මනුසතුන් නිසා වඳ වී යන වනසත්තු | දිනමිණ

මනුසතුන් නිසා වඳ වී යන වනසත්තු

මධ්‍යම කඳුකරය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ඉතා ඉහළින්ම පවතින කලාපයකි, ඒ අතරින් 1940 දී හෙක්ටයාර් 35,308ක් වූ සමනල අඩවිය වනජිවි කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර පසුව ඉන් හෙක්ටයාර් 12,979ක් අතිසංවේදි පරිසර කලාපයක් ලෙසද ප්‍රකාශයට පත් කරන ලදි. ලංකාවේ ප්‍රධානතම ගංගා හතර වන මහවැලි, කළු, කැලණි සහ සහ වලවේ ගංගාවලට ආරම්භක ස්ථානය වන මෙහි පවතින වැසි වනාන්තර සහ ජල පෝෂක ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අතින් පොහොසත් කලාපයකි. මෙම කලාපයෙන් පමණක් ෙමරටට ආවේණික පක්ෂි විශේෂ 33ක්, ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ 08ක් හමු වී ඇති අතර එය වලහා හැර අනෙක් සියලු ක්ෂීරපායි සතුන්

ජිවත් වන පරිසර  පද්ධතියකි.

බරපතළ අභියෝග

වනජීවියේ වගකීම

 

කෘමිනාශක ජලයට මුසු වීම

ලෝකයේ සෙසු රටවල් හා සසඳන කල ජෛව විවිධත්වය අතින් ශ්‍රී ලංකාව සාර භූමියකි. ලංකාවේ පවතින දේශගුණික විෂමතාව මීට බලපා ඇතැයි වැඩි පිරිසකගේ මතයයි. මේ නිසා සොබා දහමින් අපට ලැබී ඇති වටිනාකම් බොහෝය. අපටම ආවේණික වුත් ලොව දුර්ලභ වුත් ජෛව සම්පතක් අප සතුව ඇත. භූමි ප්‍රමාණයෙන් කුඩා වන මුත් මේ ක්ෂේම භුමිය තුළ පවතින ජෛව විවිධත්වය නිසා අදටත් මතුවටත් ආරක්ෂා කර ගත යුතු සම්පතක් අප අබිමුවේ පවති.

ශ්‍රී ලංකාවේ මුළු භුමි ප්‍රමාණයෙන් සියයට 14ක් වන ජිවි සහ වන සංරක්ෂණ කලාප ලෙස වෙන් කර රජය මඟින් වන සතුන් සහ වෘක්ෂලතාවන්ට වෙන් වු කලාපයක් ප්‍රකාශයට පත් කර ඇත. මේ අතිශය සීමිත වු භූමි ප්‍රමාණය තම නිවස්නය කර ගෙන ජිවත්වන වන සතුන්ට ඇති එකම හිමිකම මේ ලඝු වු භූමි ප්‍රමාණය පමණක්ම නොවේ. මෙහි වෙසෙන සතුන්ට මේ භූමිය උපරිම ආරක්ෂාව තහවුරු වුණු කලාපයක් ද නොවේ. දිනෙන් දින මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හැකිළෙන ඔවුන්ගේ නිදහස සහ ජීවත්වීමේ වරම අද අභියෝගාත්මක මාතෘකාවක් බවට පත්ව ඇත.

මීට මාස කිහිපයකට පෙර අපේ දෑස් මානයට ආගන්තුකයකු වු කළු කොටියා ඇතුළු කොටි පවුලේ කිහිප දෙනකුගේ මිය යෑම තරමක් විවාදාපන්න මාතෘකාවක් බවට පත් විය. සොබා දහම මිනිසාට සම්පතක් නම් ඒ සම්පත රැක ගැනීමේ භාරධුර වගකීම මිනිසාට පැවරී තිබීම යුක්ති යුක්තය.

 

වන සතුන්ගේ ආරක්ෂාව යනු වනජීවි නිලධාරීන්ගේ වගකීම බවට මතයක් සමාජගතව පවතී. අලි මිනිස් ගැටුම වැනි අප්‍රසන්න මාතෘකා හේතුවෙන් මිනිසා විසින් වන අලියා තම සංවේදි මනසින් උගුල්ලා දමා තිබීමට ද ඔවුන්ට සාධාරණ හේතු තිබීමට පුළුවන. එහෙත් සමස්ත පරිසර පද්ධතිය විෂයෙහි අද පවතින අභියෝගයට මේ සෑම සත්ත්ව කොට්ඨාසයක්ම මුහුණ දී සිටී.

අප රටේ වන සත්ත්ව සම්පත අතරින් අද වඳ වි යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව කොට්ඨාස බොහොමයකි. ඇතැම් සතුන් අපේ රටට පමණක් ආවේණික අතිශය වටිනාකමකින් යුක්තය. තවත් පිරිසක් ලොව වෙනත් රටවලින් හමුවන මුත් අපේ රටේ දුර්ලභය. බිළාල පවුලේ දැවැන්තයා වන කොටියා ගැන විටින් විට ඇසුණු පුවත් හද සංවේදී කරවු අතරම වනජිවි සංරක්ෂණය භාරව සිටින පිරිස්වලට දැඩි චෝදනා ද එල්ල විය. එහෙත් මේ මාතෘකාවේ ඇතුළාන්තය නොදැන මේ ගැන තිරණයකට එළැඹීම සාධාරණ නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ ඉතා සිමිත ගහනයක් පවතින දුර්ලභ සත්ව කොට්ඨාසයක් ලෙස කොටියා සුවිශේෂිය. කළු කොටියා, සුදු කොටියා ලෙස විටින් විට හමුවන කොටි විවිධ වර්ණවලින් දක්නට ලැබෙන්නේ සත්ව ප්‍රභේදයක් නිසා නොව කොටි පවුලටම අයත්වන මුත් උපතින්ම ජානවල ඇති වුණු සුවිශේෂි වෙනස්කම් නිසාය. එමෙන්ම ලංකාවෙන් හමුවන බිළාල පවුලේ සාමාජිකයන් සිව්දෙනෙක් වන අතර ප්‍රමාණයෙන් ලොකු කොටියා, හඳුන් දිවියා, ජංගල් කැට් නමින් හඳුන්වන වල් බළලා, සහ කොළ දිවියා දුර්ලභ මුත් ලොව වෙනත් රටවල්වල ද ජීවත් වෙති. කොටින්ට ප්‍රසිද්ධ විල්පත්තු අභය භුමියෙන් ද හමුවන්නේ මේ කොටියාම වන ලංකාවට අවේණික උප විශේෂයකි. කලින් කලට මිය ගිය කොටින්ගේ මළ සිරුරු හමු වීම නිසා මේ සතුන් ආරක්ෂා කර ගැනීමට වගකිව යුතු පාර්ශ්ව කටයුතු නොකරන බවට චෝදනා එල්ල වෙයි. දැනට සිදු කර ඇති පරීක්ෂණ අනුව හිතා මතා කොටින් ඝාතනය කිරීමේ සිද්ධි හමු නොවන මුත් කොටියාට මෙවැනි අවාසානාවන්ත ඉරණමකට ගොදුරු වීමට ආසන්නතම හේතු වි ඇත්තේ දඩයක්කරුවන් විසින් වෙනත් සතුන්ට අටවන මදුවලට මෙම සතුන් හසු වීමයි. ඇතැම් විට මස් පිණිස සතුන් සොයා වනජිවි රක්ෂිතවලට නීති විරෝධීව ඇතුළු වන දඩයක්කරුවන්ගේ මදුවල පැටලීමෙන් මේ සතුන් මාරාන්තික තුවාල ලබා ජීවිතයට සමු දෙයි.

 

මෙරට වනජීවි සම්පත මුහුණ පා තිබෙන බරපතළම අභියෝග වන්නේ සතුන් අල්ලා ගැනීමට නීති විරෝධි තුවක්කු භාවිත කිරීම, හක්කපටස් යෙදීම සහ මදු ඇටවිමයි. මේ අවදානම ලංකාවේ එක් කලාපයක පමණක් නොව සෑම ප්‍රදේශයකම පවතින ගැටලුවකි.

මධ්‍යම කඳුකරය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ඉතා ඉහළින්ම පවතින කලාපයකි, ඒ අතරින් 1940 දී හෙක්ටයාර් 35,308ක් වු සමනල අඩවිය වනජිවි කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර පසුව ඉන් හෙක්ටයාර් 12,979ක් අති සංවේදි පරිසර කලාපයක් ලෙස ද ප්‍රකාශයට පත් කරන ලදී. ලංකාවේ ප්‍රධානතම ගංගා හතර වන මහවැලි, කළු, කැලණි සහ සහ වලවේ ගංගාවලට ආරම්භක ස්ථානය වන මෙහි පවතින වැසි වනාන්තර සහ ජල පෝෂක ප්‍රදේශය ලංකාවේ ජෛව විවිධත්වය අතින් පොහොසත් කලාපයකි. මෙම කලාපයෙන් පමණක් මෙරටට ආවේණික පක්ෂි විශේෂ 33ක්, ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ 08ක් හමු වි ඇති අතර එය වලහා හැර අනෙක් සියලුම ක්ෂීරපායි සතුන් ජිවත්වන පරිසර පද්ධතියකි. මෙම පරිසර කලාපය තුළ ඉතා විස්තෘත වු උභය ජිවි ප්‍රභේද සිටිය හැකි බවට මත පළවන මුත් ඒ සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ සිදු කර නොමැත. එහෙත් සමනල අඩවිය පරිසර පද්ධතියෙන් හමු වි ඇති සියලුම කකුළු විශේෂ ලංකාවට ආවේණිකය.

එමෙන්ම මධ්‍ය කඳුකරයේ සිටින කළු වදුරා මෙන්ම වියළි කලාපයේ බහුලව දැකිය හැකි රිළවා ද ලංකාවට ආවේණිකය. බිළාල පවුලේ සාමාජිකයෙක් වන දුලභ සත්ත්වයෙක් වන වල් බළලා සහ වියළි කලාපයෙන් හමුවන අතර උණහපුළුවා ද අපට අවේණික සතුන්ය. ලංකාවට ආවේණික පක්ෂින් අතර වලි කුකුළා, අළු කෑදැත්තා, වත රතු මල් කොහා, ගිරා මලිත්තා, කැහි බෙල්ලා, ශ්‍රි ලංකන් ඩ්‍රොන්ගෝ කිහිපදෙනෙකි.

එමෙන්ම ලෝකයේ හමුවන වලස් පවුලට අයත් මුත් ඉතා දුර්ලභ මන්ද වලහා ලංකාවේ ජිවත් වෙයි. යාල සහ උතුරු කලාපයේ මන්නාරම යන ඉතා කුඩා භූමි ප්‍රමාණයකට සීමාවන මෙම වලහාගේ වාසභූමිය කුඩා වීමම මෙම සතුන්ට එල්ල වන ජිවිත තර්ජන වැඩි වීමටත් ගහනය අඩුවීමටත් බලපා තිබේ. වලසා සර්ව භක්ෂකයකු වන අතර සතුන් දඩයම් කර ආහාර සොයා නොගෙන වෙනත් සතුන් දඩයම් කළ සතුන්ගේ ශරීර කොටස් ආහාරයට ගැනීම විශේෂත්වයයි.

මෙරට සත්ව සම්පත මෙතෙකැයි කියා හෝ වඳ වී යෑමේ අවදානම හෝ පෙර ජීවත්ව වඳ වී ගිය සත්ව කොට්ඨාස මෙතෙකැයි කියා කිව හැකි කෙනෙක් ද නොමැත. එසේ මුත් අපේ පෙර මතකය අවුස්සා බලන විට ඇතැම් සතුන් අද දැකිය නොහැකි බව කිව හැකි නෙවේ ද? බත් කූරා සහ සිරිපාද සමය තුළ දක්නට ලැබුණු ඇතැම් සමනල විශේෂ අද දක්නට නොමැති තරම්ය. ඇතැම් සමනලයින් සිය ජීවන චක්‍රය ගත කරන්නේ පරිසර පද්ධතියේ ශාක කිහිපයක් මත පමණි. සස්සඳ බලුනගුට ආදි ශාක මීට හොඳම උදාහරණයයි. එහෙත් මේ ශාක ද අද වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇත.

ලංකාවේ ජෛව විවිධත්වය මේ තරමින් හකුළුවා දැක්වීම කිසිසේත්ම සාධාරණ නොවන අතර ලංකාවේ සමුද්‍ර කලාපය මීටත් වඩා පුළුල් සහ සුවිශේෂී ජෛව විවිධත්වයකින් යුක්තය. අපේ ජෛව සම්පත දැන හැඳින ගැනීම සේම ලංකාවේ ජෛව විවිධත්වය සහ වන සතුන්ට ඇති අභියෝග හඳුනාගෙන සාකච්ඡාවට ලක් කර වන සතුන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට මිට වඩා පුළුල් වගකිමක් දැරිය යුතු බව කතිකාවක් මතු විය යුතු බවත් අමුතුවෙන් කිව යුතු නොවේ.මුළු ලෝකයටම බලපා ඇති උෂ්ණත්වයේ ඉහළ යෑම සමනලයින් වැනි ඇතැම් සතුන්ට බලපා ඇති මුත් තවත් පොදු වු සතුරන් සමුහයක් ලොව වටිනා සත්ව සම්පත අභිමුවේ සිටින බව කිව යුතුය.

විවිධ වර්ගයේ දුර්ලභ සතුන් මිය ගොස් සිටින දසුන් දකින විට හද කම්පා වන මුත් මේ බොහොමයක් සිදු වීම් පිටුපස සිටින්නේ මිනිසාමය. විශේෂයෙන්ම දිනෙන් දින වන සතුන්ට අයත් වාස භූමිය හැකිළීම ඔවුන් මුහුණ පා ඇති බරපතළ ජීවිත අභියෝගයයි. සංවර්ධන ව්‍යාපෘති, මිනිස් ජනාවාස ඇති කිරීම වැනි හේතු නිසා වනාන්තර එළි කිරීම තුළින් ජෛව විවිධත්වයට බලපා තිබෙන තර්ජනය සුළු පටු නොවේ. එමෙන්ම මේ හේතුවෙන් වනාන්තර ඛන්ඩනය වීම තුළින් වන සතුන්ගේ ජීවන චක්‍රයට සිදු කර ඇති බලපෑම ද බරපතළය. පරිසර පද්ධති තුළ පිහිටා තිබෙන වනාන්තර සියල්ල ස්වභාවිකවම දම්වැලක් සේ යා වී තිබෙන්නේ වන සතුන්ගේ පැවැත්ම උදෙසාය. එහෙත් මේ දම්වැල මිනිස් ක්‍රියාකාරකම් නිසා තැනින් තැන ඛන්ඩනය වුව හොත් වන සතුන් එකිනෙකා වෙන වෙනම කුඩා කලාපවට කොටු වීම සිදුවෙයි. මේ හේතුවෙන් මේ සතුන්ගේ ප්‍රජාව බෝ වීමට බාධා ඇති වෙයි. එකම ඥාති වර්ගයා අතර විවාහ වීම් සිදු වන විට උපත ලබන දරුවන්ට ජානමය විකෘතිතාවයන් නිසා රෝග ඇති වන්නාක් සේම එකම පරම්පරාවේ සතුන් බිහිවිමෙන් දුර්වල පරම්පරාවක් බිහිවිම අද සත්ව ප්‍රජාව ද මුහුණ පා ඇති එක් ඛේදනීය ඉරණමකි. එමෙන්ම මෙම ජානමය දුර්වලතා නිසා බාහිරින් රෝගයක් පැමිණය ද ඊට මුහුණ දීමට ශක්තියක් මේ සතුන්ට නොමැත.

එමෙන්ම සත්ව චර්යාවන්ගේ ඇතැම් හැඩ ගැසීම් මානව සමාජයේ සදාචාරාත්මක සිරිත් සම්ප්‍රදායන් තරමටම දැඩිය. එමෙන්ම ශක්තිමත්ය. මිට හොඳම නිදසුන ඇතැම් සතුන් තම වැඩි වියට පැමිණි පිරිමි සතුන් රැළෙන් පන්නා දමයි. මීට හේතුව තම මව්, මව් පරම්පරාවේ ස්ත්‍රි වර්ගයේ ඥාතීන් තම සහෝදරියන් සමඟ ඇති විය හැකි ලිංගික සම්බන්ධතාවලට ඇති ඉඩ ඇහිරීමටය. එසේ රැළෙන් පිටමං කරන ශක්තිමත් පිරිමි සතුන්ට තම ඥාති නොවන සහකාරියන් සොයා යෑමට සහ තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට වෙනම වාසභූමියක් පැවතිය යුතුය. වනාන්තර ඛන්ඩනය විමෙන් මේ අවශ්‍යතා සියල්ලට බාධා පැමිණෙයි. ලංකාවේ දැනටමත් වනජීවි රක්ෂිත එකිනෙකට හුදෙකලාව වෙන් වි තිබීම සත්ව ප්‍රජාවේ පැවැත්මට බාධාවකි .

 

එමෙන්ම ලංකාවේ ජලාශ ආශ්‍රිතව ජීවත් වන සතුන් මුහුණ දී තිබෙන අභියෝග වන්නේ සංවර්ධන ව්‍යපෘති හේතුවෙන් ජලජ පරිසර පද්ධතියට රොන් මඩ එකතු විම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදන කෘමිනාශක වර්ග ජලයට මුසු වීමෙන් වන හානියයි. එමෙන්ම ලංකාවේ පරිසර පද්ධතියට නොගැළපෙන ශාක වර්ග ශීඝ්‍රයෙන් පැතිරයෑමත් තවත් හේතුවකි.

කෙසේ වෙතත් වනජිවි සම්පත ආරක්ෂා කර ගැනීම ද පරිසර කළමනාකරණයකි. විදෙස් රටවල්වලින් අපට මේ සඳහා ගත හැකි ආදර්ශ බොහෝය. තායිලන්තය වැනි රටවල්වල වන සතුන්ගේ ආරක්ෂාව හදිසි අනතුරුවලදී ක්ෂණික ප්‍රතිකාර සේවාවන් පවතී. ගිලන් රථ, ක්ෂණික පශූ වෛද්‍ය සේවාවන් ඉහළ කළමනාකරණයකින් සිදු වෙයි. එමෙන්ම වටිනා දුර්ලභ වන සතුන්ගේ වාසභූමි වෙනම අධි ආරක්ෂිත කලාප ලෙස වෙන් කර ඇති අතරම ඒවා සංචාරකයින්ට ද විවෘත නොකරයි. මෙවැනි දැඩි තීරණ ගනු ලබන්නේ මේ සතුන් මිහිමතින් තුරන් වීමේ අවදානමින් මුදවා ගනු පිණිසය.

එමෙන්මම රටක ජෛව විවිධත්වය විදේශ විනිමය උත්පාදනය කළ හැකි ක්ෂේත්‍රයකි. අපේ රටේ ද මේ සඳහා හොඳ ප්‍රවේශයක් ඇති මුත් එය තවදුරටත් වැඩි දියුණු කළ යුතුව ඇත. උද්භිද උද්‍යාන එළමහන් සත්ව උද්‍යාන, වනෝද්‍යාන සඳහා ප්‍රවේශ වන ස්ථානවල ඒ සඳහා සංචාරකයන් ආකර්ෂණය කරන විවිධ මාදිලියේ නිර්මාණ කර තිබීම සංචාරක ව්‍යාපාරය ආර්ථික මර්මස්ථානයක් බවට පත් කරගෙන ඇති බොහොමයක් රටවල දක්නට ලැබෙයි. එමෙන්ම ලංකාවේ ජෛව විවිධත්වයේ තවමත් සැඟවුණු රහස් අනල්පය. ඒ සඳහා පර්යේෂණ ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම, වන සතුන්ගේ ආරක්ෂාව සඳහා යෙදි සිටින සේවක සංඛ්‍යාව වැඩි කිරීමත් කාලීන අවශ්‍යතාවකි.

ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් අපේ රටට බොහෝ දුර ගමනක් යා හැකිව ඇත. ඒ සඳහා දරුවන්ගේ සිට සියලු පාර්ශ්වවලට අවබෝධයක් සහ හැඟිමක් ඇති කළ යුතුව ඇත. එසේ නොවුණහොත් ලෝක සිතියම තුළ අපේ අනන්‍යතාව වැඩි කල් නොයෑමට මත්තෙන් ගිළිහි යනු නොඅනුමානය.

 

 

සකුන්තලා ජයසිංහ

ඡායාරූප

රෝහිත ගුණවර්ධන

වනජීවි දෙපාර්තමේන්තුව

නව අදහස දක්වන්න