‍හොරණ ටයර්! | දිනමිණ

‍හොරණ ටයර්!

දකුණු ආසියාවේ විශාලම ටයර් කම්හල පෙරේදා හොරණ දී විවෘත විය. දැනටම එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර පළමු ටයර් තොගය මේ මස අගදී අමෙරිකාවට අපනයනය කිරීමට නියමිතය. මෙය ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නවෝදයක සංකේතය වන අතර ආර්ථිකයේ ස්ථාවරත්වය පෙන්වන පෙර නිමිත්තක් ද වන්නේය. කම්හලේ සමස්ත නිෂ්පාදනයෙන් 80%ක් අපනයනයට යොමු කරන බව ද 20%ක් දේශීය පරිභෝජනය සඳහා වෙන්වන බව ද සඳහන්ය. දේශීය අවශ්‍යතා සඳහා මේ වන විටත් ජපානය, ප්‍රංශය ආදී රටවලින් ටයර් ආනයනය කරන බව නොරහසකි. හොරණ ටයර් ප්‍රචලිත වීමෙන් පසු ටයර් ආනයනය නවතා දැමිය හැකිය. ඒ මගින් විදේශ විනිමය ගැටලුවට විසැඳුමක් ලැබේ. කම්හලෙන් සැලකිය යුතු පිරිසකට නව රැකියා අවස්ථා දිය හැකිය.

අපේ ආර්ථිකයේ වැඩි බර දරන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයයි. කර්මාන්ත අංශය කෙරෙහි අවධානය යොමු වී ඇත්තේ අඩුවෙන්ය. කර්මාන්ත දියුණු කළ හැකි ශක්‍යතා රට තුළ ඇතත් ඒවා ප්‍රයෝජනයට ගෙන ඇත්තේ ද අඩුවෙන්ය. තේ, පොල්, රබර් වගාවන් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශ්‍රී ලංකාව තුළ පහසුවෙන්ම ස්ථාපනය කළ හැකිය. ඒ හැරෙන්නට රටේ විවිධ ප්‍රදේශවල ඛනිජ සම්පත් පවතී. රත්නපුරය, ඇලහැර, ඔක්කම්පිටිය වැනි ප්‍රදේශවල මැණික්, සේරුවාවිල රත්තරන්, බෝගල මිනිරන්, පුල්මුඩේ ඛනිජ වැලි මීට නිදසුන් කිහිපයක් පමණි. එකිනෙක ආණ්ඩු වරින් වර කාර්මික ප්‍රතිපත්ති වෙනස් කරමින් හා නව සැලැසුම් ඉදිරිපත් කරමින් කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමට ප්‍රයත්න දැරුව ද ඒවා ඉලක්ක කරා ගමන් කළේ නැත. ප්‍රතිපත්තිවලට වඩා ක්‍රියාකාරී වැඩසටහන් වැදගත්ය.

කර්මාන්තයක් ස්ථාපිත වීම සඳහා බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තිබේ. අමුද්‍රව්‍ය, ප්‍රාග්ධනය, ශ්‍රමය, වෙළෙඳපොළ, පරිවහනය හා රජයේ කාර්මික ප්‍රතිපත්තිය ඒ අතර ඇත. අමුද්‍රව්‍ය එයින් ද මූලික වන අතර අනෙකුත් සාධක නොසලකා හැරිය ද අමුද්‍රව්‍ය මත ශ්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදනය දියුණු කළ හැකිය. චීනය හා ශ්‍රී ලංකාව අතර පැවැති සහල්-රබර් ගිවිසුමෙන් චීනය හොඳ හැටි ප්‍රයෝජන ගත්තේය. පළමුව ශ්‍රී ලංකාවේ රබර් මත චීනයේ ටයර් නිෂ්පාදනය සිදුවිය. එහෙත් පසුව චීනය රබර් වවන්නට පටන් ගත්තේය. අද වන විට චීනයට ශ්‍රී ලංකාවේ රබර් අවශ්‍ය නැත. ටයර් නිෂ්පාදනය අතින් ලෝකයේ ඉහළ නමක් තබා ගැනීමට ද චීනය සමත් වී ඇත. කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයක් අපේක්ෂා කරන රටවල් එබඳු උපාය මාර්ග භාවිත කරයි.

රබර් අපගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස පැවැතිය ද ලෝක වෙළෙඳපොළෙහි රබර් මිල පසුගිය කාලය පුරාවටම පහත බැස තිබේ. මේ අනුව රබර් වගාව අත්හළ අය ද සිටිති. මේ සඳහා යෙදිය හැකි හොඳම විසැඳුම වන්නේ රබර් ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමය. ටයර් නිෂ්පාදනය ඊට හොඳම නිදසුනය. රබර් වගාව ආශ්‍රිතව ජීවනෝපාය සකසා ගත් විශාල පිරිසක් රට තුළ සිටිති. මූලික වශයෙන් කෑගල්ල, රත්නපුරය හා කළුතර යන දිස්ත්‍රික්කවල රබර් වගාව සිදු කෙරේ. මුලින් පෞද්ගලික ව්‍යාපාරිකයන් අතර පැවැති රබර් වගාව පසුව රජයට පවරා ගන්නා ලදි. ඊටත් පසුව රබර් වගාව සමාගම්කරණයට නතු විය. අද මේ වගාව පෞද්ගලික වතු ලෙස ද සමාගම් වතු ලෙස ද පවතී. රබර් ආශ්‍රිත නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ.

හොරණ ටයර් කම්හල සිය නිෂ්පාදන කටයුතු සඳහා ලොව ඉහළම තාක්ෂණය භාවිත කරන බව කියැවේ. කම්හලේ පළමු වන අධියර විවෘත වී ඇති අතර, දෙවන අධියර ආරම්භ කිරීමට ද නියමිතය. කම්හලේ සියලු නිෂ්පාදන ආරම්භ කළ පසු ලෝකයේ භාවිත වන ඕනෑම වර්ගයක රබර් ටයරයක් හොරණ කම්හලෙන් ලබාගත හැකි බව ද කියැවේ. ජපානය, චීනය, ප්‍රංශය වැනි රටවල් ටයර් නිෂ්පාදනය අතින් කීර්ති නාමයක් උසුලන අතර, ගෙවී ගිය දසකය තුළ ඉන්දියාව, තායිලන්තය හා රුමේනියාව ද ටයර් නිෂ්පාදනය හා නිර්යාත අතින් පෙරමුණට එමින් සිටිති. මේ අනුව රටවල් ගණනාවක් සමඟ වෙළෙඳ තරගයක් ද අපට තිබේ. උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හඳුන්වා දීමෙන් හා ප්‍රචාරණයෙන් එම තරගය ජය ගත හැකිය.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ගතහොත් එය කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. මහා පරිමාණ කර්මාන්ත, සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත හා ගෘහාශ්‍රිත කර්මාන්ත වශයෙනි. මේ සෑම කර්මාන්තයක්ම ආරම්භ කිරීමේ දී හා පවත්වාගෙන යා‍ෙම්දී ද අවදානමක් භාර ගත යුතුය. එම අවදානමට මුහුණ දිය හැක්කේ සාර්ථක කළමනාකරණය ඔස්සේය. රජය සතු බොහොමයක් කර්මාන්ත පාඩු ලබන්නේ සාර්ථක කළමනාකරණයක් නැතිකම නිසා යැයි පිළිගැනීමක් ඇත. එහෙත් පෞද්ගලික අංශයේ කළමනාකරණය හා පාලනය හොඳ මට්ටමක ඇති බවට පිළිගැනීමක් තිබේ. එම ආයතන ලාභ ලබන්නේ ඒ නිසා ය. හොරණ ටයර් කම්හල ද දේශීය ආයෝජකයකුගේ දැවැන්ත ව්‍යාපෘතියකි. මෙබඳු ව්‍යාපාරිකයන් රටට සම්පතකි‍.

රජයේ ආර්ථික ප්‍රතිපත්තියට අයත් වැදගත් තේමා පාඨයක් වන්නේ ආධාර මත නොව, ආයෝජන මත කර්මාන්ත දියුණු කරමු යන්නය. එය වැදගත් කොන්දේසියක් ලෙස ද සැලකිය හැකි ය. ණය හා ආධාර මතින් රටවල් දියුණු වන්නේ කලාතුරෙකින්ය. ශ්‍රී ලංකාව ඕනෑවටත් වඩා ණය ගෙන ඇත. ආධාර ද වරින්වර රටට ලැබී ඇත. එහෙත් පැහැදිලි ආර්ථික වර්ධනයක් සටහන් කිරීමට සමත් වී නැත. දේශීය හා විදේශීය ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ අවස්ථා දීමෙන් රජයට ඇති ප්‍රාග්ධන වියදම්වල බර අඩු කරගත හැකිය. දියුණු රටවල ආණ්ඩු සිදු කරන්නේ ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් ඒවා නියාමනය කිරීමය. නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩිබර පෞද්ගලික අංශය වෙත පවරනු ලැබේ. එය ලෝක ආර්ථිකයේ නව හැඩගැස්ම ලෙස පෙන්වා දිය හැකිය.

හොරණ ටයර් කම්හලේ හිමිකරුවා සුළු ව්‍යාපාරයකින් සිය ව්‍යාපාරික ලෝකය ආරම්භ කළ තැනැත්තෙකි. අද ඔහුට ඩුබායිහි හෝටල් පවා ඇත. දක්ෂ කළමනාකරුවකු හැටියට ද, අවදානම භාර ගන්නා ව්‍යාපාරිකයකු හැටියට ද ඔහු හැඳින්විය හැකිය. යහපාලන ආණ්ඩු සමයේ සිදු වූයේ රජය සතු ආයතන පෞද්ගලික අංශය වෙත විකිණීමය. වත්මන් ආණ්ඩුව ආයතන විකිණීම නවත්වා නව ව්‍යාපාර ආරම්භ කිරීමට ආයෝජකයන් කැඳවයි. හොරණ ටයර් කම්හල එහි ප්‍රතිඵලයකි.

නව අදහස දක්වන්න