'Q' ෂොප් ඇරඹුවේ ගම්වලින් නව ව්‍යවසායකයන් බිහි කරන්නයි දේශීය නිපැයුම්වලට මින් හොඳ තැනක් ලැබේවි | දිනමිණ

'Q' ෂොප් ඇරඹුවේ ගම්වලින් නව ව්‍යවසායකයන් බිහි කරන්නයි දේශීය නිපැයුම්වලට මින් හොඳ තැනක් ලැබේවි

ඇමැති, ආචාර්ය

බන්දුල ගුණවර්ධන

'Q' ෂොප්

ඇමැති  නාමල් රාජපක්ෂ

විරැකියාවටත් විසඳුමක්

 

නව ව්‍යවසායකයන් ගමින් ගමට බිහි කිරීමටත් දේශීය නිෂ්පාදනවලට වඩා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කිරීමටත්, අවසානයේ තරගකාරී වෙළෙඳපොළෙන් පාරිභෝගිකයාට අඩු මිලකට ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුතුව රජයේ වගකීම සහිතව භාණ්ඩ මිලදී ගැනීමටත් අවස්ථාව උදා කිරීම සඳහා 'Q' ෂොප් අරම්භ කළ බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (12) ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේ දී 'Q' ෂොප් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය

"අද දිනය අලුත් දේ අත්හදා බලන වැදගත් දිනයක් වෙනවා. නිදහස් චතුරශ්‍රය ඉතා වටිනා බිම් ප්‍රදේශයක් බවට පත් කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධනය භාර ලේකම්ව සිටි සමයේයි. ඒ සමයේ මේ හැම බිම් අඟලක් පුරා දුව පැන ඇවිදිමින්, මෙහෙයවමින් මෙම ප්‍රදේශය පරිසර හිතකාමී දර්ශනීය ප්‍රදේශයක් බවට පරිවර්තනය කළා. නව රජය බලයට පත් වෙන අවස්ථාවේ දී වසර පහක් දිගින් දිගටම සියලුම අංශ කඩා වැටිලයි තිබුණෙ. එහිදී කෘෂිකර්මාන්තය, කර්මාන්ත සේවා අංශ, රාජ්‍ය ආයතන නැවත ශක්තිමත්ව ගොඩනැංවීම සඳහා මෙහි භාරකාරත්වය නීතිඥවරියකට බාර දී අවට සංවර්ධනය කර Q අ‍ෙලවි සල් සංකල්පය ආරම්භ කර තිබුණා. මෙහි මූලික අරමුණු කිහිපයක් තිබෙනවා. අඩි හතළිහක කන්ටේනරයක් තුළ මිණි සුපර්මාර්කට් එකක් කන්ටේනරයක් තුළ ලෙස නොදැනෙන ආකාරයට නිර්මාණය කිරීම එක් අරමුණක්. ඒ තුළ ගුණාත්මකත්වයෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ පමණක් අළෙවි කිරීමටත්, ඒ භාණ්ඩවලින් මේ රට තුළ සිටින ස්වජාතික නිෂ්පාදකයන්ගේ භාණ්ඩවලට ප්‍රමුඛතාවයක් ලබා දීමටත්, ඒ මඟින් ස්වජාතික රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිෂ්පාදන භාණ්ඩවලට වෙළෙඳපොළක් සකස් කර දීමටත් අපේක්ෂා කරනවා. ඊළඟට වෙළෙඳපොළේ පවතින ඉහළ මිල ගණන්වලට සාපේක්ෂව සැසඳීමේදී තරගකාරී ලෙස අඩුම මිලකට භාණ්ඩ අලෙවි කිරීම හා සාධාරණ වෙළෙඳාමේ පෙරගමන්කරුවෙක් ලෙස ක්‍රියා කිරීම වැදගත්.

"ලෝකයේ බලසම්පන්න රටවල් ඉතිහාසයේ නොසිතූ වසංගතයකට ලක් වෙලා සිටිනවා. රැකියා කළ අය ලක්ෂ ගණනින් රැකියා නැති ගොඩට එකතු වෙලා තියෙනවා. කර්මාන්තශාලාවෙන් ශාලාව වැසෙනවා. බැංකුවෙන් බැංකුව කඩාගෙන වැටෙනවා. රටවල්වල ගුවන් තොටුපොළවල් වැසෙනවා. වරායවල් වසා දමලා සැපයුම් ක්‍රියාදාමය සම්පූර්ණයෙන් අඩපණ වෙලා. එවන් තත්ත්වයක් තුළ දී මේ අභියෝගයට අභියෝග කරමින් යළිත් රට නැඟා සිටුවීම සඳහා ජනාධිපතිතුමන්ගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ වැඩ කරන රටක් ඇති කිරීමටත්, වැඩ කරන ව්‍යවසායකන් පිරිසක් සමඟ අලුත් ගමනක් යෑමටත් අප සියලු දෙනා එක් වී වැඩ කළ යුතුයි."

මෙහිදී තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමැති නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

"Q ෂොප් දෙවැනි අළෙවි සල විවෘත කෙරෙන අවස්ථාවට එක්වීමට ලැබීම සතුටක්. පසුගිය කාලයේ දී ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමඟ අප දිගින් දිගටම සාකච්ඡා කරලා එක පැත්තකින් රටට හොඳ තරුණ ව්‍යවසායකයන් ගොඩනැංවීම සඳහා සැලසුමක් සකස් කරමින් සිටින අවස්ථාවකයි අප තීන්දු කළේ තරුණ හා දේශීය ව්‍යාපාරිකයන්ට අතහිත දෙන වැඩපිළිවෙළක් සකස් කරන්න. Q ෂොප් සංකල්පය තුළ බලාපොරොත්තු වන්නේ ඒ සඳහා අවශ්‍ය දක්ෂ තරුණ ව්‍යවසායකයෙක් හා දේශීය නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කිරීමයි. අපේ අමාත්‍යාංශය යටතේත් කුඩා ව්‍යාපාර අංශය තුළ දහස් ගණනක් කුඩා ව්‍යාපාර කරන මවුපියන් ඉන්නවා. ඒ වගේම තමයි මේ රටේ පාරම්පරිකව කරගෙන යන කර්මාන්ත තිබෙනවා. ව්‍යාපාර තියෙනවා. අද ඒ අයගේ වෙළෙඳපොළ පිළිබඳ ඔවුන්ට ගැටලුවක් තිබෙනවා. ඊට විසඳුමක් දීමට තමයි Q ෂොප් එන්නේ. ඒ තුළ තරුණ ව්‍යවසායකයෙක් බිහි වෙනවා. අප විශ්වාස කරන කාරණය තමයි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතුයි යන්න. එසේ වන විට ස්ථිරසාර පරිසරයක් සමඟ ව්‍යවසායකයා වටේ බැඳුණු ජාලයක් එනම්, එකෝ ක්‍රමවේදයක් අප සෑදිය යුතුයි. එවිට තමයි Q ෂොප් සමඟ එක් වූ ව්‍යාපාර ජාලයක් ඇති වෙන්නේ. අද ශ්‍රී ලංකා පදනම් ආයතනය දෙවැනි Q ෂොප් එක ඇති කිරීමට ඉදිරිපත් වී තිබෙනවා.

"අප රටක් ලෙසත් ලෝකය ලෙසත් මේ වන විට විශාල අභියෝගයකට ලක් වී තිබෙන අවස්ථාවකයි සිටින්නේ. අප දැන් බොහෝ විට කතා කරන්නේ මේ රටට නැවත විදේශ ශ්‍රමිකයන් ගෙන්වීම ගැනයි. ඒ සියලු දෙනා නොමිලේ ආණ්ඩුවේ නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කොට රඳවා තබන්න අප පියවර ගත්තා. මුදල් ගෙවා තමන් කැමති ස්ථානවල සිටීමේ හැකියාව ද තිබෙනවා. නමුත් මින් එහාට ගිය ගැටලුවකුත් තිබෙනවා. අපේ ශ්‍රමිකයන් ගෙන්වා ගන්න අප කතා කරන විට අපේ අවට රටවල් ඒ අයගේ ශ්‍රමිකයන් වෙනත් රටවලට රැකියා සඳහා යැවීමට කතා කරනවා. බන්දුල ඇමැතිවරයා සමඟ ව්‍යවසායකයන් ගැන කතා කළාම සෑම ගමකටම ව්‍යවසායකයෙක් හදන්න ඕනෑ කියන කාරණය අප ප්‍රකාශ කළා. අපේ කුඩා ව්‍යාපාර අංශයේ නිෂ්පාදන විකුණන්න අවශ්‍ය වෙළෙඳපොළක් නිර්මාණය කරන්න අවශ්‍ය බව කිව්වාම ඒ මහතා අපිට Q ෂොප් සංකල්පයත් සමඟ අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. දැන් කොළඹ තවත් Q ෂොප් දෙකක් ආරම්භ වුණාම අපට පුළුවන් වෙයි Q බෙදා හැරීමේ සේවයක් මේ අවට ප්‍රදේශයෙන් ආරම්භ කරන්න. ඉන් විරැකියා ප්‍රතිශතය පහත දමන්න හැකි වෙයි කියා අප කල්පනා කරනවා. ගුවන්තොටුපොළ විවෘත කරනවා වගේම සංචාරක ව්‍යාපාරය විවෘත වෙන්න ඕනෑ. ඒ තුළින් අපට ආර්ථික වර්ධනයක් කරා යන්න පුළුවන්. අප අලුතෙන් වගේම වෙනස් විදියට හිතන්න ඕනේ. සාමාන්‍ය වී රට ඉදිරියට ගෙනයන්න ඕනෑ."

ඡායාරූප

නිරෝෂන් බටේපොළ

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න