෙයක් පමණයි. ඉන් එහාට ගිහින් ස්ථිර කලාගාරයක් ස්ථාපිත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සිංහල රජ කාලයෙන් පසුව ගල් කැටයම්වලින් කරන මූර්ති පිළිබඳ අපේ වැඩි යොමු වීමක් නෑ. අපේ ආචාර්යවරු පෙන්වා දෙන පරිදි බුදුපිළිමයක් නෙළන්නෙ වුණත් ඒ ගැන හොඳින් ඉගෙනගෙන නෙවෙයි. ඒ මිටි පවා නිරවද්‍ය නෑ, මේවාට ඉඩදීල තියෙන එක ගැන පවා ඔවුන් කනගාටු වෙනවා. සංස්කෘතික අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේවා ගැන ප්‍රමිතිකරණයක් ඇතිකිරීමටත් අපි යොමු වෙනවා. එසේ නොවුණොත් එය බුදුරදුන්ටත් කරන අගෞරවයක්. ඒ විතරක් නෙවෙයි, මූර්ති නෙළීම ගැන මේ දැනුම ලැබීමට හැකි ගල් සහිත අක්කර ගණනක ඉඩමක් අපි හඳුනාගෙනත් තියෙනවා. එය රජයෙන් ලබාදේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එම ස්ථානයේ ගල් කැටයම් උද්‍යානයක් හා විවෘත කලාගාරයක් ඇතිකිරීමයි අපේ සැලසුම. එය සංචාරකයන් ද පහසුවෙන් යොමු කළ හැකි ස්ථානයක්. අපට හරිම දක්ෂ මූර්ති ශිල්පීන් ඉන්නවා. ඒ අය ලවා විවිධාකාර මූර්ති නිර්මාණ කරන්න පුළුවන්.

බොහෝ දෙනා නොදන්නා කාරණයක් වුවත්, අපේ දෘශ්‍ය කලා පීඨයෙ විලාසිතා නිර්මාණය, සෙරමික් කලාව, ස්වර්ණාභරණ නිර්මාණය මෙන්ම ඩිස්නි කාටුන් තරම්ම නැතිනම් ඊටත් වඩා උසස් කාටුන් නිර්මාණය කළ හැකියාවක් තියෙනවා. ඉදිරි කාලයේ මේවාට යොමුවීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ ව‍ෙග්ම ෆැෂන් ෂෝ එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

අපේ තානාපති අංශවල සහයෝගය ඇතිව ප්‍රංසය වගේ රටවල් සමඟ අපේ සම්බන්ධතා වැඩිදියුණු කරගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වගේ අරමුණු ඇතිව තමයි, අපි දින දර්ශනය, දිනපොත පවා සැලසුම් කළේ. ලංකාවේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට අවශ්‍ය අවස්ථාවලදී නර්තන සංගීත ආදී සංස්කෘතික අංග සැපයීමටත් අපට පුළුවන්කම තියෙනවා. මේවායින් ආදායමක් වගේම පුහුණුවකුත් ලබන්න පුළුවන්.

හොඳ ගුරුවරු නැත්නම් හොඳ ශිෂ්‍යයො හමුවෙන්නෙ නෑ. ඒ නිසා අපි හොඳ ගුරුවරු බිහිකළ යුතුයි. ඒ අතරම අලෙවිකරණ, දැන්වීම් ප්‍රචාරණ ආදී ක්ෂේත්‍රවලටත් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කිරීමට පාඨමාලාවල යම් වෙනස්කම් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. කලාවත් සමඟ විද්‍යාව, කළමනාකරණය වගේ විෂයය ධාරාවල අංශත් ඒ දැනුමත් එකතු වීමෙන් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්.

 

l මෙහිදී මතුව තිබෙන ප්‍රශ්න හා ඒවාට විසැඳුම් හඳුනාගෙන තියෙනවාද?

අපට තියෙන්නෙ සීමිත ඉඩකඩක්. මේ පරිශ්‍රය අක්කර 2කටත් අඩුයි. හේවුඩ් පරිශ්‍රය අක්කර 1/2. තව අක්කර 2ක්වත් අපට රජයෙන් ලැබුණොත් ඉතාම ප්‍රයෝජනවත්. කොළඹ නගරයෙන් දැනටමත් අප හඳුනාගෙන ඇති පරිශ්‍ර ගැන සාකච්ඡා කර තියෙනවා. ඒ ගොඩනැගිලි අපේ විශ්වවිද්‍යාලයට හරිම වටිනවා. රජයේ පැරැණි ගොඩනැගිලි ඵලදායිතාව අතින් ඉහළම ප්‍රතිඵල ලැබෙන පරිදි පාවිච්චි කරන්න රජය තීරණයක් අරන් තියෙන්නෙ. අපට මේවා ලැබුණොත් තවත් ළමයි 500ක් අපට වැඩිපුර ඇතුළත් කර ගැනීමට පුළුවන්. මම ඒ පොරොන්දුව දෙනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ තුන්වැනි උප කුලපති වශයෙන් ලබපු අත්දැකීම් එක්ක අපේ කළමනාකරණ හැකියාවන්ගෙන් දැනුමෙන් යමක් කරන්නයි අපේක්ෂා කරන්නෙ. දැනටමත් කෙටි කාලයක් තුළ මේ විශ්වවිද්‍යාලයෙ තිබුණු ප්‍රශ්න ගණනාවක් විසඳන්න අපට පුළුවන් වෙලා තියෙනවා. මහාචාර්ය සෞම්‍ය ලියනගේගේ ප්‍රශ්නය වගේම තවත් අයට සිදුවු අසාධාරණයන්ටත් අපිට විසැඳුම් ලබාදීමට හැකි වුණා.

මේ විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රශ්නයක් තමයි, ළමයි ඇතුළත් කර ගැනීමේ අභියෝග්‍යතා පරීක්ෂණ විද්‍යා, කළමනාකරණ වගේ වෙනත් සමාජ විද්‍යා ‍ක්ෂේත්‍රවලත් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර, විෂයය නිර්දේශ පිළියෙල කරන්නෙ වගේම උසස් පෙළ විභාගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන අධීක්ෂකවරු හැටියට කටයුතු කරන්නෙ විශ්වවිද්‍යාල ආචාර්ය - මහාචාර්යවරු. ඒත් මේ සෞන්දර්ය කලා විෂයය ක්ෂේත්‍රය පමණක් සංගීතය, නැටුම්, නාට්‍ය, චිත්‍ර හා මූර්ති වගේ විෂයයන්වලට උසස් පෙළ විෂයය නිර්දේශ හදන්නෙ මේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු නෙවෙයි. ප්‍රශ්න පත්‍ර හදන්නෙත් ඔවුන් නොවේ. ජ්‍යෙෂ්ඨ ප්‍රධාන අධීක්ෂකවරු හැටියට උසස් පෙළ විභාගයෙන් කටයුතු කරන්නෙ ඔවුන් නෙවෙයි. මේ විදිහට පිටස්තර අය මේවා හදල අපට, ළමයින්ව ගන්න කියනවා. ඒත් අපට අවශ්‍ය සුදුසුකම් සහිත ළමයි එතැනින් බිහිවීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි අපි අභියෝග්‍යතා පරීක්ෂණයක් තියලා ළමයි ගන්නෙ. මෙතැනදි A සාමර්ථයක් ඇති ළමයෙක් වුණත් නොතේරෙන්න පුළුවන්. මේක අපි මොන තරම් පැහැදිලි කළත් ජාතික අධ්‍යාපන ආයතනය ඊට සවන් දෙන්නේ නෑ. කලින් ඉඳලම මේ ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් එක්ක සාකච්ඡා කරලත් තියෙනවා. දැනුත් ‍අපි සාකච්ඡා කරනවා. තවම පිළියමක් නැතත් මේ වසර ඇතුළත අපි ඒ පිළියම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. රජය එය පිළිගත්තොත් මෙවර අ. පො. ස. සාමාන්‍ය පෙළ කරල උසස් පෙළට යන ළමයින්ගේ සිට මේ පරීක්ෂණය කරලා කෙළින්ම බඳවා ගැනීමට පුළුවන්.

තවත් ප්‍රශ්නයක් තමයි, ආචාර්යවරු බඳවා ගැනීමේදී මතුවන ප්‍රශ්නය. එක් තනතුරක් සඳහා 10 දෙනෙක් ඉල්ලුම් කළොත් ඒ හැමෝම අහන්නෙ ඇයි මාව ගත්තෙ නැත්තෙ කියලා. ඊළඟට අධිකරණයට යනවා. මං හිතන්නෙ ලංකාවෙ කිසිම විශ්වවිද්‍යාලයක මේ ප්‍රශ්නය නෑ. අපි බඳවා ගන්නෙත් අනෙක් විශ්වවිද්‍යාලවල පිළිවෙළටමයි. ඒත් මේ සඳහා මීට වඩා සාධනීය ක්‍රමයක් ඉදිරිපත් කරලා මේ ප්‍රශ්නයටත් පිළියමක් යොදන්න අපි වෑයම් කරනවා. ආචාර්යවරුන්ගේ දැනුම, ශිල්පීයභාවය හා ආකල්ප කියන මේ අංශ 3ම පරීක්ෂාවට ලක්කරලා බඳවා ගැනීම් කරන්නයි අපි අපේක්ෂා කරන්නෙ. ආචාර්යවරුන්ට තර්ජන එල්ල වන අවස්ථාත් තියෙනවා. මෑතදීත් එවැනි සිද්ධියක් පොලිසිය දක්වා ගියා. ඒ ශිෂ්‍යයාගේ තරුණභාවය සලකලා අප එය ඉදිරියට ගෙන ගියේ නෑ. ඒත් මේ වගේ දේවල් ගැන අපට තවදුරටත් නිහඬ වීමට හැකියාවක් නෑ.

මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරලා වසර 15ක් තිස්සේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන අතර මේකෙ නම ඉංග්‍රීසි හා සිංහලෙන් දෙවිදිහකට භාවිත වීම නිවැරදි කරලා දැනට ලෝකයේ ලියාපදිංචි ඉංග්‍රීසි නමේ පරිවර්තනය යොදන්නත් කටයුතු කරනවා.

ධම්මික සෙනෙවිරත්න

නව අදහස දක්වන්න